“කැරකෙන රෝදේ - පුංචි කරත්තේ” සමග ගොවිතැනෙන් කල්ගෙවන ගේය පද රචකයා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කැරකෙන රෝදේ පුංචි කරත්තේ

ඉඳගෙන මම ඉන්නේ

පදික වේදිකා පසුකර යන්නට

තල්ලු කරන් පුතුනේ

 

ගායනවේදි  එඩ්වඩ් ජයකොඩි ගයන මේ අර්ථපූර්ණ පද වැල සිරිල් සමරකෝන් කලාකරුවා අතින් ලියැවී ඇත්තේ මීට දශක හතරකටත් එපිටින්ය. ඉනික්බිතිව ඔහු කළ ගී සහ සාහිත්‍ය නිර්මාණ බොහෝ වෙතත් ‘කැරකෙන රෝදේ’ තරම් ජනයා අතරට නොයෑම අවාසනාවකි. කලා ලෝකයේ බොහෝ දෙනෙකුට අද ඔහු සිටින ඉසව්වක් ගැන හෝ තොරතුරක් නැත්තේ එහෙයිනි. එහෙත් කැකිරාව, අලගොල්ලෑව ගම්මැද්දට වී ඔහු අද ගෙවන දිවිය තෘප්තිමත් එකකි. ඉකුත් දිනක අපි ඔහු සොයා අලගොල්ලෑව ගමට ගියෙමු.  කවියක්, කෙටි කතාවක් ලියන්නට තරම් තවමත් ඔහුගේ හිත පොහොසත්ය. සහායක බස් රියැදුරෙකු ලෙස ගෙවූ සිය වෘත්තීය ජීවිතයෙන්ද විශ්‍රාම ලබා හේන්, කුඹුරු වගා කරමින් ඔහු අද කාලය ගත කරයි.

20190515Siril-2

ඔහු අප සමග මෙසේ පැවසීය.

 

“1970 අවුරුද්දේ තමයි මං ලංගම රස්සාවට ගියේ. මට මතකයි 1972 අවුරුද්දේ තමයි ‘කැරකෙන රෝදේ’ ගීතය ලියවුණේ. සහායක බස් රියැදුරු රස්සාවට මගේ හිතේ කැමැත්තක් තිබුණේ නෑ. මට ඕනකම තිබුණේ ශිෂ්‍ය ගුරු පත්වීමක් අරගෙන කොහේ හරි දුෂ්කර ගම්මැද්දක දරුවන්ට උගන්නන්ඩ යන්ඩ. ඒත් දෛවය ලියැවිලා තිබුණේ වෙන විදිහකට. ඒ කාලේ ශිෂ්‍ය ගුරු පත්වීමකට මාසික පඩිය හැටියට ගෙව්වේ රුපියල් සීයයි. ලංගම බස් කොන්දොස්තර කෙනෙකුට මාසෙට රුපියල් 220ක් ගෙව්වා. ඉතින් තිබ්බ දුෂ්කරතාත් එක්ක කොහොමහරි මං අකමැත්තෙන් වුණත් අවසානේ සහායක රියැදුරු රස්සාවට ආවා. එතකොට මට අවුරුදු විසි තුනයි.”

 

2015 වර්ෂයේදී කලාභූෂණ සම්මානය සහ 2016 වර්ෂයේදී කලා කීර්තිධර සම්මානය ඇතුළුව තවත් සාහිත්‍ය, කලා උපහාර සම්මාන රැසකින් සිරිල් සමරකෝන් කලාකරුවා පිදුම් ලබා ඇත. නුවරගෙදර ජොසපිනාහාමි මෑණියන්ටත්, ටිකිරිබණ්ඩා සමරකෝන් පියාණන්ටත් දාව වර්ෂ 1947 ක් වූ පෙබරවාරි මස 14 වැනිදා කැකිරාව, අලගොල්ලෑවේදී ජන්ම දායාදය ලැබූ සිරිල් සමරකෝන් දැන් හැත්තෑ දෙහැරිවිදි වියේ පසුවන්නේය. ඔහුගේ පියා පාරම්පරික නැටුම් ශිල්පියෙක් මෙන්ම විශිෂ්ට ගණයේ උඩැක්කි වාද්‍ය ශිල්පියෙකි. ඔහු දරුවන් පස්දෙනෙකුගේ පියෙකි. දියණියන් තිදෙනෙකුත්, පුතුන් දෙදෙනෙකුත් ඒ අතරය. බිරිඳ චන්ද්‍රලතා කුමාරිහාමිය. ඔහු නැවත අතීතය සිහිපත් කළේය.

