චිත්‍රපට බෙදාහැරීම චිත්‍රපට සංස්ථාවට පැවරීම ගැන කලාකරුවෝ ගැන අදහස්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

චිත්‍රපට බෙදාහැරීම චිත්‍රපට සංස්ථාව වෙත පවරමින් ලැබුණු අධිකරණ තීන්දුවෙන් පසුව විවිධ පාර්ශව ඒ සම්බන්ධව විවිධ අදහස් දරන අයුරු දක්නට ලැබේ. එවන් පසුබිමක  සිනමා කර්මාන්තයේ නියුක්ත පාර්ශ්වයන් කිහිපයක් දැක්වූ අදහස් කීපයකි මේ.

සිනමා කර්මාන්තයේ ප්‍රගමනයට රජයේ අනුග්‍රහය ඉතාම අවශ්‍යයයි

20190717Kalakaruwo-1සුමිත්‍රා පීරිස් - චිත්‍රපට අධ්‍යක්ෂිකා

මට මේ මොහොතේ සිහිපත් වෙනවා අතීතයේදී අපි චිත්‍රපට සංස්ථාවක් අවශ්‍ය යැයි සිදුකළ අරගලය. අපේ තරුණ කාලේ ජවය ඒ වෙනුවෙන් වැය කළා. එදා සිංහල චිත්‍රපටවලට සිදුවූ කෙණෙහිලිකම්වලට එරෙහිව අපි පෙනී සිටියා.

චිත්‍රපට කර්මාන්තය රජය මගින් පාලනය කිරීම ප්‍රතිඵලදායක බවට හොඳ උදාහරණයක්. පෝලන්තය වැනි රටවල පෞද්ගලික අංශය හැම විටම කටයුතු කරන්නේ ලාබ බලාගෙනයි. කලාවක් ලෙස නොසැළකීම හානිදායක වුණා.

සිනමාව නවීනතම කලාව. අප කවුද යන්න හඳුන්වාදීමට හොඳම මාධ්‍ය සිනමාව. ඒ නිසා සිනමාවේ කාර්යභාරය වගකීමෙන් යුතුව සොයා බැලීමට රජයේ පාලනයට යටත් විය යුතු වෙනවා. ඒ වාණිජ චිත්‍රපටවලට මෙන්ම කලාත්මක චිත්‍රපටවලටත් අවස්ථාව ලබාදිය යුතු නිසායි.

සිනමා කර්මාන්තයේ ප්‍රගමනයට රජයේ අනුග්‍රහය ඉතාම අවශ්‍යයයි. ඒ නිසා අපි හැමවිටම කැමැතියි චිත්‍රපට සංස්ථාවට ශක්තියක් වෙන්න. වත්මන් සංස්ථා සභාපතිතුමිය වන අනූෂා ගෝකුල මහත්මිය මේ සම්බන්ධව ක්‍රියාත්මක වීමේදී යම් කැප කිරීමක් පෙනෙන නිසා සාර්ථක වේවි කියලා හිතනවා. මගේ ජීවිතයෙන් අවුරුදු 50ක් ගෙවුණේ සිනමාව සමඟයි. ඉතින් ඉදිරි කෙටි කාලයේදී වඩා හොඳ සිනමාවක් බිහිවේවා යන ප්‍රාර්ථනය මගේ හිතේ තියෙනවා.

අතීතයේ සිටම චිත්‍රපට බෙදාහැරීම රජය සතු විය යුතු යැයි අප හඬ නැගුවා

20190717Kalakaruwo-5රොහාන් වැලිවිට - දේශීය සිනමා ශිල්පීන්ගේ සංගමයේ සභාපති (චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ සංගමයේ උප ලේකම්) 

1972ට පෙර පෞද්ගලික ව්‍යාපාරිකයින් අත පැවැති චිත්‍රපට කර්මාන්තය ජන සතු කළේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියයි. චිත්‍රපට සංස්ථාව ආරම්භ කළේ ප්‍රබල පනතකින්. ඒ නිසා 70, 80 දශකවල හොඳ සිනමාවක් බිහිවුණා.

