ඒක ඇත්තටම නියම පොතක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20190515Hamuduruwo-1අද අපි ආවේ ටිකක් විතර වෙනස් තැනකට...  නිරාමිස සුවයට මොහොතක් සමවැදිලා  හිත නිවාගන්න කියාපු තැනකට... ඇත්තටම අපි ආවේ කලබලකාරී කොළඹ නගරයෙන් ටිකක් විතර ඈත විහාරස්ථානයකට...  ඒ විශේෂ කෙනෙක් මුණගැහෙන්න...  ඒ පූජනීය හිමිනමක්...

උන්වහන්සේ ගැන මම මෙහෙම කියන්නම්... හොඳ සාහිත්‍ය දැනුමකින් පරිපූර්ණ, නිර්මාණයක් ගැඹුරින් රසවිඳින්න හැකි කෙනෙක්... රන්කරඬුව කෘතිය රචනා කර සම්මානයට පවා පාත්‍රවුණා... තව ගොඩක් සාහිත්‍ය කෘති උන්වහන්සේ ලියා තිබෙනවා... නම කියූ සැණින් ලංකාව හඳුනන උන්හන්සේ බටුවංගල රාහුල හිමි....
රාහුල හිමියන්ගේ සාහිත්‍ය වැඩ කටයුතු ගැන අහලම කතාව පටන් ගන්න හිතුවා...

මම අන්තිමට ලිව්වේ, ගුම් කියන නවකතාව... ඊට පස්සෙ නම් අලුත් පොතක් ලියන්න බැරි වුණා...  අදහසක් තියෙනවා තව නිර්මාණයක් කරන්න... කොහොම වුණත් ප්‍රඥා ඇස පහළවෙන හොඳ නිර්මාණ ඇසුරු කරමින්... උපේක්ෂාසහගතව ජීවිතය දකින ගමන් සසර මගෙන් මිදෙන්න වෙරදරනවා.. 
ඒ තමයි රාහුල හිමියන් දැක්ම.. 

 

අවසරයි හාමුදුරුවනේ..  එහෙනම් මම මෙහෙම පටන්ගන්නද
බටුවන්ගල රාහුල හිමියන්ට පේනවාට වඩා වැඩි දෙයක් හිතට කාවද්දපුජීවිතේ යථාර්ථය අවබෝධ කරගන්න උදව් වුණ නිර්මාණයක් ගැන පොඩ්ඩක් කතා කරමුද?  


හිමියන් කතාවට මුලපිරුවා...

එක නිර්මාණයක් තෝරගන්න එක හරි අමාරු වැඩක්...  මම පරිශීලනය කරපු ඒ වගේ නිර්මාණ ගොන්නක්ම තියෙනවා... මෑතකදී නිර්මාණ ඇසුරු කරන්න ලැබුණේ මට ටිකක් අඩුවෙන්...  ඒත් මම ළඟදී කියෙව්වා පොතක්... ඒ පොත ගැන සමාජයේ කතිකාවක් ඇතිවිය යුතු පොතක් කියලා මට හිතෙනවා.. ඒ නිසාම මම අද ඒ පොත තෝරගන්නවා... විරාජිනි තෙන්නකෝන් තමයි ඒ පොතේ ලේඛිකාව. මකරානන්දය තමයි ඒ පොතේ නම... වර්තමානයේ මගේ හිතට තදින් දැනුනු සාහිත්‍ය නිර්මාණය ලෙස තෝරගන්නෙ ඒ පොත තමයි.  

 

ඔබවහන්සේ දකින විදියට මොකක්ද හේතුව මකරානන්දය පොත මෙච්චරම විශේෂ වෙන්න?

