ලංකාවේ හොඳම රංගන ශිල්පියෙක් වෙන හීනෙකුත් මට තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20190610Akash-1මේ දිනවල ප්‍රදර්ශනය වන නිශාන්ත සෙනෙවිරත්නගේ ‘සාම කුමරු’ චිත්‍රපටයේ “සාම කුමරයා” ලෙස රංගනයෙන් දායක වන ආකාශ් විහංග ගුණතිලකය. වෙළෙඳ දැන්වීම් හරහා නිතර දකින ආකාශ් මේ වනවිට කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියි. මේ දිගහැරෙන්නේ අප ඔහු සමග කළ කතාබහකි.

ඔබගේ පළමු සිනමා රංගනයද ‘සාම කුමරු’?

නැහැ. මම මීට කලින් සුනෙත් මාලිංග මහත්මයාගේ ‘තුන් වරක් තුන’ චිත්‍රපටයේ රඟපෑවා.  නමුත්, තවමත් ඒ චිත්‍රපටය ප්‍රදර්ශනය වුණේ නැහැ. ඊට පස්සේ තමයි ‘සාම කුමරු’ චිත්‍රපටයට මම සම්බන්ධ වෙන්නේ.

කලාවට සම්බන්ධ වුණේ කොයි කාලෙද?

මට වයස අවුරුදු 4 ½ක් විතර වෙද්දි. උදාර පල්ලියගුරු අංකල් කරපු ‘කිස්බෝ චිකන්’ වෙළෙඳ දැන්වීම හරහා. ඒ වෙළෙඳ දැන්වීම දැකලා බොහෝ දෙනෙක් කතා කළා වෙළෙඳ දැන්වීම්වල රඟපාන්න. දැනට මම වෙළෙඳ දැන්වීම් 40කට වඩා රඟපාලා තියෙනවා. ඒ අතරින් ‘ඇන්කර් කිරි’, ‘එෂියන් පේන්ට්’, ‘මෝතා ජෙලී’, ‘ක්ලෝගාඩ්’, ‘ලයිෆ් බෝයි’  දැන්වීම් ගොඩක් ජනප්‍රිය වුණා.

ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබුණේ නැද්ද?

ලැබුණා. මුලින්ම රඟපෑවේ  ‘දෙවැනි ඉනිම’ ටෙලි නාට්‍යයේ කේශාන්  අයියා රඟපාන ‘අවන්ත’  චරිතේ කුඩා කාලයට. කුඩා කාලේ දර්ශනවල පෙනී ඉන්නේ මම. ඊට අමතරව නිවන්ත ප්‍රසාර අංකල් හිරු රූපවාහිනි නාළිකාව වෙනුවෙන් කරපු ටෙලි සිනමා දෙකක දැනට මම රඟපාලා තියෙනවා. නාලින් මාපිටිය අංකල්ගේ ටෙලි නාට්‍යය කිහිපයකම රඟපාලා තියෙනවා.

ආකාෂ් රඟපාන්න විතරද දක්ෂ?

නැහැ. අධ්‍යාපනයටත් මම ගොඩක් දක්ෂයි. ඊට අමතරව පිහිනුම්, පැසිපන්දු ක්‍රීඩාවෙත් මම යෙදනවා. ගිය වසරේදී ශ්‍රී ලංකා කනිෂ්ඨ පැසිපන්දු කණ්ඩායමටත් මම ක්‍රීඩා කළා. අධ්‍යාපනයට, ක්‍රීඩාවට තියෙන දක්ෂතාවයම මට රංගනයටත් තියෙනවා කියලා හිතෙනවා.

ඔබ කලාවට සම්බන්ධ පවුලකින් කලා ක්ෂේත්‍රයට ආපු කෙනෙක්ද?

මගේ තාත්තා රනිල් ප්‍රියංකර. ඔහු දක්ෂ ගිටාර් වාදන ශිල්පියෙක්. දැනට ‘බ්ලෙඩ්’ සංගීත කණ්ඩායම පවත්වාගෙන යන්නේ ඔහු. රංගනයට නම් අපේ පවුලේ කවුරුත් සම්බන්ධ වෙලා නැහැ මම හැරෙන්න.

දිගටම රඟපාන්නද අදහස?

දැනට නම් මගේ මූලිකම අවධානය යොමු කරලා තියෙන්නේ මගේ අධ්‍යාපන කටයුතුවලට. කලා කටයුතුවලට ඉඩ ලැබෙන පරිදි දායක වෙන්න තමයි අදහස. මගේ පවුලේ හැමෝම වගේ මට උදව් කරනවා. විශේෂයෙන්ම මගේ තාත්තා තමයි හැම කලා කටයුත්තකටම වගේ මාව රැගෙන යන්නේ. අම්මාත් එහෙමයි. පුළුවන් හැම වෙලාවේම මට උදව් කරනවා. කවදා හරි ලංකාවේ හොඳම රංගන ශිල්පියෙක් වෙන හීනයකුත් මට තියෙනවා.

ආක්ෂ්ට රඟපාන්න පුළුවන්ද?

ඔව්, හැබැයි රංගනය ගැන මම හැදැරීමක් කරලා නැහැ. ගොඩක් වෙලාවට මට උදව් කරන්නේ මාව නිර්මාණවලට තෝර ගන්න අධ්‍යක්ෂවරු. ඔවුන් තමයි හැම දෙයක්ම මට කියලා දෙන්නේ. ඒ වගේම මා සමග රංගනයේ යෙදෙන හැමෝමත් ගොඩක් උදව් කරනවා.

මතක් කරන්න අවශ්‍ය කවුද?

මගේ මාමාව මතක් කරන්න ඕන. ඔහු තමයි මට ගොඩක්ම උදව් කරන්නේ. ඒ වගේම මගේ පවුලේ අය. මාව නිර්මාණවලට සම්බන්ධ කරගන්න අධ්‍යක්ෂවරු හැමෝම මතක් කරන්න කැමතියි.

ඡායාරූප - මිහිර බණ්ඩාර / බුද්ධික සේනාධීර

  20190610Akash-2