ලෝකයේ රටවල් ලංකාව ගැන දැනගන්නේ සිනමාවෙන්. ක්‍රිකට්වලින් දැනගන්නේ ඊට බොහෝ කලකට පසු සිනමාව රටක සංස්කෘතිය පිළිඹිබු වන ප්‍රධාන අංගයක්. ඒ නිසා රජය විසින් සිනමාව රැකගත යුතුයි. අවාසනාවකට 1999.06.07 වැනිදා චිත්‍රපට බෙදාහැරීම පෞද්ගලික අංශයට පැවැරීමේ ඩික්සන් නිලවීර වාර්තාව නිකුත් වුණා. ඒ අනුව එවකට සිටි සභාපතිවරයා සනත් ගුණතිලක සමග එකතුවෙලා චිත්‍රපට බෙදාහැරීම පෞද්ගලික ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකුට පවරා දුන්නා. ඒ පෞද්ගලික ආයතනවල සිටියේ අපේ සංස්කෘතිය ගැන සිතා වැඩ කරන අය නොවෙයි. ඔවුන් චිත්‍රපට බෙදාහැරීම සිදුකළේ අසාධාරණ ක්‍රම‘වේදයකට. නිලවීර වාර්තාවේ තියෙනවා සංස්ථාව විසින් පෞද්ගලික අංශය නියාමනය කළ යුතු බව. නමුත් පසුගිය කාලයේ එය සිදුවුණේ නැහැ.

සිනමාවේ යම් කඩාවැටීමක් තිබෙනවා නම් සභාපතිට හා අධ්‍යක්ෂ මණ්ඩලයට තිබෙන බලතල ක්‍රියාත්මක නොකිරීම නිසා ඒකට ජාතික චිත්‍රපට සංස්ථාවත් වගකිව යුතුයි. නමුත් අපේ වාසනාවට විජේදාස රාජපක්ෂ මහතා ඇමැතිවරයා වූ අවස්ථාවේ චිත්‍රපට බෙදාහැරීම යළි චිත්‍රපට සංස්ථාව වෙත පවරා ගත්තා. පසුගිය වසරේ පෞද්ගලික අංශය නඩු පැවරුවත් මේ වන විට පැවැති වාරණය ඉවත් කිරීම නිසා සංස්ථාව ජයගෙන තිබෙනවා.

අතීතයේ සිටම චිත්‍රපට බෙදාහැරීම රජය සතු විය යුතු යැයි අප හඬ නැගුවා. දැන් එතැනට පැමිණ තිබීම සතුටුයි. නමුත් නඩුව දිගටම පවතින නිසා යම් අවදානමක් තිබෙනවා. මේ ක්‍රමය අනෙක් පැත්තට හරවන තීන්දුවක් ලැබුණොත් ලොකු අර්බුදයක් ඇතිවෙනවා. 2001දී බෙදාහැරීම ලබාගත් පසු පෞද්ගලික මණ්ඩල පොරොන්දු ඉටු කළේ නැහැ. ඔවුන් හිතුමතේ ක්‍රියා කළත් ඊට එරෙහිව නිසි පියවර නොගෙන සිටීමේ ප්‍රතිවිපාක ලැබෙන්නට පුළුවන්.

 

චිත්‍රපට සංස්ථාව නව මගකට අවතීර්ණ වෙලා

20190717Kalakaruwo-6රෙක්ස් කොඩිප්පිලි - ප්‍රවීණ රංගන ශිල්පී / චිත්‍රපට නිෂ්පාදක

සජිත් ප්‍රේමදාස මහතා‍ගේ නව වැඩපිළිවෙළ අනුව මට හිතෙනවා චිත්‍රපට සංස්ථාවෙන් සිනමා ක්ෂේත්‍රයට කළ යුතු බොහෝ දේවල් හරියාකාරව කෙරෙයි කියලා. එතුමා වැඩකට අත තිබ්බොත් කාටවත් දොසක් කියන්න බැරි විදිහට එය ඉෂ්ට සිද්ධ කරනවා. පසුගිය කාලයේ ක්ෂේත්‍ර‘යෙන් ඈත්වී සිටියත් මම චිත්‍රපට ක්ෂේත්‍ර‘යේ අවුරුදු පණස් ගණනක් කටයුතු කර තිබෙනවා. ඇමැතිතුමාගේ ආශිර්වාදයෙන් චිත්‍රපට සංස්ථාව නව මගකට අවතීර්ණ කරවන සභාපතිනි අනුෂා ගෝකුල මහත්මියගේ කැපවීම නිසා නැවත චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