මේ කතාව දිවෙන්නේ හරිම යථාර්ථවාදී විදියට... ඒ කෘති ඇතුළේ කියවන පරිසර වර්ණනාවලට මම ගොඩක් ඇලුම් කරනවා. අසූව අනූව දශකයේ ගැමි පරිසරයේ හැඩතලවල ඉඳලා මිනිසුන්ගේ පරිණාමය විවෘත ආර්ථිකයේ බලපෑම්වලින් වේගවත්ව වෙනස්වී යන හැටි...  ඒ ක්‍රියාවලියට ඔරොත්තු නොදීමෙන්  අසිහියෙන් ඉන්න සමාජයක් දේශපාලකයන් සහ කපටි වෙළෙන්ඳන් විසින් තම ගොදුරු බවට පත්කර ගන්නා ආකාරයත්, සමස්ත සිදුවීම්වල ප‍්‍රතිඵලයක් විදියට සෑම අතින් බිඳ වැටෙන සමාජය චීන වෙළඳ ආධිපත්‍ය මතම පිහිටා යන හැටිත් මේ කෘතියෙන් අපූරුවට සාකච්ඡා කරනවා.  කෘතියේ ලේඛිකාවගේ විශේෂ හැකියාවක් ලෙස මම දකින්නේ ඇය කියන දෙයට වඩා ඒ දේ කියා ඇති ආකාරයේ අපූරුවයි... ගැමි පරිසරයක ඉන්න චරිත කිහිපයක් ඇසුරු කරගෙන තමයි මේ කතාව විකාශනය වෙන්නේ... නංහාමි කියන වයෝවෘද්ධ පුද්ගලයාට උවමනා වෙනවා පන්සලක චෛත්‍යයක් නිර්මාණය කරන්න.. වටපිටාවේ සිටින අයගෙන් විවිධ බාධක එනවා... ඔහු කුලයෙන් සහ සමාජ පන්තියෙන් පහත් යැයි තිබෙන හැඟීම සහ බෞද්ධ සමාජයක වුණත් ඒ සමාජයේ ආධිපත්‍යය අත්පත් කරගෙන ඉන්න මිනිස්සුන්ගේ අකමැත්ත මේ බාධක එන්න දැඩි ලෙස බලපානවා... ඒ කෙසේ වුණත් සියල්ල නොතකා ඔහු දැඩි උත්සාහයක නිරතවෙනවා... ඔහුගේ අරමුණ ඉෂ්ඨ සිද්ධ කරගන්න... ගැමි සමාජයේ දහඩිය, කඳුළු තුළින් සානුකම්පිත කතාවක් ඔහුගේ මේ චෛත්‍යය සැබෑවක් වෙනවා... කතාවේ අවසාන කොටස වෙනකොට සමාජයේ වෙනස්වීමත් එකක් චෛත්‍යය සහ නෙළුම් කුළුන සංසන්දනය කරන තැනකට රචිකාවිය මේ කතාව අරගෙන එනවා...

 

මේ කෘතිය ඇතුළේ බටුවන්ගල රාහුලහිමියන් කැමතිම චරිතයක් ඉන්න ඇති නේද?

එකක් නෙමේ මේ කතාවේ ගොඩක් චරිතවලට මම කැමතියි.... ඒ අතරිනුත් මගේ සිත ආදරය කරන චරිතය තමයි නංහාමි.

 

සැබෑ ලෝකයේ නංහාමි වගේ චරිතයක් ඔබ වහන්සේට මුණගැහිලා තියෙනවාද?

ඇත්තටම ඔව්... දැඩි අධිෂ්ඨායෙන් යුක්තව කටයුතු කරන අහිංසක චරිත බහුල වශයෙන් නැති වුණත් ග්‍රාමීය පරිසරයන් තුළ මම දැකලා තියෙනවා... සමාජයේ ප්‍රගමනය  වෙනුවෙන් පරාර්ථකාමීව සමාජයේ එල්ලවන පීඩනයන් නොතකා ක්‍රියාකරන විශිෂ්ඨ චරිත අද වර්තමානයේත් මගේ ඇස ගැටෙනවා...

 

20190515Hamuduruwo-2ඔබවහන්සේ මේ පොත රසවිඳිනකොට වැඩියෙන්ම සංවේදීවෙච්ච තැනක් දෙකක් මතක් කරමුද?

වාරිකර්මාන්තයත් එකක් බැඳිච්ච, වැවෙන් පෝෂණය වන ජන ජීවිතයේ, පැලක් ඇතුලේ ඉඳගෙන ඒ වටපිටාව ප්‍රධාන කරගෙන ජීවත් වෙනකොට... මටත් නිරන්තයෙන් මතක් වෙන්නෙ සුනිල් එදිරිසිංහ මහත්මයා ගායනා කරන මේ තරම් සියුමැලිද කළුගල් කියන අපූරු ගීතය..  සුන්දර චිත්ත රූප මැවෙන්න තරම් අපූරැවට මේ පොතේ ඒ ගැමි පරිසර වර්ණනාවක් ඉදිරිපත් කරලා තිබුණා...  ඒ තැන්වල මම හරියට සංවේදී වුණා...

 

මෙච්චර ලස්සන පොතක් ඔබවහන්සේ අහම්බෙන් ලැබුණා වෙන්න බෑ... කොහොමද මේ පොත හම්බවුණේ.. කී වතාවක් දැනට මේ පොත කියෙව්වද?

