මම උත්සාහ කළේ පුද්ගලයාගේ පිරිහීම සිනමාට ගෙන එන්නයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20190515Sunil-5

‘වැලි පවුරු’ චිත්‍රපටයේ අධ්‍යක්ෂක සුනිල් ප්‍රේමරත්න

‘ටවුමේ ඉස්කෝලේ’ චිත්‍රපටය හරහා අධ්‍යක්ෂණයට පිවිසි සුනිල් ප්‍රේමරත්නගේ දෙවැනි චිත්‍රපටය වන ‘වැලි පවුරු’ මේ දිනවල දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වේ. ‘අඟර දඟර’, ‘රන් දේදුන්නක්’ යන චිත්‍රපට හරහා තිර රචකයෙකු සහ සහාය අධ්‍යක්ෂවරයෙකු ලෙස සිනමාවට පිවිසි සුනිල්  ප්‍රේමරත්නගේ ‘වැලි පවුරු’ චිත්‍රපටයේ තිර රචනයද ඔහුගේය. නිෂ්පාදනය ධම්මික අතපත්තුගෙනි. මහේන්ද්‍ර පෙරේරා සමග දිල්හානි ඒකනායක ප්‍රධාන චරිතය නිරූපණය කරන මෙම චිත්‍රපටය පිළිබඳ කතාබහක නිරත වීමට අප සිතුවේ එබැවිනි.

‘වැලි පවුරු’ චිත්‍රපටයේ කතා තේමාව ගැන කිව්වොත් ?

ලංකාවේ සිටින වැඩිහිටියන්ගේ මනස ගැන අධ්‍යයනයක් කිරීමට තමයි එංගලන්තයේ සිට ලංකාවට මෙලිෂා පැමිණෙන්නේ. ඒ සඳහා තෝරාගන්නේ කන්ද උඩරට මනරම් පරිසරයක පිහිටි වැඩිහිටි නිවාසයක්. වැඩිහිටි නිවාසෙ සියලු දෙනාටම උදව් කරමින් මල් වගාවක් කරමින් හුදෙකලා වී සිටින සිසිර සමග කතා කිරීමට මෙලීෂා මෙහිදී උත්සාහ කරනවා. ඒත් ඔහු කා එක්කවත් කතා නොකරන බව ඇය දැන ගන්නවා. ඒත්  දින කීපයක උත්සාහයකින් පසු සිසිර සමඟ කතා කොට ඔහු‍ගේ ජීවිත කතාව දැන ගැනීමට ඇය සමත් වෙනවා. මේ ඔස්සේ තමයි ‘වැලි පවුරු’ චිත්‍රපටිය දිවෙන්නේ.

 

ළමා චිත්‍රපටයකින් පසු ඔබ ‘වැලි පවුරු’ චිත්‍රපටයේදී වෙනස් කතා තේමාවකින් ප්‍රේක්ෂකයා වෙත සමීප වෙලා?

මම උත්සාහ කළේ පුද්ගලයාගේ පිරිහීම සිනමාට ගෙන එන්න. මොකද මට වැඩිහිටි නිවාස ගණනාවක අත්දැකීම් තියෙනවා. ඒ නිසා කවුරුත් කතා නොකරන පැතිකඩක් ඔස්සේ ‘වැලි පවුරු’ නිර්මාණය කරන්න මම කල්පනා කළා. ‘ටවුමේ ඉස්කෝලේ’ හරහාත් ඒ මිනිසාගේ පිරිහීම සමාජයට සන්නිවේදනය කරන්න මම උත්සාහ කළා.

 

ප්‍රධාන චරිත සඳහා ප්‍රවීණයන් දෙපළක් යොදා ගත්තේ ප්‍රබල කතා තේමාවක් නොමැති නිසාද ?

නැහැ. මේක ප්‍රබල කතා තේමාවක්. ඒක චිත්‍රපටය නරඹන අයට පැහැදිලි වෙනවා. ඒත් ඒ ප්‍රවීණයන් දෙපළ හරහා ලැබුණු දායකත්වය අති මහත්. වෙන දෙපළක් කළා නම් මෙතරම් සාර්ථකව චිත්‍රපටය සන්නිවේදනය නොවෙන්න තිබුණා. අනික මම චරිත සඳහා රූපණ ශිල්පීන් යොදා ගැනීමේදී විමසිල්ලෙන් කටයුතු කරන කෙනෙක්.

20190515Sunil-1

කෙසේ නමුත් හැට හැත්තෑව දශක තරම් ප්‍රබල කතා තේමා වත්මන් සිනමාකරුවන්ට නැති බවටත් චෝදනාවක් තියෙනවා ?

ඔව්. එහි යම් සත්‍යතාවයක් තියෙනවා. ඒත් ඊට නිශ්චිත හේතුවක් කියන්න බැහැ. අනික ඒ කාලේ නරඹන්න තිබුණේ චිත්‍රපට පමණයි. දැන් රූපවාහිනිය, පරිගණකය,ජංගම දුරකතනය වගේ දේවල් ඇවිත්. තරුණයන්ගේ රසඥතාවය වෙනස්. ඒ නිසා ලංකාව තුළ චිත්‍රපටයක් නිර්මාණය කිරිමේදී ඉතා සැළකිල්ලෙන් කටයුතු කළ යුතුයි. එවැනි තත්ත්වයක් තමයි උදාවෙලා තියෙන්නේ.