ප්‍රවේශපත්‍ර මගින් ප්‍රේක්ෂකයා සූරා කෑම නැවැත්වීමට සංස්ථාව ක්‍රියා කළ යුතුයි

දිනේෂ් ප්‍රියසාද් - චිත්‍රපට අධ්‍යක්ෂ

මම සංස්ථාවට සම්බන්ධ වුණේ චිත්‍රපට සංස්ථාව ආරම්භ කළ මුල් යුගයේ (1974). ඒ කාලේ සංස්ථාවෙන් අධ්‍යක්ෂකවරුන්ට චිත්‍රපට කරන්න සහ ප්‍රදර්ශනය කරන්න හොඳ පහසුකම් සැලසුණා. රැඟුම්පාලක මණ්ඩලයේ අනුමැතිය පරිදි අනුපිළිවෙළක් තිබුණා. ඒ නිසා අපිට චිත්‍රපටය ප්‍රදර්ශනය වීම පිළිබඳ විශ්වාසයක් තිබුණා. 2001න් පසු ඒ සියල්ල කණපිට හැරුණා.

ඒවාට දේශපාලන තීන්දු තීරණ හේතු වුණා. ඩික්සන් නිලවීර වාර්තාවත් සමඟ චිත්‍රපට ප්‍රදර්ශනය කළා. නමුත් දැන් සංස්ථා සභාපති ලෙස අනූෂා ගෝකුල මහත්මිය පත්වීමත් සමග ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳ අපි සතුටු වෙනවා. ඇය කෙළින් තීරණ ගන්නවා. ඒ නිසා දැනටමත් දේශීය සිනමාවට යහපත් කාලයක් උදා වී තිබෙනවා.         

පෞද්ගලික බෙදාහැරීමේ මණ්ඩලවලට අපි චිත්‍රපටයක් රැගෙන ගියාම ඔවුන්ගේ බොහෝ නීතිරීතිවලට යටත් වීමට සිදුවුණා. අල්ලස් දීමටත් සිදුවුණා. සමහර විශේෂ චිත්‍රපට කරන අය දැවැන්ත පිටපත් ප්‍රමාණයක් මුද්‍රණය කර වෙනත් මණ්ඩලවල සිනමා ශාලාත් ආක්‍රමණය කළා. එවිට වෙනත් චිත්‍රපටකරුවෙකුට ඉඩක් නැහැ. එක් පුද්ගලයෙකුගේ චිත්‍රපටයක් පමණයි ප්‍රදර්ශනය වුණේ.

අපේ රටේ සිනමා ශාලා විශාල සංඛ්‍යාවක් තිබෙනවා නම්, එක් විග්‍රහයකින් පිටපත් 80ක් ප්‍රදර්ශනය වුණාට කමක් නැහැ. නමුත් ලංකාවේ සිංහල චිත්‍රපට සඳහා තිබෙන 100ක් පමණ වූ ශාලා ප්‍රමාණය එක් චිත්‍රපටකරුවෙකු ලබාගත් විට නිෂ්පාදකයින් බොහෝ දෙනා අගතියට පත් වෙනවා.

දැන් සිනමාහල්වල එදා පැවැති පන්ති ක්‍රමය අහෝසි වී තිබීම නිසාත් ප්‍රේක්ෂකයින් සිනමා ශාලාවලට පැමිණීම අඩු වී තිබෙනවා. පෞද්ගලික අංශය විසින් සිනමාහල්වල ප්‍ර‘වේශ පත්‍ර මිල හිතුමතේ ඉහළ නංවා තිබෙනවා. එදා අඩු මුදලට 'ගැලරිය' තිබුණා. නැවතත් ගැලරිය, දෙවැනි පන්තිය අඩු මුදලට ඇති කළ යුතුයි. එවිට හිස්ව තිබෙන සිනමා ශාලා යම් පමණකට හෝ පිරෙයි.

ඒ නිසා දැන්වත් පසුගිය කාලයේ පෞද්ගලික අංශය විසින් වැඩි මිල ප්‍ර‘වේශපත්‍ර මගින් ප්‍රේක්ෂකයා සූරා කෑම නැවැත්වීමට සංස්ථාව ක්‍රියා කළ යුතුයි.

