නාට්‍ය කලාව පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාදෙන්න ‘ඩ්‍රාමා’ සඟරාව හරහා උත්සාහ කරනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20190812Jehan-1‘ඩ්‍රාමා’ සඟරාවේ ප්‍රධාන සංස්කාරක ජෙහාන් ශ්‍රිකාන්ත් අප්පුහාමි

Theatre works production’  හි ප්‍රකාශනයක් වන ඩ්‍රාමා ද්විමාසික සඟරාවේ මංගල කලාපය පසුගියදා එළිදැක්විය. මෙය නිමිති කර ගනිමින් එහි ප්‍රධාන සංස්කාරක ජෙහාන් ශ්‍රිකාන්ත් අප්පුහාමි අප සමග මෙසේ සම්මුඛ විය.

නාට්‍ය හා රංග කලාව සම්බන්ධයෙන් සඟරාවක් නිර්මාණය කරන්න අදහස් කරන්නේ ඇයි?

ලංකාවේ  නාට්‍ය කලාව තුළ ලොකු අර්බුදයක් තියනවා. මේ මොහොතේ ලංකාවේ සිටින බහුතර ප්‍රේක්ෂකයින් පිරිසක් වැළැඳගෙන සිටින්නේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලු පවතින නාට්‍ය කිහිපයක් විතරයි. රාජ්‍ය නාට්‍යය උළෙලේ අවසන් වටය නියෝජනය කරන නාට්‍යවලට මේ තත්ත්වය මත පැවැත්මක් නැතිවෙලා තිබෙනවා. මේ නිසා රාජ්‍ය නාට්‍ය උළෙල හෝ යෞවන නාට්‍ය උළෙල නියෝජනය කර පසු එම නාට්‍ය වේදිකාගත කිරීම අවසන් වෙනවා. එම නාට්‍යය කොළඹින් පිට පළාත්වල වේදිකාගත වෙන්නේ නැහැ. දැන් නාට්‍ය සංවිධායකවරු තමයි නාට්‍ය ගැන තීරණ ගන්නේ. මේ ක්‍රියාවේදි ගුණාත්මක බවෙන් වැඩි නාට්‍යය දුර පළාත්වලට යන්නේ නැහැ. මේ ප්‍රේක්ෂකයින්ට සම්භාව්‍ය නාට්‍යය හරියන්නේ නැහැ, මේ අයට හරි යන්නේ කොමඩි නාට්‍යය කියලා ඔවුන් තමයි තීරණය කරන්නේ. ඒ ප්‍රවණතාවය මේ මොහොතේ ලංකාවේ පවතිනවා. අපිට මේ සම්බන්ධයෙන් කරන්න පුළුවන් දේ මොකක්ද කියලා අපි බැලුවා.

මුලින්ම ගුණාත්මකත්වයෙන් ඉහළ නාට්‍ය ගමට ගෙනියන වැඩපිළිවෙළක් ආරම්භ කළා. අනුරාධපුර, පොළොන්නරුව වැනි ප්‍රදේශවල නාට්‍ය පෙන්වන්න තමයි තීරණය කළේ. නමුත් රට තුළ ඇතිවූ වාතාවරණයත් සමගින් එය සිදුකරන්න නොහැකි වුණා. ඉන්පසුව අපි තීරණය කළා ‘Drama’ නමින් ද්විමාසික සඟරාවක් කරන්න.

Drama’ ද්විමාසික සඟරාවේ අන්තර්ගතය ගැන කතා කළොත්?

මේ සඟරාව තුළින් අපි ලෝක නාට්‍ය කලාව, ලංකාවේ නාට්‍ය කලාව ගැන කතා කරනවා. අපි මෙවර සඟරාවෙන්,ෂෝන් පෝල් සාත්‍රෙගේගේ දර්ශනය මත පදනම් වු නාට්‍ය,ඔහුගේ ජීවිතය ගැන තමයි කතා කරන්නේ. ඔහුගේ නිර්මාණ ඇසුරෙන් ලංකාවේ පරිවර්තන නාට්‍යය මොනවද ආදි බොහෝ කාරණා ගැන කතා කරනවා. උදාහරණයක් විදිහට ඔහුගේ නාට්‍යයක් තමයි ‘Men Without Shadow’ කියන වේදිකා නාට්‍යය. ඒ නාට්‍යය ඇසුරෙන් තමයි ධර්මසිරි බණ්ඩාරනායක ‘ධවල භීෂණ’ වේදිකා නාට්‍යය නිර්මාණය කරන්නේ.මේ නාට්‍යය පෙන්වූ වකවානුව ඒ නාට්‍යය පසුබිම් වූ කාලය ගැන ආදි දේවල් මේ තුළ විවරණය කරනවා. ධර්මසිරි බණ්ඩාරනායක,කෞෂල්‍යා ප්‍රනාන්දු, ජැක්සන් ඇන්තනී යන ඒ නාට්‍යයට දායක වූ අයගේ සම්මුඛ සාකච්ඡාවකුත් පළවෙනවා. ඒ වගේම පාසල් නාට්‍ය කලාව ගැනත් අවධානය යොමු කරනවා.මේ මොහොතේ පාසල් නාට්‍ය කලාවේ අර්බුද, ගැමි නාට්‍ය කලාව,ආලෝකකරණය, වේෂ නිරූපණය ආදි දේවල් මේ තුළින් සාකච්ඡා කරනවා.

