තාමත් කලාව යන්න රජයේ මූලික අවශ්‍යතාවයක් බවට පත්වෙලා නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20190513Nalin-4පසුගියදා නිමා වූ රාජ්‍ය නාට්‍ය උළෙලේ කෙටි නාට්‍ය අංශයේ හොඳම නාට්‍යය වූයේ නලින් ලුසේනාගේ ‘නොකියා හිටපු දෙයක්’. එමෙන්ම එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනූයේ ඉන්දික සඳරුවන්ගේ ‘ලෙටර්’ සහ සඳුන් ලක්ෂාන්ගේ ‘නයිට් ඩියුටි’ යන කෙටි නාට්‍ය ත්‍රිත්වයයි. එහි හොඳම කෙටි නාට්‍යය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිළිය, හොඳම රචනය ආදී ප්‍රධාන සම්මාන හතක් දිනාගත් ‘නොකියා හිටපු දෙයක්’  කෙටි නාට්‍යයේ අධ්‍යක්ෂක නලින් ලුසේනා සමග කතාබහක යෙදීමට අපි අදහස් කළෙමු. ඒ ඔහු ඒ හරහා මෙන්ම මේ දිනවල විකාශය වන ‘සංගීතේ’ ටෙලිනාට්‍යය හරහාද ජනප්‍රිය වී ඇති ටෙලිනාට්‍ය නළුවකු මෙන්ම විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකුද වන බැවිනි. සම්මානනීය වේදිකා නාට්‍ය නළුවකු වන බැවිනි.

මෙවර ඔබට නාට්‍ය රචනය සඳහාත් පළමු වරට සම්මානයක් හිමිවෙනවා?

ඔව්. හුඟක් සතුටුයි. මම මෙතෙක් නාට්‍ය රචනය වෙනුවෙන් සම්මානයක් දිනාගෙන තිබුණේ නැහැ. ඒ නිසා මෙවර සම්මානය අධ්‍යක්ෂවරයකු විදිහට ලබන සම්මානයකුත් නිසා මට විශේෂයි. කොහොමත් අපි හැමෝම කැමතියි අපේ නිර්මාණවලට යම්කිසි ඇගයීමක් ලැබෙනවා නම්. ඒ පොදු හැඟීම මටත් තියෙනවා. මම නියැළෙන කලාව තුළ අපි පුහුණුවෙමින් සිටින කලාව වෙනුවෙන් මෙවැනි ඇගයීමක් ලැබීමත් එක්තරා විදිහක දිරිගැන්වීමක්.

 

මෑත කාලයේදී ඔබ රචකයාගේ භූමිකාවට එළඹීම තුළ ලබන අත්දැකීම සුවිශේෂයි නේද?

ඔව්. නළුවා සහ රචකයා කියන්නේ ධාරාවන් දෙකක් කියල මට දැනෙන්න පටන් අරන් තියෙනවා. මොකද මේ සමාජය තුළ අත්විඳිමින් සහ අත්දකිමින් සිටින දේවල් ප්‍රතිනිර්මාණය කිරීමේ හැකියාව තියෙන්නේ රචකයාට. රචකයා තුළින් ගොඩනැගෙන දේ තමයි නළුවන් චරිත තුළින් මතුකරන්නේ. ඒත් රූපණය සඳහා පවතින ලෝබකමම තමයි මාව රචකයකු බවට පත්කරන්නේ. මොකද නළුවන්ට රූපණයේ යෙදෙන්න නම් හොඳ රචනා අවශ්‍යයි. අධ්‍යක්ෂවරුන් අවශ්‍යයි. ඒ භූමිකාවල පවතින වැදගත්කම මට රූපණයේ යෙදෙද්දි දැනෙන්න පටන් ගත්තා. ඒ නිසයි මම රචනාකරණය සඳහා පිවිසුණේ.

 

ඒත් කෙටි නාට්‍ය සම්මානයක් තබා රාජ්‍ය සම්මානයක ඇති වටිනාකම පවා නොදන්නා සමාජයක් නේද පවතින්නේ?

