අඬලා අඬලා දිග කලිසමක් ඉල්ලා ගත්තා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-04-26-ent-41

මේ සිංහල අලුත් අවුරුදු දා සමන් ලංකාවේ හිටියේ නැහැ. ගියේ කොහේද?

ඔව්... මේ සිංහල අලුත් අවුරුදුදා මම ලංකාවේ හිටියේ නැහැ. මම අවුරුද්ද සැමරුවේ ඩුබායිවල ඉඳන්. ඒ රටේ තිබුණු සංස්කෘතික ප්‍රසංගයකට අපි කිහිපදෙනෙක්ම සහභාගී වෙලා හිටියා. ඒ ප්‍රසංගය ඉතා සාර්ථක ප්‍රසංගයක් වුණා. ඩුබායි රටේ ඉන්න අපේ බොහෝ ශ්‍රී ලාංකිකයන් ඒ ප්‍රසංගය බලන්න ඇවිත් හිටියා.

 

මේ අවුරුද්දේ ලංකාවේ අවුරුදු සැමරුවේ නැතිවුණාට සමන්ගේ ළමා කාලය ගෙවුණේ ගමේදීනේ. ඒ ළමා කාලයේ ගතකරපු අවුරුද්ද ගෙවුණේ කොහොමද?2019-04-26-ent-42

ළමා කාලේදී ගෙවුණු අලුත් අවුරුදු කාලය හරිම ලස්සන කාලයක්. අපිට ඕනෑතරම් නිදහස තිබුණා. ඒ කාලේදී අපේ ගමේ අපේ සමවයසේ පිරිමි ළමයි ගොඩාක් හිටියා. ඉතින් අපි අවුරුදු කාලෙට හුඟාක් දේවල් කළා. අපි අවුරුදු කාලේට පන්සල් පිට්ටනියේ කොඩි ගස් ගහනවා. අවුරුද්දට පංච දැම්මා. චක්ගුඩු සෙල්ලම් කළා. අවුරුදු කාලෙට අපි එල්ලේ ක්‍රීඩාව කළා. අපිට වෙල් ඉපනැලිවල දුවපැනපු අත්දැකීම්වලට වඩා මුහුදු වෙරළේ ඇතිතරම් සෙල්ලම් කරලා තියෙනවා. අපිට වඩාත් ළඟ වුණේ මුහුදයි. ඒ කාලේ මුහුද ඒ තරම් හොඳත් නැහැ. ඒත් අපි ඉතින් අපේ තියෙන හයිරම්කාරකම්වලට මුහුද පැත්තට එහෙම යනවා. හැබැයි අපි කොච්චර දඟ වුණත් පරිස්සම් වෙන්නත් වගබලා ගත්තා.

 

ළමා කාලයේදී සිංහල අලුත් අවුරුදු කාලේටත් සමන් ගීත ගායනා කළාද?

අපේ ගෙදරට එහා පැත්තේ පිට්ටනියක් තිබුණා. එතන හැම අවුරුද්දෙම අවුරුදු උත්සවයක් තිබුණා. ඒ උත්සවයේ කටයුතුවලදී අපේ තාත්තාත් මූලිකව කටයුතු කළා. ඉතින් ජනකවි ගායනා තරගවලට එහෙම මම සහභාගීවෙලා තියෙනවා. ඊට අමතරව අවුරුදු කාලයේ කියන්නේ සංගීතය ඉහවහ යන කාලයක්නේ. මගේ අයියට සංගීත භාණ්ඩ කඩයක් තිබුණා. ඒක තාමත් තියෙනවා. ඒ පළාතට තිබුණු එකම සංගීත භාණ්ඩ කඩය තමයි ඒක. ඉතින් ඒ සංගීත බඩු අරගෙන අපි ගීත කියනවා. ඒ වෙලාවට පාරේ යන මිනිස්සුන් එකතුවෙලා හරි ලස්සන සංගීත සාජ්ජයක් බවට පත්වෙනවා.

 

අවුරුදු කාලයට දින කිහිපයකට පෙර සිටම ගමේ ගැමි කාන්තාවන් අලුත් අවුරුදු රසකැවිලි හදනවනේ සමන්ටත් ඒ අත්දැකීම් ඇති නේද?

