බෝලය ගන්න දඟලපු දැඟලිල්ල මතක් වෙද්දී මට ඇඬෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20190710Ishan-1ආයුබෝවන්ඩ... කිව්වා...

අපි හිටියේ ඔහුගේ කාර්යාලය ඉදිරිපිට...  
ටිකක් විතර කාර්යබහුල වුණාට.. කතා කරන්න නම් බාධාවක් නෑ...
එයා අපි පිළිගත්තේ නිරහංකාර සිනාවකින්.

අපි මුණගැහෙන්න ගිය ඔහු තරුණ දක්ෂ රංගන ශිල්පියෙක්, ඒ වගේම දක්ෂ නිවේදකයෙක්.
අපි ඔහුව මුලින්ම අඳුනගත්තේ පුංචි තිරය ඔස්සේ... දැන් දැන් ඔහු සිනමාවෙත් කැපී පෙනෙන චරිතයක් වෙලා... මෙයා වෘත්තියෙන් බැංකු ක්ෂේත්‍රයට සම්බන්ධයි... 
මේ වෙන කවුරුත් නෙමේ... ඉෂාන්... ඉෂාන් ගම්මුදලි.

රැකියාවේ රාජකාරී සහ ඇක්ෂන් කට් එක්ක ඔට්ටු වෙන ඉෂාන්ට... මොහොතක් නිදහසේ  ගැවසෙන්න ඉඩඇරලා... මම ආගිය කතාවලින් වැඩේ පටන් ගත්තා...

කොහොමද ඉෂාන් ජීවිතේ...?

පහුගිය අවුරුදු එකහමාරක විතර කාලෙක ඉඳලා මම කිසිම වැඩක් බාරගත්තෙ නෑ.. මොකද මගේ ආයතනයේ රාජකාරී කටයුතු නිසා... මේ දවස්වල මම කරපු ටෙලි හතරක් චැනල් හතරක විකාශනය වෙනවා... අටේ කල්ලිය, ඉත්තෝ, නීලපබලු, හාරත හේරා... තමයි ඒ නිර්මාණ... ඕවා තමයි ඉතින්...

ඉෂාන් ගම්මුදලි.. කියන්නෙ හැකියාවන් ගොඩක එකතුවක්. ඒ වගේම හොඳ රසවින්දනයක් තියෙන තරැණයෙක්.. කියමුද බලන්න ඔබේ ජීවිතයට තදින් වැදුණු නිර්මාණයක විස්තර ටිකක්... හැබැයි ඒක ඉෂාන් සම්බන්ධ වුණු නිර්මාණයක් වෙන්නම බෑ... ?
හරි...

ඒ තමයි ඉෂාන්ගේ කෙළින් පිළිතුර....


සාමාන්‍යයෙන් මම වැඩිපුර ලෝක සිනමාව බලන විඳින කෙනෙක්... මගේ ජීවිත මම වැඩිපුරම කැමති නළු දෙන්නෙක් ඉන්නවා.. එක්කෙනෙක් තමයි ඩෙන්සිල් වොෂින්ටන්... අනිත් එක්කෙනා තමයි ටොම් හෑන්ස්.. මේ දෙන්න රඟපාපු චිත්‍රපට සියල්ලම වගේ මම නරඹලා තියෙනවා.... ඒ අතරිනුත් මම වැඩිපුර කැමති චිත්‍රපටයක් තමයි ටොම් හෑන්ස් රඟපාපු කාස්ට් අ වේ කියන චිත්‍රපටය....

ගොඩක් චිත්‍රපට බලලා තියෙන ඉෂාන්ට කාස්ට් අ වේ චිත්‍රපටයේ මෙච්චරම තියෙන විශේෂත්වය මොකක්ද?