අද වෙද්දි කෙටි නාට්‍ය තබා සමස්ත නිර්මාණාත්මකතාවය පිළිබඳවත්, රසවින්දනය පිළිබඳවත් කිසිදු අවධානයක් තියෙනවාද යන්න ගැටලුවක්. ඒක සමස්ත රටේම පවතින බරපතළ ප්‍රශ්නයක්. ඒ නිසා කෙටි නාට්‍ය කලාව ගත්තත්, දිගු නාට්‍ය කලාව ගත්තත් අපි තේරුම්ගන්න ඕන අපිට ඉන්නේ සීමිත ප්‍රේක්ෂකාගාරයක් කියලා. හැබැයි පසුගිය දශකය දිහා අවධානය යොමු කළොත් දිගු නාට්‍ය කලාවට සාපේක්ෂව කෙටි නාට්‍ය කලාවට යොමු වූ අවධානය වැඩියි යන්නයි මගේ අදහස. විශේෂයෙන්ම අද වෙද්දි තරුණයන් අතර කෙටි නාට්‍ය කලාව වඩාත් ජනප්‍රිය වෙලා තියෙනවා. විශාල පෙළඹීමක් තියෙනවා. මං හිතන්නේ ඒකට හේතුව සමාජ ප්‍රස්තුතයන් ප්‍රබල මාතෘකා තුළින් ඉස්මතු කිරීමයි. ඉතා සීමිත කාලයක් තුළ ඉතා ප්‍රබල ආකාරයෙන් කෙටි නාට්‍යකරුවා සාකච්ඡා කිරීමයි.

 

20190513Nalin-2ඒ නිසාද ‘නොකියා හිටපු දෙයක්’ නාට්‍යය සඳහා ඇයි කෙටි නාට්‍ය ධාරාව තෝරාගත්තේ?

ඇතැම් මාතෘකා සඳහා අප තෝරාගත යුත්තේ කුමන මාධ්‍යයද යන්න තෝරාගන්නේ නාට්‍යකරුවා. ඒක නාට්‍යකරුවාට ආවේණික දෙයක්. විශේෂයෙන්ම මගේ නාට්‍යය තුළ තියෙන්නේ කුටුම්භය තුළ උද්ගත විය හැකි තත්ත්වයක මොහොතක්. අපේ ජීවිතවල පවතින අනෙකාට නොකියන පැතිකඩක් කියවෙන අවස්ථාවක් තමයි මම මේ හරහා කියන්න උත්සාහ කළේ. මම කතා කරන එවැනි මොහොතකට උචිතම මාධ්‍ය කෙටි නාට්‍ය කියල තමයි මම හිතන්නේ. ප්‍රේක්ෂකයාගේ බුද්ධියට ප්‍රබලව ඉතා කෙටි කාලයකින් කතා කළ හැකි මාධ්‍යයක් විදිහටයි මම කෙටි නාට්‍ය කලාව දකින්නේ.

 

කෙසේනමුත් නාට්‍ය උළෙලවලින් මිසක ප්‍රේක්ෂකයාට කෙටි නාට්‍ය දැකිය හැකි සීමාව ඉතාම සීමිතයි?

යම් නාට්‍ය උළෙලක් සහ කෙටි නාට්‍ය අතර සම්බන්ධයක් තියෙනවා. ඒක ඇත්ත. ඒත් එසේ නොවන අවස්ථාත් නැතුවාම නෙමෙයි. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ආශ්‍රිතව කෙටි නාට්‍ය කලාවේ නියැළෙන විශාල තරුණ ප්‍රජාවක් සිටිනවා. පුහුණුව වෙනුවෙන්, අධ්‍යයන කාර්යය වෙනුවෙන් කෙටි නාට්‍ය කලාවේ යෙදෙන අවස්ථා තියෙනවා. ඒ නිසා ගැටලුව තියෙන්නේ එම කෙටි නාට්‍ය තවදුරටත් පවත්වාගෙන යන්නේ කෙසේද යන්නයි. ඒ නිසා ඒ අභියෝගය අපි ජයගන්න ඕන. ඒ මිසක් නිර්මාණශීලීත්වයේ අඩුවක් නැහැ. හැබැයි එහෙම කියල ඒ අභියෝගයෙන් අපට ගැලවෙන්න බැහැ. අපි දැනගත යුතුයි එදා ප්‍රවීණයන් මෙන් ජනතාව අතරට යන මාර්ගයක් සකසා ගන්න. හැබැයි රාජ්‍යයටත් කලාව සම්බන්ධයෙන් යම් අදහසක් නොතිබීම මෙවැනි තත්ත්වයක් ඇතිවීමට බලපා තියෙනවා. මොකද තාමත් කලාව යන්න රජයේ මූලික අවශ්‍යතාවයක් බවට පත්වෙලා නැහැ. පාලකයන්ගෙන් එවැන්නක් සිදුවේවි කියලා බලාපොරොත්තු විය නොයුත්තේත් ඒකයි. එවැනි සමාජයක් ඇතුළේ තමයි අපට අරගල කරන්න සිදුවෙලා තියෙන්නේ.