 

“සහායක රියැදුරු පත්වීම අරගෙන මං මුලින්ම වැඩ කළේ 134 පාරේ ගල්කිස්ස - අංගොඩ බස් එකේ. ඉස්සර කොළඹ වැඩි හරියක් දිව්වේ ඩබල් ඩෙකර් බස්. මං වැඩ කෙරුවේ බස් එකේ උඩ කෑල්ලේ. ඉතින් බස් එක නවත්තපු වෙලාවක මං ජනේලයකින් දැක්කා රෝද හයි කරපු ලෑලි තට්ටුවක් උඩ වාඩිවෙලා ඉන්න ආබාධිත මනුස්සයෙක්. ඔය පරණ කුඩ හදන මනුස්සයෙක් වගේ පෙනුණේ. අර ලෑලි තට්ටුව තල්ලු කෙරුවේ අවුරුදු දොළහක් විතර වෙච්ච පුංචි දරුවෙක්. තාත්තයි, පුතයි වෙන්ඩ ඇති. මේ සිද්ධිය දැක්කහම එක පාරටම අතේ තිබ්බ බස් ටිකට් අමුණලා තිබුණු කාඩ්බෝඩ් කෑල්ලේ තමයි ‘කැරකෙන රෝදේ පුංචි කරත්තේ ඉදගෙන මං ඉන්නේ - පදික වේදිකා පසුකර යන්නට තල්ලු කරන් පුතුනේ’ කියලා ලියවුණේ. එච්චරමයි එදා ලිව්වේ. පස්සේ තමයි ඉතුරු වචන ටික ලිව්වේ. ගුවන් විදුලියේ ගීත බැංකුවට ලොකු අදහසක් නැතිව මේ ගීතය තැපැල් කරලා යැව්වා. ඊට අවුරුද්දකට විතර පස්සේ මට දන්වලා තිබුණා ගීතය තෝරාගත්තා අහවල් දවසේ පටිගත කරනවා සහභාගි වෙන්න කියලා. මට මතක හැටියට ඒ 1973 අවුරුද්දේ. ගීතය සංගීතවත් කෙරුවේ කළණි පෙරේරා. සරල ගී වැඩසටහනකට ගීතය ගායනා කෙරුවේ එඩ්වඩ් ජයකොඩි. මට ගුවන් විදුලියෙන් රුපියල් තිහක් දුන්නා.”

 

සිරිල් සමරකෝන් ලියූ සිය ගණනක් වූ ගී පද රචනා මුද්‍රණද්වාරයෙන් කෘතියක් ලෙස පළවී ඇත්තේ ‘කැරකෙන රෝදේ’ නමිනි. ඒ 2014 වර්ෂයේදීය. ඔහු විසින් ලියා, ඔහුම ගී ගැයු ‘මට මාගේ අම්මා වගේ’  සංයුක්ත තැටියද ජීවිතයේ තවත් මිහිරි මතකයකි. ‘නිත්තෑවෝ’ සහ ‘සඳ එළිය’ නමින් කෙටි කතා සංග්‍රහ දෙකක් පාඨකයා අතට පත් කිරීමේ වෑයම තවමත් ඔහුගේ ඉටුනොවූ සිහිනයකි. ඔහු ලියා ඔහුම ගැයූ ‘අඹර කුරක්කන් කළුවේ’ ගීතය පසුකලෙක 11 වැනි වසරේ සිංහල භාෂාව හා සාහිත්‍ය පෙළ පොතට තෝරා පළකිරීමද සිරිල් වැනි අහිංසක කලාකරුවෙකුට දැක්වූ යම් පමණක උපහාරයකි.

 

ආ ගමන් මග ගැනත් අනාගත බලපොරොත්තු ගැනත් ඔහු මෙසේ පැවසුවේය.

 

“මං 1976 අවුරුද්දේ කොළඹින් අනුරාධපුරේට මාරුවක් අරගෙන ආවා. 1979 අවුරුද්දේ ගුවන් විදුලියේ රජරට සේවය පටන් ගත්තා. එතැන ඒ කාලේ ස්වර්ණ ශ්‍රී බණ්ඩාර මහත්තයා අලුත් දක්ෂයින්ට උදව් කරපු විශිෂ්ට මනුස්සයෙක්. අපි වගේ අලුත් අයට උදවු කරපු තවත් පුදුම මනුස්සකම් තිබ්බ කෙනෙක් තමයි ධර්මසිරි ගමගේ මහත්තයා. එතුමා කරුණා ගුණයේ ප්‍රතිමුර්තියක් වගේ. එහෙම අය අද නැති එක ජාතියේම අවාසනාවක්. සංගීතවේදී නිමල් ගුණසේකර මහත්තයා එක්ක එකතුවෙලා ‘තරු මල් පිපී’ නමින් ගී රසාස්වාදන වැඩමුළු මාලාවක් පවත්වන්න සැලසුම් කරගෙන යනවා මේ දවස්වල. මගේ කෙටි කතා පොත් දෙක මුද්‍රණය කරන එක තව බලාපොරෙත්තුවක්. ඒ ඇරුණහම ඉතින් හේන්, කුඹුරු කරගෙන, හවසට වැවෙන් වතුර ටිකක් නාලා සැනසීමෙන් ඉන්නවා.”

 

බුල්නෑව ප්‍රදීප් රණතුංග

20190515Siril-1 20190515Siril-3 20190515Siril-4 20190515Siril-5 20190515Siril-6 20190515Siril-7 20190515Siril-8