බැන්දයි කියලා රඟපාන්න තහංචි නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රංගන ක්ෂේත‍්‍රය තුළ අතිශය පේ‍්‍රක්‍ෂක ආකර්ශනයක් දිනාගත් සුන්දර රුවැත්තියක් තමයි තිසුරි යුවනිකා. බොහොම අහිංසක ගැමි චරිත තුළින් නිතර පේ‍්‍රක්‍ෂකාගාරයේ මුණගැහෙන ඇය යුගදිවියට එළඹීමත් සමග රංගන කටයුතුවලින් ඈත් වෙනවා කියලත් පසුගිය දිනවල ආරංචියක් පැතිරුණා. ඒ කොහොම වුණත් මේ දිනවල නම් ටෙලි නිර්මාණ හරහා අඩුවක් නැතිවම ඇයව නිතර දක්නට ලැබෙනවා. ඉතින් ඇයගේ අලූත් තොරතුරුත් සමග අපි සිතුවා ඇය කතා බහකට එකතු කරගන්න.

කොහොමද අලූත් ජීවිතේ?

බොහොම සතුටින් ජීවිතේ ගෙවිලා යනවා. මේ දවස්වල නම් රංගන කටයුතු එක්ක ටිකක් කාර්යබහුලව තමයි ගෙවෙන්නේ.

 

විවාහ වෙලා සමරපු පළමු සිංහල අවුරුද්ද. ඉතින් අවුරුදු ජයයි ද?

සුරාජ් තවම ලංකාවේ ඉන්න නිසා මේ පාර අවුරුදු ජයයි. විවාහ වෙලා සමරපු පළමු අවුරුද්දනේ. දෙපාර්ශවයේම අම්මලා තාත්තලා එකතු කරගෙන ජයටම සැමරුවා.

20190509Thisuri-1

මේ දවස්වල නිර්මාණ කිහිපයකින් ද තිසුරිව දකින්නට ලැබෙනවා?

ඔව්, යමක් කරන්න තියෙන චරිත ටිකක් ලැබුණ නිසා පසුගිය දවස්වල නිර්මාණ ටිකක් භාරගත්තා. රවීන්ද්‍ර විජේරත්නගේ ‘ඔබ නිසා’, ශිවගුරුනාදන්ගේ ‘හුස්ම වැටෙන මල්’, සඳරුවන් අයියාගේ ‘නිරාශා’ යන ටෙලිනාට්‍යවල වැඩ කරගෙන යනවා. ඊට අමතරව තවත් අලූත් ටෙලිනාට්‍ය කිහිපයක් භාර අරගෙන තියෙනවා. ඒනිසා මේ දවස්වල නම් ටිකක් කාර්යබහුල ජීවිතයක් තමයි ගෙවෙන්නේ.

 

කොහොමද චරිතවලට ලැබෙන ප‍්‍රතිචාර...

කාලෙකට පස්සෙ වෙනස් චරිත ටිකක් තමයි මට ලැබිලා තියෙන්නේ. මේ චරිත ටිකක් දඟකාරයි. අනිත් එක දෙයක් කරන්න පුළුවන් චරිත. ඔබ නිසා, නිරාශා වගේ නිර්මාණ භාර ගන්න හේතුව වුණෙත් මම පසුගිය කාලේ වැඩිපුරම කළේ ගැමි චරිත. ඒ දේවල්වලින් ටිකක් මිදෙන්න  ඕනකමක් මට තිබුණා. 2019 අවුරුද්ද මට වාසනාවන්තයි. මොකද මේ අවුරුද්දේ මට හොඳ චරිත කරගන්න ලැබිලා තියෙනවා.

 

විවාහ වුණ අලූතම කලාවත් එක්ක කාර්යබහුල වෙනවට සුරාජ් කැමති ද?

ගොඩක්ම කාර්යබහුල වෙනවට නම් සුරාජ් කැමති නැහැ. මගේ වෘත්තිය සහ ජීවිතේ ගැන සුරාජ්ට හොඳ අවබෝධයක් තියෙනවා. මොකද කලාව කියන්නේ මගේ වෘත්තිය. වෘත්තියයි පෞද්ගලික ජීවිතෙයි මම පටලව ගන්නේ නැහැ.

සුරාජුත් එයාගේ රැුකියාවත් එක්ක ටිකක් කාර්යබහුලයි. ඒනිසා මගේ පැත්තෙනුත් මමත් නිර්මාණ ටික කරගෙන යනවා. කොච්චර කාර්යබහුල වුණත් සුරාජ් ගෙදර ඉන්න වෙලාවට මම ගෙදර ඉන්නවා.

 

විවාහයෙන් පස්සේ රංගනයෙන් ඈත් වෙනවා කියලා පසුගිය දවස්වල ආරංචියක් පැතිරුණා?

ඔව් නේ... ඒක පුවත්පතක පළවුණු එකක්. ඇත්තටම මම එහෙම දෙයක් කිව්වෙ නැහැ. ඒක බොරුවක්. සුරාජ් මට කවදාවත් රඟපාන්න එපා කියලා නැහැ. සුරාජ් දන්නවා මම කොහොමද මේ ක්ෂේත‍්‍රය එක්ක ගනුදෙනු කරන්නේ කියලා. ඒ නිසා විවාහයෙන් පස්සේ රඟපාන්න එපා කියලා තහංචි දැම්මේ නැහැ. හැබැයි එයා දවසක එපා කිව්වොත් මම කලාවෙන් අයින් වෙනවා. ඒත් සුරාජ් මට නීති රීති දාන කෙනෙක් නෙවෙයි. අපි දෙන්නා කුඩා කාලයේ ඉඳලම හොඳින් අදුරන දෙන්නෙක්. ඒනිසා අපි දෙන්නාට දෙන්නා අතර හොඳ අවබෝධයක් තියෙනවා. හැබැයි මම ගොඩක් මහන්සි වෙනවට නම් සුරාජ් කැමති නැහැ.

 

දැන් කොහෙද තිසුරිගේ පදිංචිය?

අපි විවාහ වුණා කියලා වෙනම ගෙදරකට පදිංචියට ගියේ නැහැ. මොකද සුරාජ්ගේ රැුකියාවත් එක්ක වැඩිපුරම ඉන්න වෙන්නේ රටින් පිට. ඒනිසා මාරුවෙන් මාරුවට දෙන්නගෙම ගෙවල් දෙකේ ඉන්නවා. ඒක අපි දෙන්නගේ වැඩවලටත් පහසුයිනේ... විවාහයෙන් පස්සේ සුරාජ් තවම විදේශගත වුණේ නැහැ. එයාට විභාග වගයක් තිබුණා. ඒනිසා ටික කාලයක් ඉන්න තමයි ලංකාවට ආවේ. දැන් නම් සුරාජ්ගේ නිවාඩුව ඉවරවෙන්න ළඟයි. තව මාස දෙකකින් විතර සුරාජ් නැවත නැව් නගිනවා. එතකොට තමයි ඉතින් මට පාළු.

 

ඉතින් මොනවද අලූත් අවුරුද්දේ බලාපොරොත්තු?

ලොකු ලොකු බලාපොරොත්තු අපි දෙන්නටම නැහැ. මම කොහොමත් හැමදාම සැහැල්ලූවෙන් ජීවත් වෙන කෙනෙක්. සුරාජුත් නිදහසේ සැහැල්ලූවෙන් ජීවත් වෙන්න කැමති කෙනෙක්.

 

නදීශා අතුකෝරළ / ඡායාරූපය: සඳුන් ගමගේ