ඔව්.. අපේ අම්මලා අවුරුද්ද ළංවෙනවාත් එක්කම තමයි ඔය රසකැවිලි හදන්න පටන් ගන්නේ. ඒ කාලේ මට මතකයි අපේ ගෙදරම දොදොල් හදනවා. දොදොල් පතු ගාන්න වෙනමම මනුස්සයෙක් ගෙන්වනවා. දොදොල් වගේම පාට ගැහුණු ශරීරයකින් හෙබි ඒ මාමා හරි අපූරුවට දොදොල් පතුගානවා. අපේ අම්මලා එකතුවෙලා අතිරස, කැවුම්, කොකිස් වගේ කෑම හැදුවා මට හොඳට මතකයි. මගේ ආච්චිගේ තමයි ඒකාධිපති පාලනය. ආච්චි තමයි හැමෝටම විධානය දෙන්නේ. පුංචි අපිට ඒ පැත්තට යන්නටවත් බෑ. හැබැයි ඉතින් හෙමීන් ගිහින් හොරෙන් අතදාලා අර වට්ටිවල තියෙන උණු උණු කැවුමක්, කොකිසක් ගනිද්දී සමහරදාට ආච්චිගෙන් ඔළුවට පාරකුත් වැදිලා තියෙනවා. මට තාම මතකයි ඒ කාලේ ආච්චි “කෝදුරු කැවුම් කියලා කැවුම් හංඟලා තියෙනවා. අපි ඒ කෝඳුරු කැවුම් හොරෙන් කාලා මට තාම මතකයි මාවයි මගේ මාමගේ පුතා චන්දනවයි අහුවෙලා ආච්චි කන මිරිකලා “යකෝ... මේක හේතුවකට එල්ලුවේ... මේවා කන්න එපා. ඉල්ලුවානම් දෙනවානේ. කෝදුරු කැවුම් තියෙන්නේ කෝදුරුවන්ටයි කියලා අර කෝදුරු කැවුම් කාපු එකට අපිට හොඳටම බැන්නා. අපේ ආච්චි හරි සැරයි. ඒවගේම හරිම සුන්දරයි. 

 

සමන් අලුත් අවුරුද්දට ලැබෙන අලුත් ඇඳුම් බලන්න ආසාවෙන්ද හිටියේ?

අම්මෝ... ඔව්.. ඒ අලුත් ඇඳුම් ලැබෙනකම් තමයි බලාගෙන ඉන්නේ. මම ටිකක් ලොකු වෙද්දී අම්මලා මට සරමක් අරගෙන දෙන්න පටන් ගත්තා. හැබැයි ඒකට මම කැමැති නැහැ. කොට කලිසමෙන් දිග කලිසමට මාරු වෙන්න ආස හිතෙන පිරිමි කාලයක් අපි හැමෝගේම ජීවිතවල තිබෙනවානේ. ඒ කොලු කාලයටත් මම හරි ආසයි. ඒ කාලෙට ඉස්කෝලෙට දිග කලිසම අඳින්න දෙන්නේ නැහැනේ. ඉතින් මම එක අවුුරද්දක දිග කලිසමක් ඉල්ලලා හොඳටම ඇඬුවා. හැබැයි අම්මා මට අඳින්න දුන්නේ නැහැ. ඒ අවුරුද්දෙත් අම්මා අවුරුද්දට මට දුන්නේ කොට කලිසමකුයි. ඒක දැකලා මම ඇඬුවා. ඊළඟ අවුරුද්දෙත් මාව ඇඳුම් ගන්න අරගෙන ගිහින් කොට කලිසමක් අරගෙන දුන්නා. මම ගෙදරට ආවෙත් අඩ අඬමයි. මගේ තාත්තා ඕක දැනගෙන තාත්තා ආයෙත් කඩේ ගිහින් මට දිග කලිසමක් ගෙනත් දුන්නා. ඒ අවුරුද්දේ උදේ පාන්දර අර දිග කලිසම ඇඳගෙන හැඩ බැලුවා. අපේ තාත්තලා අම්මලා අපේ යුතුකම් කොහොම හරි එදා කළානේ. ඒ දේ නොදැනුණත් අද තමයි ඒ දේ තේරෙන්ණේ.

