‘නදීකාට මතක නැද්ද අපේ පුංචි කාලේ’ගීතය ගැයූ ඔහු අද කොහිද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20190610Sunil-(1)‘නදීකාට මතක නැද්ද අපේ පුංචි කාලේ’ යැයි ගැයූ ඔහු හදිසියේම අතුරුදහන් වෙලා වගේ තොරතුරක් නොමැති වූවත් ඒ ගීතය තවමත් රසිකයන්ගෙ මුවින් ගිලිහෙන ගීතයක්. හදිසියේම ඒ ගීතය ගැයූ සුනිල් ප්‍රනාන්දු අපට මුණගැහෙනවා.

මොකද වුණේ...?අපි ඔහුගේ කතාවට ආරම්භය දුන්නෙ එහෙමයි.

මම ගොඩාක් අසනීප වුණා. සෑහෙන්න කරදර වුණා මට. අසනීප තත්ත්වය නිසා මම ගෙදරටම කොටු වුණා. ඒත් දැන් සෑහෙන්න සුවයි. ඒත් දැන් මාව කාටවත් මතක නැහැ. ගී ගයන්න ඇරැයුම් ලැබීමත් ඒ නිසා සීමා වුණා . දැන් මට නැවතත් ගී ගයන්න පුළුවන්. ඒත් මම ඉන්න බවට ආරංචියක් නැති නිසා  එහෙම අවස්ථා ලැබෙන්නෙ නැහැ.

ඉතින්මම අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ගෙවුණු කාලෙ බොහොම නපුරු කාලයක්. ඒත් ‘නදීකාට මතක නැද්ද’ ගීතය ඇතුළත් සංයුක්ත තැටිය නිසා මම ජීවිතය ජයගත්තා. මගේ දරු තුන්දෙනාවම විශ්වවිද්‍යාලයේ යවල උගන්වල උපාධිධරයන් කරන්න මට හයියක් වුණේ මගේ ඒ ගීත එකතුව. මම ඒ ගීත පෞද්ගලික මට්ටමින් අලෙවි කරල එයින් ඉපයූ ආදායම තමයි දරුවන්ව ඒ තැනට ගේන්න උදව්වක් කරගත්තේ.

 අද මගේ පුතා ඉංජිනේරුවරයෙක්.  දුවල දෙන්නත් උපාධිධාරිනියන්. දැන් ඉතින් දරුවන් දිහා බලලා සැනසුම් සුසුම් හෙළන්න පුළුවන්. මම තනි තනිවම වෙහෙසිලා ‘නදීකාට මතක නැද්ද’ ගී තැටිය සෑහෙන්න අලෙවි කළා. ඒ ගී තැටිය නිකුත් කළේ අම්මා සහ තාත්තාගේ උදව්වෙන්. ඒ කාලෙ මම හොඳින් ගීත ගයනවා දැක්ක අම්මයි තාත්තයි මගේ ආශාව වෙනුවෙන් ඒ ගී තැටිය නිර්මාණය කරන්න මට මුදල් සොයා දුන්නා. සුනිල් ප්‍රනාන්දු කියන ගායකයා බිහිවෙන්නෙ එහෙමයි.

 ඒ සංයුක්ත තැටියේ ගීත සියල්ලම පාහේ ප්‍රවීණ ගීත රචකයින් සහ සංගීතවේදීන්ගේ දායකත්වයෙන් යුතුව නිර්මාණය කරන්නට ඔබ ආධුනිකයෙකු වශයෙන් අදහස් කළේ ඇයි?

