මින්පසු ප්‍රේක්ෂකාගාරය මත තමයි චිත්‍රපටයක් ගලවනවාද නැද්ද යන්න තීරණය වෙන්නේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිනී අනුෂා ගෝකුල

අධිකරණය පැනවූ වාරණය ඉවත් වීමත් සමගින් චිත්‍රපට බෙදාහැරීමට චිත්‍රපට සංස්ථාව මගින් නව වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන බව ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිනී අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේය. සභාපතිනිය විසින් මෙම අදහස් පළකරන ලද්දේ පසුගියදා (5දා) ජාතික චිත්‍රපට සංස්ථාවේදී පැවති චිත්‍රපට බෙදාහැරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ලංකාවේ සියලු සිනමා ශාලාවල නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙහිදී චිත්‍රපට බෙදාහැරීම පිළිබඳ අනුෂා ගෝකුල මහත්මිය වැඩිදුරටත් කරුණු දැක්විය..

අපි සියලුම දේශීය චිත්‍රපට ලියාපදිංචි කරන්න අපේක්ෂා කරනවා. කලින් චිත්‍රපට ලියාපදිංචි වීම් සිදුවුණා. නමුත් එහෙම ලියාපදිංචි වෙන්නේ චිත්‍රපටය නිෂ්පාදනය කරල සෙන්සර් බෝඩ් එකටත් දාලා. එහෙම නැත්නම් සිනමා ශාලාවල තිරගත වන විට මෙය විධිමත් නැහැ. මේ ක්‍රමවේදය වෙනුවට විධිමත් ක්‍රමවේදයක් තුළින් මේ ලියාපදිංචි කිරීම සිදුකරන්න බලාපොරොත්තු වෙනවා. එලෙස ලියාපදිංචි වූ පසු ඒ සිනොප්සියට අපි අංකයක් ලබාදෙනවා. ඒ අංකය තුළින් තමයි චිත්‍රපටය තිරගත වී අවසන් වනතුරු අපි ක්‍රියාත්මක වෙන්නේ. නමින් ලියාපදිංචි වී ගැටලු මතුව තිබුණා. උදාහරණයක් කිව්වොත් %සෝමවතී^ නමින් චිත්‍රපටය ලියාපදිංචි වී %සෝමවතී^ නමට ණය ලබාගැනීමක් සිදුකරනවා. නමුත් ණය ලබාගත් පසුව එය තිරගත වෙන්නේ %කුසුමාවතී^ කියලා. ඒ ගැන කිසිවෙකු දැනුවත් නෑ. මෙහෙම වුණාම %සෝමවතී^ වෙනුවෙන් ගත් ණය සොයාගන්න බැරි, එවැනි  චිත්‍රපටයක් නැති නිසා. මෙවැනි අක්‍රමිකතා සිදුව තිබුණා. චිත්‍රපටයේ නම වෙනස් කිරීමේ අයිතිය සිනමාකරුවෙකුට තිබෙනවා. ඒ නිසා තමයි අපි අංකයක් මගින් මෙය සිදුකරන්නේ. ඒ අංකයත් එක්ක ලියාපදිංචි වුණත් චිත්‍රපටයේ නම වෙනස් වෙනවා නම් සංස්ථාව අනිවාර්යෙන් දැනුවත් කළ යුතුයි.

මෙලෙස චිත්‍රපටය ලියාපදිංචි කර පසු, එහි නිෂ්පාදන කටයුතු අවසන් වුණාම චිත්‍රපට සංස්ථාවේ මණ්ඩල දෙකකින් චිත්‍රපටය නරඹනවා. ධාරා තුන වෙනුවෙන් චිත්‍රපට පෙළගැස්වීමත්, වර්ගීකරණයත් කමිටු මගින් සිදුකරනවා. අපේ රටේ සිනමා ශාලා 119ක් තිබෙනවා. එසේ වුණත් ඉන් 35mm සිනමා ශාලා 18ක් තියනවා. ඊ සිනමා 68ක් තිබෙනවා. මේ නිසා ප්‍රමිතියෙන් යුතුව චිත්‍රපට පෙන්වන්න තිබෙන අවස්ථාව අඩුයි. මේ හේතුව නිසා  ධාරා තුනකට චිත්‍රපට පෙළගස්වා තිබුණත්, ප්‍රධාන පෙළේ සිනමා නිර්මාණයක්  පැමිණෙද්දි එක ධාරාවක් ලබාදෙන්නත් පුළුවන්. අපිට මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ සිනමාශාලා අඩු නිසා. ඇස්තමේන්තු අනුව මේ රටට සිනමා ශාලා 500ක් අවශ්‍යයි. අවම වශයෙන් 300ක් අවශ්‍යයි. මේ නිසා මේ කටයුත්තට සිනමා ශාලා පහකට වැඩියෙන් තියෙන ශාලා හිමියන්ගෙන් එක් නියෝජනයක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පළාත් නවයෙන් නවදෙනෙකු ලෙසින් සංයුතියක් නිර්මාණයකර චිත්‍රපට පෙළගැස්වීමට විධිවිධාන නිර්මාණය කර තිබෙනවා.