ඇත්තටම. ඒකට කාරණා කීපයක්ම තියෙනවා... මේ සිනමා පටය මට විතරක් විශේෂ එකක් නෙමේ... මුළු ලෝකයට විශේෂ එකක්... 2000 වසරේ දෙසැම්බර් තමයි මුලින් මේ චිත්‍රපටයට රිලීස් වෙන්නෙ... ඊට ආසන්නව ලෝකයේ තිබුණු සෑම සම්මාන උළෙලකම වගේ මේ චිත්‍රපටය ඇගයීමට ලක්වෙනවා... හොඳම නළුවා, හොඳම අධ්‍යක්ෂණය, හොඳම චිත්‍රපටය කියන විශේෂ සම්මාන මේ නිර්මාණය වෙනුවෙන් ලැබෙනවා... ඒක එක හේතුවක්. අනිත් කාරණාව තමයි ටොම් හෑන්ස් කියන අතිවිශිෂ්ඨ නළුවාගේ තිබෙන දක්ෂතාව සහ කැපවීම... මොකද මේ චිත්‍රපටය විනාඩි 143ක ධාවන කාලයකින් යුක්තයි... ඒ විනාඩි 143න් මේ චිත්‍රපටයේ සෙසු චරිත රංගනයෙන් දායක වෙන්නෙ විනාඩි කිහිපයයි... අනිත් සෑම තප්පරයකම ටොම් හෑන්ස් කියන නළුවා තනියෙන් තමයි රංගනයේ යෙදෙන්නේ. තනියෙන් කෙනෙක් මුළු චිත්‍රපටයක රඟපාද්දී අපිට ඒක බෝරින් වෙනවනේ... ඒත් මෙයාගේ රංගනයෙන් කොයිම වෙලාවකවත් අපිට ඒ කම්මැලි ගතිය දැනෙන්නේ නෑ... මොහොතින් මොහොත තප්පරෙන් තප්පරේ අපේ කුතුහලය තවත් වැඩිවුණා... රංගනයක් වෙනුවෙන් අසීමිත විදියට කැපවෙන අනිකුත් නළුවන් අතර ටොම් හෑන්ස් විශේෂයි. චිත්‍රපටය පටන් ගනිද්දී ටොම් හෑන්ස් ඉන්නේ පෘෂ්ටිමත් ශරීරයක් එක්ක. පස්සේ මම මේ චිත්‍රපටය ගැන හොයද්දී මට දැනගන්න ලැබුණා මාස ගාණක් ෂූටිං නවත්තලා ඔහු නිරාහාරව ඉඳලා වතුර විතරක් පානය කරලා තමන්ගේ ඇඟ කෙට්ටු කරගන්නවා... චිත්‍රපටය අවසානයේ ඇට සැකිල්ලක් වගේ ඇඟක් තමයි ඔහුට ඉතිරි වෙන්නෙ...
මේ චිත්‍රපටයේ කතාව දිවෙන්නෙ චක් කියන ගුවන් යානා නියමුවෙක් වටා...  නත්තලට සුබපැතුම්, තෑගි අරගෙන යන ෆෙඩෙක්ස් ගුවන් යානයේ නියමුවා තමයි ඔහු... දරුණු හිමකුණාටුවකට හසුවෙලා මේ ගුවන් යානය පැසිෆික් සාගරයට කඩාගෙන වැටෙනවා... චක් පසුව දූපතකට ගොඩවෙනවා... මේ ගුවන් අනතුරින් ජීවිතය බේරෙන්නේ චක්ගේ පමණයි. මේ කතාවේ හැටියට අවුරුදු 20 - 25ක් මේ දූපතේ ජීවත්වෙනවා... ඔහු ජීවිතයත් එක්ක කරන සටන තමයි මේ චිත්‍රපටය පුරා දිගඇරෙන්නේ... රොබට් ලී තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ... ඔහු මෙවැනි නිර්මාණයක් කිරීමට සිතීම පවා අසීරු වැඩක්... ඔහු ඇතුළු සියලුදෙනා මේ නිර්මාණය හරහා සාර්ථක වෙනවා. 

ඔබ රංගන ශිල්පියෙක් විදියට... චක් කියන ගුවන් නියමුවාගේ චරිතයට පණ පොවන්න අවස්ථාව ලැබුණා නම් කොහොම වෙයිද?

ඇත්තටම එහෙම අවස්ථාවක් ලැබුණොත් ඒ අවස්ථාව දැඩි අධිෂ්ඨානයෙන් බාරගන්නවා... මීට සමාන ලංකාවේ සිනමා කෘතියකුත් තියෙනවා.. ඒ තමයි සනත් ගුණතිලක රංගනයෙන් දායකවුණු විරාගය චිත්‍රපටය.. මම අහලා තියෙන විදියට ඒ චිත්‍රපටයත් අතරමගදී ෂූටිං නතර කරලා නිරාහාරව ඉඳලා පසුව නැවත රූපගත කිරීම් කරපු චිත්‍රපටයක්...  මටත් ඒ වගේ අවස්ථාවක් ලැබුණොත් සතුටින් ඒ අභියෝගය බාරගන්නවා.. 

ඔබට මේ චිත්‍රපටය මුණගැහෙන්න අහම්බෙන් වෙන්න බෑ නේද?

මෙහෙමයි මගේ මිත්‍රයෝ කීපදෙනෙක් ඉන්නවා.. අපි බලන හොඳ නිර්මාණ බෙදාගන්නවා..  ටොම් හෑන්ස්ට මම පිස්සු හැදිලා හිටපු කාලේ මගේ මිත්‍රයෙක් හිටියා චන්දිම ගෝවින්ද කියලා... එයා තමයි මට කිව්වේ.. මෙන්න මේ වගේ ලස්සන චිත්‍රපටයක් තියෙනවා, බලපන් කියලා... විශේෂයෙන් කියන්න ඕනෙ දර්ශන් ධර්මරාජ, සුනෙත් මාලිංග වගේ අය එයාල බලන හොඳ චිත්‍රපට ෆේස්බුක් එකේ හරි ශේයාර් කරලා... බලන්න කියලා කියනවා... 