 

ඒ කියන්නේ එකම කතා තේමා කිහිපයකට වත්මන් ලාංකේය සිනමාව කොටුවෙලා කියන කතාව ඇත්ත?

ඔව්. අද තියෙන්නේ කතා රැල්ලක්. සමහරු කරන්නන් වාලේ කරන්නේ. ඒකත් සිනමා කර්මාන්තයේ බිඳ වැටීමට හේතුවක්. ඇතැම් නිෂ්පාදකවරුත් ඒවාටම හැඩගැහිලා. හැබැයි මම නම් මගේ තෙවැනි චිත්‍රපටයේදිත් කතා තේමාව වෙනස් කර ගත්තා. ඒ චිත්‍රපටය නිර්මාණය කළේ තරුණයන් ඉලක්ක කරගෙන. අද්භූත ශානරයේ චිත්‍රපටයක් විදිහට මම ඒ චිත්‍රපටය හඳුන්වන්න කැමැතියි.

 

සිනමා කර්මාන්තය තුළ විශාල මාෆියාවක් පවතින බවට වත්මන් චිත්‍රපට සංස්ථා සභාපතිනිය පවසනවා?

හරියටම හරි. චිත්‍රපට බෙදාහැරීමේදී තමයි මේ ගැටලුව පැන නැගිලා තියෙන්නේ. මේ හින්දා අද නිෂ්පාදකයා අතට ආදායම ලබාදෙන්නත් විශාල සටනක් කරන්න සිදුවෙලා. සමහරු බටහිර චිත්‍රපට පමණක් එහෙම නැත්නම් දෙමළ චිත්‍රපට පමණක් සිනමා ශාලාවල පෙන්වන්න උත්සාහ කරනවා. ඒකත් සිනමා කර්මාන්තය බිඳ වැටීමට හේතුවෙලා තියෙනවා. ඒත් මේ ක්‍රමය වෙනස් කරන්න එතුමියත් විශාල අරගලයක් කරනවා ශ්‍රී ලාංකේය සිනමාවක් ගොඩනගන්න. වත්මන් සංස්කෘතික ඇමැතිතුමාත් ඒ අරගලයේ ඉන්නවා. ඒ නිසා අපි ඒ කටයුත්ත ඇගයිය යුතුයි.

20190515Sunil-2

විදෙස් රටවල මනාව සිනමාවට ආ අභියෝග ජයගෙන තියෙනවා. ඇයි එහෙනම් අපිට බැරිවුණේ ?

මීට හොඳම උදාහරණය තමයි අසල්වැසි ඉන්දියාව. ඉන්දු ජන ජීවිතයේ කොටසක් විදිහට සිනමාව පත්වෙලා තියෙනවා. ආහාර තරම් ඔවුන්ට සිනමාව වැදගත් වෙලා. ඒ නිසා තමයි හොඳ නිර්මාණ ඉන්දියාවෙන් නිර්මාණය වෙන්නේ. දැන් ඒ චිත්‍රපට ජාත්‍යන්තරය පවා ජයගෙන තියෙනවා. අනික ඉන්දියාවේ එක පාරකට චිත්‍රපට පිටපත් දහසකට වඩා නිර්මාණය වෙනවා. ඒත් ලංකාවේ නිර්මාණය වෙන්නේ අවුරුද්දකටම හතළිහක් පණහක් තරම් අඩු පිටපත් සංඛ්‍යාවක්. බොහෝ චිත්‍රපටකරුවන්ට අවුරුදු ගණන් පෝලිමේ ඉන්න වීමත්, හතු පිපෙන්නා වගේ සිනමා කෘති බිහිවීමත්, ඉන්දියානු අධ්‍යක්ෂකරුවන් ආනයනය කිරීමත්, ඩීවීඩී චිත්‍රපටත් සිනමාවේ ප්‍රමිතිය ගිලිහෙන්න හේතුවක්. මොකද ලංකාවේ ප්‍රේක්ෂකයෝ බුද්ධිමත්. ඔවුන් ජාත්‍යන්තර සිනමාව සමග ලාංකේය සිනමාව සංසන්දනය කරලයි සිනමාපට නරඹන්නේ. එතකොට තේරෙනවා අපේ මට්ටම මොකක්ද කියලා. හැබැයි දක්ෂ තරුණ සිනමාකරුවන් පිරිසක් අපට ඉන්නවා. පවතින පහසුකම් යටතේ ඔවුන් විශාල අරගලයක යෙදෙනවා. අපි එය පැසසිය යුතුයි.     

 

අධ්‍යක්ෂවරුන්ට මණ්ඩලවලට අවශ්‍ය කතා තේමා සිනමාවට ගෙන ඒමට සිදුවෙලා කියලා චෝදනාවක් තියෙනවා?

 එහි යම් සත්‍යතාවයක් තියෙනවා. ඒත් එවැනි සීමාවලට කොටුනොවෙන අධ්‍යක්ෂවරුත් නැතුවාම නෙමෙයි.

 

මාලන් විදානපතිරණ

20190515Sunil-3 20190515Sunil-4 20190515Sunil-6