 

වේදිකාව ජනතාව අතරට යා හැකි නව නාට්‍ය ප්‍රවණතාත් ලෝකය තුළ බිහිවෙලා තියෙනවා නේද?

ඔව්. ලෝකයේ එවැනි උත්සාහයන් තියෙනවා. විශේෂයෙන් දාරියෝ ෆෝ වගේ නාට්‍යකරුවෝ මිනිස්සු අතරට ගොස් නාට්‍ය කළ අය. හැබැයි ලංකාව කියන්නේ වේදිකා නාට්‍ය ප්‍රේක්ෂකාගාරයක් නොහිටපු රටක් නෙමෙයි. ඒක අපේ වේදිකා නාට්‍ය කලා ඉතිහාසය පිළිබඳ අධ්‍යයනය කළොත් පේනවා. වේදිකා නාට්‍ය කලාව කර්මාන්තයක් දක්වා ගෙන යා හැකිව තිබූ තත්ත්වයක් ඒ කාලේ පැවතුණා. ඒත් අපි පසුගිය දශක කිහිපයේ ඉඳන් ගමන් කළේ ආපස්සට. ඊට විවිධ හේතු බලපෑවා කියලයි මම හිතන්නේ. අනික ලංකාවට කොහොමත් තියෙන්නේ ගමෙන් ගමට යන සංචාරක නාට්‍ය කලාවක්. එහෙම නැතුව එකම නාට්‍යයක් සති ගණන්, මාස ගණන් පෙන්වන සංස්කෘතියක් නෙමෙයි. ඒ නිසා ලංකාව තුළ පවතින ජංගම නාට්‍ය සංස්කෘතිය හරහා වඩා ජනතාවාදී නාට්‍ය කලාවක් ජනතාව අතරට ගෙන යාමට උත්සාහ කරනවා කියලයි මම හිතන්නේ. කෙසේ නමුත්මෙහි ලෝක මට්ටමින් බිහිවන නව නාට්‍ය ප්‍රවණතා අපි දැකිය යුත්තේ නොයෙකුත් ශානර විදිහටයි. සුවිශේෂී නාට්‍ය භාවිතාවන් විදිහටයි. ඒවා සුවිශේෂී ප්‍රේක්ෂකාගාරයන් සඳහා ආවේණික භාවිතාවන්.

 

විශ්වවිද්‍යාල නාට්‍ය කලාව එදාට සාපේක්ෂව ලාංකේය සමාජයට විශාල බලපෑමක් කර තිබෙනවාද?

ඔව්. පහුගිය දශකය තුළ පෙරටත් වඩා සක්‍රීය අන්දමින් විශ්වවිද්‍යාල නාට්‍ය කලාව ක්‍රියාත්මක වෙනවා කියලයි මම හිතන්නේ. මොකද අද වෙද්දි නාට්‍ය කලාව හදාරන විශාල විද්‍යාර්ථයන් පිරිසක් සිටිනවා. අනික 1956දී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් පවා විශ්වවිද්‍යාල නාට්‍ය කලාව හරහා සංස්කෘතික බලපෑමක් කළාද යන ගැටලුව පවතිනවා. ඒ සඳහා පවතින මිණුම් දණ්ඩ මොකක්ද යන්නත් ගැටලුවක්. ඒ නිසා වත්මන් විශ්වවිද්‍යාල නාට්‍ය කලාව සමාජයට කරන බලපෑම අපට දකින්න පුළුවන් වෙන්නේ අනාගතයේදි මිසක් දැන් නෙමෙයි.

 

මාලන් විදානපතිරණ

20190513Nalin-3

20190513Nalin-1