20190710Ishan-2

ඔබ කී වතාවක් ඔබ මේ චිත්‍රපට බැලුවද?

මම මේ චිත්‍රපයට තුන් හතර සැරයකට වඩා වැඩිය බලලා ඇති...

කාස්ට් අ වේ චිත්‍රපටය ඇතුළේ ඔබව වැඩියෙන් සංවේදී කරපු තැන් එහෙම ගොඩක් ඇති නේද.. එකක් දෙකක් මතක් කරමුද

ආපෝ ඔව්.. එහෙම තැන් ගොඩක් මේ චිත්‍රපටයේ තියෙනවා.. මේ පුද්ගලයා දූපතට තනිවෙලා ඉඳිද්දී.. කන්න බොන්න නැතිව ඉන්න එකම හරිම සංවේදීයි..  තව අවස්ථාවක් තියෙනවා... මේ මනුස්සයට දතක වේදනාවක් එනවා... පසුව ඒ දත ඔහුම ගලවන රූපරාමුවක් තියෙනවා.. එතනත් හරිම සංවේදියි.. ඒ රඟපාන විදියට ඇත්තටම අපේ දතුත් රිදෙන තරමට දැනෙන්න රඟපානවා...  තව සිද්ධියක් තියෙනවා.. අතිශය සංවේදී.. ඒ තමයි ඔහුට භාෂාව මතක නැතිවෙයි කියලා බෝලයක් එක්ක කතා කරනවා... පසුව ඔහුගේ දුකට සැපට ඉන්න මිත්‍රයා බවට මේ බෝලය පත්වෙනවා..  එහෙම ඉන්නකොට ඒ බෝලය මුහුදට වැටෙනවා... ඔහු ඒ බෝලය ගන්න වෙන වෙහෙස මතක් වෙද්දී ඇස්වලට කඳුළු එනවා... 

රංගන ශිල්පියෙක් විදියට මේ චිත්‍රපටයෙන් ඔබ ලබාගත් ඵලය මොන වගේ එකක්ද?

මම නළුවෙක් විදියට නිර්මාණයක් සාර්ථක කරගන්න මොනවගේ කැපවීමක් කරන්න ඕනෙ කියන එක ගැන ලොකු පාඩමක් ඉගෙන ගත්තා.. ටොම් හෑන්ස්ගේ අතිවිශිෂ්ඨ රංගනයෙන් ඉගෙන ගන්න තියෙන දේවල් බොහොමයි... 

මේ චිත්‍රපටයෙන් අවසානයේ ඔබට දැනුණු හැඟීම වචනවලට පෙරළමුද

මේ චිත්‍රපටයේ අවසානයත් හරිම විශේෂයි.. තමන්ට පැවරුණු වගකීම ගැන ලොකු පාඩමක් මේ චිත්‍රපටයෙන් අපිට ඒත්තු ගන්වනවා... චක්... මුලින්ම උත්සාහ කළේ කුණාටුවට හසුවෙලා අතරමං වුණාට පස්සේ තමන්ගේ ජීවිතය ජීවත් කරවන්න.. පස්සේ ඔහුගේ අරමුණ වෙනස් වෙනවා... ඔහු අරගෙන ගිය තෑගි භාණ්ඩ කිහිපයක් ඔහු එකතු කරලා පරිස්සම් කරනවා.. කවදා හරි දවසක මේ දූපතෙන් ගියදාක.. ඒ  අයිති අයට මේ තෑගි භාණ්ඩ නැවත ලබාදෙන්න.. ඔහු දූපතෙන් බේරිලා යන දවසෙත් ඒ තෑගි කිහිපය ඔහු අතේ තියෙනවා.. ඔහු එක පාර්සලයක් අරගෙන ඇඩ්‍රස් එක හොයාගෙන යනවා... එතකොට තමයි අපි තේරෙන්නේ ඔහු කොච්චර කාලයක් මේ දූපතේ හිරවෙලා ඉඳලාද කියලා... මට මතක හැටියට ඒ පාර්සලයේ තියෙන්නේ තාත්තෙක් චූටි දුවෙකුට යවන බෝනික්කෙක්... මේ ඇඩ්‍රස් එක තියෙන ගෙදර චක් යනකොට... ඒ තෑග්ග එව්ව දුවටත් පුංචි දුවෙක් ඉන්නවා... එතනින් තමයි මේ චිත්‍රපටය ඉවරවෙන්න..  අවසානයේත් එයා එයාගේ වගකීම හරියටම ඉටුකළා... 
ඉෂාන් කතාවට තිත තිබ්බා...

 

► Text - Danushka Wijesiri   /   Pic - Internet