35mm සිනමාහල් 18ක් තිබෙනවා. නිෂ්පාදකයන් මේ සිනමාහල්වල ප්‍රදර්ශනයට ආයෝජනය කරන්න අකමැති වෙන අවස්ථා තිබෙනවා. ඒ නිසා සිනමා ශාලා සමගින් 2019-12-31 වනතුරු 35mm පැරණි ප්‍රේක්ෂකයන් කැමති සිනමා නිර්මාණ ලබාදෙනවා. එහි ප්‍රචාරණයට අපි පූර්ණ මැදිහත්වීමක් කරනවා. ජනවාරි පළවනදා වන විට ඒ චිත්‍රපට 2k විය යුතුයි. එයට අවශ්‍ය ණය ක්‍රමවේදයක් අපි නිර්මාණය කර තිබෙනවා. අඩු පොළියකට ඒ තුළින් ණය ලැබෙනවා.

මින්පසු ප්‍රේක්ෂකාගාරය මත තමයි චිත්‍රපටයක්  ගලවනවාද නැද්ද යන්න තීරණය වෙන්නේ. ඒ වගේම චිත්‍රපටය තිරගත කරන දිනය අපි කල් වේලා ඇතිව නිවැරදිව සඳහන් කරනවා. එය එම චිත්‍රපටයට පෙර, චිත්‍රපට දෙකක් තිරගත වෙන්න කලින් ලබාදෙනවා. එයින් ඔවුන්ගේ පූර්ව ප්‍රචාරණයට හොඳ වාතාවරණයක් ඇතිවෙනවා.

20190709Film-1

මම සභාපතිනිය ලෙස මෙහි පැමිණෙද්දි චිත්‍රපට අනූනවයක් ලැබී තිබුණා. කමිටුවක් යොදාගෙන ඒ සියලුම චිත්‍රපට නැරඹීම සිදුකළා. සමහර පිරිස් චිත්‍රපට කරලා තිබ්බෙ ඩීවීඩියකට. එසේත් නැත්තම් විදේශගත වෙද්දි පාස්පෝට් එකට අධ්‍යක්ෂක යන නම යොදා ගැනීමේ අපේක්ෂාවෙන්. එසේත් නැත්තම් පුතා හෝ දුව නළුවෙක් කරන්න. මේ පව සිනමාශාලා හිමියන් හෝ ප්‍රේක්ෂකයන් දරන්න ඕන නැහැ. අපි එවැනි චිත්‍රපට ප්‍රදර්ශනය කරන්න දෙන්නෙ නැහැ. අපි මින්පසු චිත්‍රපට ලබාගනිද්දි නිර්ණායක ඉදිරිපත් කරනවා. මෙලෙස කමිටුව මගින් තිරගත කිරීම ප්‍රතික්ෂේප කළ චිත්‍රපට හැටපහක් පමණ තිබෙනවා. ඒවා කිසි දිනක සිනමා ශාලාවල තිරගත වෙන්නෙ නැහැ. ඒ අය වෙනුවෙන් වෙනත් වැඩපිළිවෙළක් නිර්මාණය කරනවා. ගම්මාන තුළ ඒවා ප්‍රදර්ශනය කිරීම හෝ සිදුකරනවා. ඒ වගේම පළාත් නවයේ සිනමා උළෙලවල් නවයක් පවත්වනවා.* යනුවෙන් සඳහන් කළේය.

මෙහිදී ලංකාවේ පවතින සියලුම සිනමා ශාලා සංස්ථාව යටතේ ලියාපදිංචි කිරීමටත් එදින  කටයුතු කළේය.

 ජාතික චිත්‍රපට සංස්ථාව සතුව පැවති චිත්‍රපට බෙදාහැරීම, 2002 වර්ෂයේදී නිලවීර වාර්තාව මගින් සියලු බෙදාහැරීමේ කටයුතු පෞද්ගලික අංශයට යොමු කිරීම සිදුවුණි. නැවත පසුගිය වසරේ ජුනි මස 18 වන දින පෞද්ගලික අංශය සතුව පැවති බෙදාහැරීමේ ක්‍රමවේදය ජාතික චිත්‍රපට සංස්ථාවට පවරාගත් අතර, එයට විරුද්ධව චිත්‍රපට බෙදාහැරීමේ සමාගම් අධිකරණ වාරණ නියෝගයන් ලබාගන්නා ලදී. එම අධිකරණ වාරණ නියෝගය පසුගිය ජූනි මස 18 වනදා ඉවත්කරන ලද අතර, මෙම ඉවත් කිරීමත් සමගින් නැවත ජාතික චිත්‍රපට සංස්ථාවට චිත්‍රපට බෙදාහැරීමේ අයිතියත් සමගින් මේ කටයුතු සිදුවන්නේය. මේ අනුව චිත්‍රපට කුලී පදනමද සංශෝධනය කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.

දේශීය චිත්‍රපට බෙදාහැරීමේදී ප්‍රදර්ශකයාට (ආදායමෙන්) 45%, නිෂ්පාදක 45% සංස්ථාවේ 10% මෙතෙක් පැවතියේය. නමුත් ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාව විසින් 2019.06.19 දින සිට බලපැවැත්වෙන පරිදි මුදාහරිනු ලබන සියලුම චිත්‍රපට සඳහා ගෙවනු ලබන කුලී ප්‍රතිශතයන් සංශෝධනය කිරීම සිදුකර ඇත.

නිදුක්  මදුෂික