20190812Jehan-2

මෙවැනි සඟරාවකින් පවතින තත්වයට යම් සාධනීය දෙයක් කරන්න පුළුවන් කියලා හිතනවද?

අපිට මේ සඟරාව සඳහා සංස්කෘතික අමාත්‍යංශය හා අධ්‍යාපන අමාත්‍යංශය මගින් සහයෝගයක් ලබාදෙනවා. විශේෂයෙන් සංස්කෘතික අමාත්‍යංශයේ අනූෂා ගෝකුල අධ්‍යක්ෂකතුමිය හා අධ්‍යාපන අමාත්‍යංශයේ නාට්‍ය හා රංග කලාව භාරව ඉන්න අලහකෝන් යන අය  ලොකු සහයෝගයක් ලබාදෙනවා. මේ සඟරාව පාසල්වල ඉන්න ගුරුවරුන් අතට පත් කිරීමේ මාර්ගයක් අපි නිර්මාණය කරගෙන තියනවා. බොහෝ විට මේ ගුරුවරුන්ට නරඹන්න වෙන්නේ සිලබස් එකේ තිබෙන සරච්චන්ද්‍ර මහත්මයාගේ වේදිකා නාට්‍ය පමණයි. එසේත් නැත්තම් කොළඔ ඉන්න සංවිධායකවරුන් පෙන්වන ප්‍රමිතියෙන් බාල නාට්‍ය තමයි නරඹන්න සිද්ධවෙලා තියෙන්නේ. රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටය නියෝජනය කළ නාට්‍යයක් බලන්න වෙන්නෙම නැහැ. එවැනි නාට්‍යය ප්‍රේක්ෂකයින් බලන්නේ නැහැ කියලා සංවිධායකවරු තීරණය කරලා ඉවරයි. අපි මෙම සඟරාව තුළින් මෙවැනි නාට්‍ය ගැන කතා කරනවා. ලෝක නාට්‍ය කලාව හා ලාංකේය නාට්‍ය කලාව ගැන කතා කරනවා. අපේ ඉලක්කගත පාඨකාගාරය කුඩා කුලකයක් වෙන්න පුළුවන්, නමුත් ඒ පිරිසට හරි මේ පවතින දේවල් ගැන නිවැරදිව ලබාදෙන්න පුළුවන් හොඳම මාධ්‍ය විදිහට තමයි මම මේ සඟරාව දකින්නේ..

Drama’ සගරාව පාඨකයින් අතට පත්වෙන්නේ කොහොමද?

ද්වි මාසික සඟරාවක් ලෙස තමයි මෙය නිකුත් වෙන්නේ. නාට්‍ය හා රංග කලාව හදාරන පාසල් ළමයින්, විශ්වවිද්‍යාලවල ඉගෙනගන්නා විද්‍යාර්ථයින්ට මෙය ඉතා වැදගත් සඟරාවක් වෙයි. ඉදිරියේදි අපේ ආයතනය මගින්, පාසල් ළමුන්ට සහ නාට්‍ය හා රංග කලාවට කැමැත්තක් දක්වන පිරිස්වලට වැඩමුළු පවත්වන්න කටයුතු කරනවා. එවන් අවස්ථාවල මේ සඟරාව ලබාගන්නත් පුළුවන්. ෆේස්බුක්හි පවතින  ‘Drama’ යන අපේ  ජේජ් එකට තොරතුරු ලබාදී තැපෑලෙන් සඟරාව ගන්නත් පුළුවන්. ඒ වගේම ඉදිරියේදි අපි මේ සගරාව ඊ බුක් එකක් විදිහට එළිදක්වන්නත් බලාපොරොත්තු වෙනවා.

0760213077

0760274276

 

නිදුක් මදුෂික