 

අලුත් අවුරුද්ද ලබද්දී හිතට දැනෙන සතුට කොහොමද?

අලුත් අවුරුද්ද ලබද්දී මුළු ගමටම ඇහෙන්න මුලින්ම රබන් ගහන්නේ අපේ ගෙදරයි. අපි ලොකු රබාන මිදුල මැදින් තියාගෙන රබන් ගහනවා. අපේ අයියලා හරි අපූරු තාල කියලා රබන් ගහද්දී එහා ගෙදර ආච්චි නට නටා තමයි අපේ රබාන ළඟට එන්නේ. ඉතින් ඊට පස්සේ තවත් ගමේ ආච්චිලා රබාන වටේට එකතු වෙනවා. ඔන්න ඒ වෙලාවට රබන් ගහපු අපේ අයියලා රබානෙන් ඈත්වෙලා ආච්චිලාට රබාන බාර කරනවා. ඔන්න ඉතින් ආච්චිලාත් හරි අපූරුවට රබන් තාල ගහනවා. සමහරු වැලමිටෙන් තමයි රබන් ගහන්නේ. ගමේ ඉන්න කොලු ගැටව් ටිකයි කොල්ලේ ටිකයි ඇවිත් හරි ආසාවෙන් මේක බලාගෙන ඉන්නවා. සමහරු නටනවා. ඇත්තටම ඒ කාලය හරි සුන්දරයි.

 

ඒ සුන්දර අවුරුදු අසිරිය අද හරි අඩුයි නේද?

ඔව්.. මීට අවුරුදු විස්සකට විතර උඩදී තිබුණු ළමා කාලේ අත්දැකීම් අද වෙනස් වෙලා තියෙනවා. අද හැමදේම වෙනස්වෙවී අලුත්වෙවී සම්ප්‍රදායික රටාවන් වෙනස් වෙන හැටි පේනවා. කොහොම හරි අපේ කාලේ කරපු දේවල් දැන් කාලේ දරුවන්ට කරන්න වෙන්නේ නැහැ. ඕවා ඉදිරියට මොන විදිහට වෙනස් වෙයිද කියන්න තේරෙන්නේ නැහැ. කොහොමවුණත් අවුරුද්ද කියන්නේ සංතෝසය මුසුවුණු කාලයක්. තරහා මරහා සියල්ල ඉවත් කරනවා. සමාව ගන්නවා. තරහ මරහා අවුරුද්දක් තිබුණත් මොකක් හරි වචනයකින් අනෙකාගේ හිත රිද්දවලා තිබුණත් අවුරුද්දට බුලත් අතට දීලා අපි හැමෝම වැදලා සමාව ගන්නවා. දවසකට හරි බාලනම් අපි ඒ කෙනාට වදිනවා. තමන්ගේ මානය සම්පූර්ණයෙන්ම දුරු කරනවා. ඉස්සර සෑම ගෙදරකම කිරි ගහක් තිබුණා. අපේ ගෙදර කොස් ගහක් තිබුණා. අද ඒ ගෙවල්වල කිරි ගස් නැහැ. ඒත් ඒ කාලේ තිබුණු බැඳීම් හරි අපූරුයි. අද අපේ සමාජයේ සිරිත් විරිත් පවා වෙනස්. අවුරුද්දේ මුලින්ම ගොවියා පොළව කොටන්න කලින් තුන්පාරක් පොළොවට වැදලයි පොළව කොටන්නේ. අපේ තාත්තාලා ඕවා කළා. ඒ කාලේ පුංචි අපි තාත්තලා කරන දේවල් දිහා බලාගෙන හිටියා. ලොකු වෙද්දී තමයි අපිට තේරුණේ “දෙවියනි මේ අපේ බර දරන පොළවට තමයි අපේ තාත්තලා වඳින්නේ. කියලයි. නමුත් අද කාලේ දරුවන්ගේ හිත්වල ඒ අදහස නැහැ. නමුත් අපේ කාලෙ ගෙවපු සිංහල අලුත් අවුරුද්ද හරිම සුන්දරයි.