නෑ.. ඇත්තටම මේ පොත මට හම්බවුණේ අහම්බෙන් නෙමේ... මම දන්න කිවිඳියක් ඉන්නවා අනුරාධා නිල්මිණී කියලා.. ඇයත් පුවත්පත් කලාවේදිනියක් ලෙස කලක් කටයුතු කරපු කෙනෙක්. ඇය තමයි මට කිව්වේ මේ වගේ ලස්සන පොතක් තියෙනවා... කියවලා බලන්න කියලා... දැනට මම දෙපාරක් මේ පොත කියෙව්වා.. 

 

මේ පොත කියවලා අවසානයේ රාහුල හිමියන්ට දැනුණු හැඟීම වචනවලට පෙරළමුද?

ඉස්සෙල්ලාම මම කියන්න ඕන.. මේ ලේඛිකාව ගැන.. ඇය මේ කෘතිය ඇතුලේ භාෂාව බොහෝම පරිස්සමින් මටසිලිටු විදියට පාවිච්චි කරලා තියෙනවා කියලා දැනුණා... සංකේත පරිහරණයේදී හරි අපූරැ දක්ෂකමක් දක්වලා තියෙනවා.. භාෂාව උපයෝගි කරගෙන නිර්මාණාත්මක සීමාවේ ඉඳන් මිනිහෙකුගේ චින්තනය අවදිකරන්නට ලේඛකයෙකුට මහ මෙහෙවරක් කරන්න පුළුවන්... ඒ මෙහෙවරෙන් සියයට වැඩි කොටසක් විරාජිනි තෙන්නකෝන් කියන රචිකාවිය ඉෂ්ඨකරලා හමාරයි. ඕනෑම හොඳ නිර්මාණයක් අවසානයේ අපි ආනන්දයෙන් ප්‍රඥාවට යා යුතුයි... මිනිස්සුන්ට හිතන්න යමක් ඉතුරු කළ යුතුයි කියලා මම විශ්වාස කරන්නෙ... මේ කතාවේ ඒ දේ හරියටම ඉෂ්ඨ වුණා කියලා මට හිතෙනවා.. යම් යම් කාරණාවලදී සමාජයේ ඛේදවාචක අපි අදත් අත්විඳිනවා.. නමුත් මේ දේවල් සමාජයේ යම් යම් පුද්ගලයො කලින් පෙන්නලා දුන්නා... භික්ෂූන් වහන්සේ වෙන්න පුළුවන්, දැන උගත් අය වෙන්න පුළුවන්.. නමුත් ඒ දේවල් සමාජය හිතුවෙත් නෑ... පාලකයෝ හිතුවෙත් නෑ... සමහර විට ඒ අයගේ ප්‍රඥාවේ ප්‍රමාණය නිසා වෙන්න පුළුවන්... නැත්නම් මනුෂ්‍යත්වයේ නාමයෙන් එහෙම කාරණාවක් කිව්වාම.. අනිත් පුද්ගලයන්ව තලලා පෙළලා දාන්න අකමැති නිසා වෙන්නත් පුළුවන්.. මොකද අපි දැකලා අත්විඳනකම් අපි කිසිදෙයක් විශ්වාස කරන්නේ නැතිකමකුත් තියෙනවනේ... කොහොම වුණත් සමාජයට පසුව දැනෙන දේ... වෙනකෙනෙකුට කලින් දැනෙනවා... කලින් දැනෙන අය ඒවා පෙන්නලා දෙනවා. ඒ මොහොතේ සමාජය විශ්වාස කරන්නෙ නෑ... විවෘත ආර්ථිකය තුළ තිබෙන පීඩනය ප්‍රබුද්ධ ලියනසේකර අපිට කියන්නෙ 1976 විතර. එයාට තිබෙන කල්දක්නා නුවන නිසා නිර්මාණය හරහා අපිට කියනවා. අන්න ඒ සමායේ ඉදිරි මොහොතක් දැක්ක අවස්ථාවක් තමයි මේ නවකතාව තුළින් මම දකින්නෙ... අනිත් කාරණාව තමයි මිත්‍යාවට මොනතරම් දෙයක් කරන්න පුළුවන්ද කියන එක. සමාජයේ වර්තමානය සහ අනාගතයේදී වෙන දේ ගැන ගැඹුරින් කතාකරපු අපූරු කෘතියක් කියලා.. මේ පොත අවසානයේ මට හිතුණා..  
කෙටියෙන්ම කියනව නම් ඉදිරියේ තිබෙන අනතුර ගැන කලාත්මක විදියට අනතුරු ඇඟවීමක් තමයි මේ පොතෙන් කරලා තියෙන්නෙ කියලා... 
එහෙම තමයි බටුවන්ගල හිමියන්... කතාව හමාර කළේ...

 

► Text - Danushka Wijesiri   /   Pic – Internet