අපේ ආධුනිකයන් බොහෝ විට මුදල් හෝ වෙනයම් හේතු නිසා තමන්ගෙ ගීත දැන් දැන් ප්‍රවීණයන්ගෙන් බැහැරව නිර්මාණය කරනව තමයි. නමුත් මම එදා ආධුනිකයෙක් විදිහට ගත්තු තීරණය තමයි තවමත් මට සාර්ථකත්වය ගෙනෙන්නේ.  අපි යම් නිර්මාණයක් කරද්දි එයට නිසි සාධාරණයක් ඉටු කළොත් ඒ ගීත සර්වකාලීන ගීත බවට පත් වෙනවා. එදා ආධුනික මට්ටමේ හිටපු මටත් හිතුණා, එවන් ප්‍රවීණයන් ලවාම මට ගීත නිර්මාණය කරගන්න අවස්ථාව ලැබීම මගේ වාසනාවක් කියලා. අනික එදා ගීත ක්ෂේත්‍රය හා සම්බන්ධ රචකයින්, තනු නිර්මාණකරුවන් පවා මනුෂ්‍යයන් ලෙස ඉතාම නිහතමානී සුන්දර පුද්ගලයින් විදිහට අදත් ගෞරවයට පාත්‍ර වෙනවා.  ඔවුන් මේ ගීතය ලියන්නේ ආධුනිකයෙකුට. ඒ නිසා ඒ තරම් ප්‍රශස්ථ වෙන්න ඕන නෑ කියල හිතුවෙ නෑ. මේ ගීතය අලුත් කෙනෙකුට නිසා සංගීතය ඉතා උසස් වෙන්න ඕන නෑ කියල හිතුව අය හිටියෙ. ඔවුන් ඇත්තෙන්ම ශිල්පියො. ඒ නිසා ඔවුන් හැමකෙනාටම නිර්මාණ හැදුවෙ ප්‍රවීණත්වයේ සිටම තමයි.

ඔබේ ගීත අතරින් අදටත් වැඩිම ජනප්‍රියත්වයක් හිමිකර ගෙන  තියෙන්නේ’නදීකාට මතක නැද්ද’ කියන ගීතය නේද ?

අර්නස්ට් සොයිසා විසින් සංගීතවත් කර දුන් ඒ ගීතය රචනා කළේ හේමසිරි හල්පිට මහත්තයා. හේමසිරි මට ඒ සී ඩී එකට ගීත හතරක් රචනා කළා. ‘සිඟිති ටිකිරි’,’මල් පොකුරු’, ‘ඉරහඳ වාගේ’කියන ගීත හතර තමයි ඒ. ‘සිඟිති ටිකිරි’,’ මල් පොකුරු’ යන ගීත සංගීතවත් කළේ නීල්වර්ණකුලසූරිය. මහින්ද අල්ගම විසින් රචනා කළ ‘තාරකාවන්’ ගීතය සංගීතවත් කරල දුන්නේ නිමල් ගුණසේකරයන්. ‘පායා සඳ පායා’ ජූඩ් ආනන්ද විසින් සංගීතවත් කළා.පද ගලපා දුන්නේ ෂෙහාන් ගලහිටියාව. ‘අඳුර ඉරා’ ගීතය කේ ඩී කේ ධර්මවර්ධනයන් විසින් ලියා මර්වින් පෙරේරා මහත්තයා සංගීතවත් කළා. ‘දිනක හමුවුණා’ ගීතය ලියුවේත්, සංගීතවත් කළේත් රෝයි ප්‍රනාන්දු. ‘උණුසුම හද තුරුලේ’ ගීතය ලියූවෙත්, සංගීත නිර්මාණය කළෙත් ක්ලැරන්ස් විජේවර්ධනයන් විසිනුයි.’සිත පෙර ඔබට’ කියන ගීතය කුලරත්න ආරියවංශ විසින් රචනා කරලා, රෝහණ වීරසිංහයන් විසින් සංගීතවත් කළා.’ඉරහඳ’ වගේ කියන ගීතයසංගීතවත් කළේ කොන්ඩ්‍රඩ් ද සිල්වා.මේ ගීත තමයි මට මාවත් දරු තිදෙනා සහ බිරිඳවත් ජීවත් කරන්න මාර්ගය සැලැස්සුවේ. මම අද ඒ ගැන බොහෝ ආඩම්බර වෙනවා.