 

පෞද්ගලික බෙදාහැරීමේ සමාගම්වල අකටයුතුකම් නිසා දේශීය සිනමාව කඩා වැටුණා

20190717Kalakaruwo-2එරංග සේනාරත්න - චිත්‍රපට අධ්‍යක්ෂ/ නිෂ්පාදක

ජාතික චිත්‍රපට සංස්ථාව යටතට චිත්‍රපට බෙදාහැරීම පවරා ගැනීම නිසා චිත්‍රපට නිෂ්පාදකයාට, අධ්‍යක්ෂකවරයාට දැඩි සුරක්ෂිතභාවයක් ඇති වෙලා තිබෙනවා. අපේ නිර්මාණවලට හා ආයෝජනයට වගකියන ආයතන රාමුවක් තිබීම විශාල හයියක්. පසුගිය දහ අට වසර පුරා එවැන්නක් නොතිබීම නිසා අප කෙතරම් අවදානමකට ලක්වුණාද? පෞද්ගලික බෙදාහැරීමේ සමාගම්වල අකටයුතුකම් නිසා දේශීය සිනමාව කඩා වැටුණා. සිනමාකරුවන් අගතියට පත් වුණා. ඒ නිසා රාජ්‍ය ආයතනයක් යටතට සිනමාව පත්වීම අපේ වාසනාවක්.

පසුගිය දහ අට වසර පුරාම අප පෞද්ගලික ව්‍යාපාරිකයන්ගේ පීඩනයට හසු වී සිටියා. අපි චිත්‍රපට හැදිය යුතු වුණේ ඔවුන්ගේ රුචි අරුචිකම් අනුව.

යම් චිත්‍රපටයක් ජනප්‍රිය වූ විට ඒ වර්ගයේ චිත්‍රපට හදන ලෙස චිත්‍රපට සමාගම් උපදෙස් දෙනවා. එවැනි රැළි නිසා විවිෂ ධාරාවන්ගේ චිත්‍රපටකරුවන් අගතියට පත්වුණා. නමුත් දැන් ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිනියගේ එඩිතර ක්‍රියා කලාපය අප අගය කළ යුතුයි.

 

සංස්ථාවේ ඇතුළත ව්‍යුහය නැවත සැකැසිය යුතුයි

20190717Kalakaruwo-4අර්ජුන කමලනාත් - රංගන ශිල්පී/ චිත්‍රපට නිෂ්පාදක

2001දී ජාතික චිත්‍රපටි සංස්ථාව සතුව පැවැති චිත්‍රපට බෙදාහැරීම සාර්ථක නොවන බව පවසා චන්ද්‍රිකා ජනාධිපතිනිය පෞද්ගලික අංශයට ලබා දුන්නා.

නමුත් කෙටි කලකින්ම බෙදාහැරීමේ මණ්ඩලය අසාර්ථක වුණා. චිත්‍රපට සංස්ථාවට නියාමන බලය තිබුණත් ඔවුන් වගකීම ඉටුකළේ නැහැ.  

සංස්ථාවට පසුගිය කාලයේ පැමිණි සෑම සභාපතිවරයෙක්ම ඒ මාෆියාවේ ඉන්න නිෂ්පාදකවරුන්ට හසුවුණා. මේ හිතවත්කම් නිසා මණ්ඩලවලට තමන්ට අවශ්‍ය දේ කර ගැනීමට ඉඩ දී ඇස් කන් පියාගෙන හිටියා. සමහර සභාපතිවරු මෙය නිවැරදි කිරීමට උත්සහ කළත් හරි ගියේ නැහැ.

සංස්ථාවේ සමහර නිලධාරීන් මණ්ඩලවලට වැරැදි කරන්න ඉඩ දුන්නා. යම් යම් වරප්‍රසාද මත. පසුගිය කාලයේ චිත්‍රපට සංස්ථාවට තමන්ගේ වගකීම අමතක වුණා.

දැන් සංස්ථාවට බෙදාහැරීම ආපසු පවරා ගැනීම හොඳයි. නමුත් සංස්ථාවේ ඇතුළත ව්‍යුහය නැවත සැකැසිය යුතුයි. ඒ සඳහා නව සභාපතිනිය පියවර ගත යුතුයි.

දැනට සකස් කර තිබෙන චිත්‍රපට බෙදාහැරීමේ ධාරා තුන ඉතාම හොඳයි. කලින් ඊ.ඒ.පී. මණ්ඩලයේ හොඳම හෝ ටික තිබුණා. බෙදාහැරීමේදී නීතිය කාටත් එක සමානව ක්‍රියාත්මක කළොත් ඒ බෙදාහැරීමේ මණ්ඩලත් දවසක කියයි සංස්ථාව හරි කියලා.