ඔබේ බිරියත් ගායිකාවක් ?

ඔව්. ඇයව මට හමුවෙන්නේ ගායිකා ස්වර්ණලතා කවීෂ්වරගෙ සංගීත පංතියේ සිසුවියක් විදිහට. ඒ හමුවීමෙන් ඇතිවුණු ආදර සම්බන්ධය නිසා ඇය මගේ බිරිඳ වෙනවා. සෙලීන් අයිරාංගනී කියන්නේ ඇයයි. ඇයත් මගේ මේ සංයුක්ත තැටියෙ යුග ගායනයෙන් සහය වෙනවා.

 ඔබේ පුතු සංගීත අංශයට සම්බන්ධයි නේද ?

ඔව්. පුතා වැඩිපුරම ප්‍රසිද්ධ ගීත රචනයට. ඔහු ලියූ ගීත මේ වන විට තරුණ පරපුර අතර ගොඩාක් ජනප්‍රියවෙලා තියෙනවා. මටත් දැන් පවතින ආරෙට ගීතයක් පුතා ලියා දුන්නා. තවම පටිගත කළේ නැහැ. දරුවන් තුන් දෙනාටම කලා හැකියාවනුත් තිබෙනවා. මම තාම ජීවත්වෙනවා. ඉස්සර වගේම ගීතත් ගයනවා. මට ආයෙමත් ගී ගයන්න අවස්ථාවක් දෙන්න කියල සංවිධායක මහත්වරුන්ගෙන් පොඩි ඉල්ලීමක් කරනවා. ඉස්සර දවසට සංදර්ශන තුන හතරක ගීත ගයනවා. ඒ ඉපයූ මුදල් මම නාස්ති කළේ නෑ. දරු තිදෙනාත්, ගෙදරත් වෙනුවෙන් තමයි වැය කළේ. මත්පැන් බීලා විනාශ නොකළ ඒ මුදල් අද මට දරු තිදෙනගෙ සාර්ථකත්වය දැකල මැරෙන්න අවස්ථාවක් සලසලා තියෙනවා. මට මගේ මුළු ජීවිතයම වුණේ සංගීතය. ඉතින් මේ ජීවිතේදි ඒ සතුට වෙනුවෙන් කැපවෙන්නයි මට ඕන.

ඔබේ සංයුක්ත තැටිය තවමත් ඉල්ලුමක් ඇති ලස්සන ගීත එකතුවක් වුවත් එය බෙදාහැරීම සිදුකරන්නේ තැපැල් මගින් පමණක් නේද ?

ඉස්සර මමම ගිහින් ඒවා පිට පළාත්වලත් බෙදා හැරියා. දැන් ඇණවුම් කරන අයට තැපෑලෙන් යවනවා. එය මට ආර්ථික වශයෙන්  උපකාරයක්.  මම ඉන්නේ මීගමුව කොච්චිකඩේ. අංක 345/ 2  මාර්ෂලස් පාර, දළුවකොටුව, කොච්චි කඩේ යන ලිපිනයේ. ‘නදීකාට මතක නැද්ද’ සී ඩී පටය මම අදටත් විකුණන්නෙ රුපියල් 259 කට. එය සුළු මුදලක් වුවත් මට එය වැඩි වටිනාකමක් දැනෙන ආදායමක්. 0314 900635 මගේ දුරකථන අංකය. ඉතින්ඉස්සර වගේම ආයෙමත් ගී ගයන්න ඇරැයුම් ලැබෙනවා නම් එය මට හරිම සතුටක්. ආයෙමත් මගේ ජීවිතේ මට ලැබුණා වගේ දැනේවි.

 

සටහන සහ ඡායාරූප - නාලිකා රාජපක්ෂ

20190610Sunil-(3) 20190610Sunil-(6)