ලොරිබාගෙන් ගිහින් ලොකු තිරේ රූප දකිද්දි හොල්මන් වුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිර්මාණයක් එක්ක ගැඹුරට කිමිදෙන්න... ජීවිතයේ සොඳුරු තැන් ස්පර්ශ කරන්න අපිට ගැලපෙන කෙනෙක් හොයාගෙන අපි ආවේ බොරලැස්ගමුවට...

අපි ඔහුගේ කාර්යාලයට ගොඩවුණා විතරයි එයා අප ව සුහදව පිළිගත්තා...

ආයුබෝවන්... 

හරි මම කියන්නම් ඒ කවුද කියලා... ඔහු ඡායාරූපය දකින්නේ වෙනස්ම විදිහකට... දැනට අපේ රටේ ඉන්න ප්‍රවීණම ඡායාරෑප ශිල්පීන් අතර ඉන්න මුල්පෙළේ චරිතයක් තමා ඔහු... එයා ළඟ තිබෙන ඡායාරෑප ශිල්පය පිළිබඳ දැනුම දැනටම පොත් කිහිපයකට මුද්‍රණය කර අවසන්...
ඔව්... ඔව්... ඒ එයා තමා... ඉන්ද්‍රනාථ තේනුවර... 

නිතරම කැමරාවත් එකක් ඉන්න ඉන්ද්‍රනාථ මේ දවස්වල ජීවතය ගෙවන විදිය ගැන අහලා ඉමුනේද?

මේ දවස්වල ටිකක් අමාරුවෙන් තමයි වැඩ ටික යන්නේ...සමස්ත ආර්ථිකයටම සිදුවුණු බරපතල මූල්‍ය අර්බුදය දැන් අපටත් ඍජුවම බලපාලා තියෙනවා. මගේ විෂය පර් යේෂණාත්මක ඡායාරූප ශිල්පයනෙ... ඒක තනිකරම මුදල් මත යැපෙන එකක්... ඡායාරූප ගන්න එක වගේම ඒක මහජනතාව අතරට අරගෙන යන්නත් අතිවිශාල මුදලක් විය පැහැදම් කරන්න වෙනවා. ඒ ආර්ථික ශක්තිය දැන් ඒකට යොදවන්න බැරි නිසා ටික කාලයකට නිහඬව ඉන්න තමයි හිතාගෙන ඉන්නෙ....
එයාගෙන් ලැබුණු උත්තරය නම් සරල එකක් නෙමේ... 
ඉන්ද්‍රනාථ අපේ වැඩේ ටිකක් වෙනස්...

 

හරි.. මම මෙහෙම ඇහුවොත්, ඔයාව ප්‍රකම්පනය කළ, ආස්වාදනයෙන් වෙනම ලෝකයකට අරන් ගිය කලා නිර්මාණයක් ගැන කියන්න කියලා... හැබැයි කොන්දේසියක් තියෙනවා... ඒක ගීතයක් වෙන්න බෑ.. ඒ ඇරෙන්න වෙනත් ඕනෑම නිර්මාණයක් ගැන කතා කරමු. එකඟද?

මිනිත්තු කීපයක නිහැඬියාවකින් පසුව.. ඉන්ද්‍රනාථ දිගු කතාවකට මුලපිරුවා...

එහෙම නිර්මාණයක් තියෙනවා...

ඔව්... මේ කතාව පටන් ගන්නම අවුරුදු සෑහෙන ගානක අතීතයට යන්න වෙනවා. මම මේ ජීවිතේ නොමැකෙන අත්දැකීම ලබන්නෙ 1967 අවුරැද්දෙ පෙබරවාරි මාසෙ දවසක.  අපේ තාත්තා විදුහල්පතිවරයෙක්. සමාජවාදී දේශපාලනයේ නියැලීම නිසා තාත්තාගෙ වැඩ තහනම් වෙනවා. ගුරැවරියක වන අපේ අම්මාත් 67 මාර්තු මාසෙ අප අතහැර ජීවිතෙන් සමුගන්නවා. තාත්තා කොහොමත් කලාකාරයෙක් නිසා එවකට කුඩා වයසේ සිටි අපව එක්කගෙන යනවා කොහේ හරි.... ගමන යද්දීත්, අප සූදානම් වෙද්දිත් අප දැනන් හිටියෙ නැහැ චිත්‍රපටයක් කියන්නෙ මොකක්ද කියලවත්. අද කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉතිහාස කලා අංශාධිපති මහාචාර්ය වන්ද්‍රගුප්ත අයියාට එතකොට වයස අවුරැදු හතයි. මට වයස අවු. 6යි. මට බාල මල්ලි පාලිත එයාට අවු. 5යි. නංගිලා දෙන්නා ඒ කාලෙ බොහොම කුඩයි. බාල මල්ලී විශ්වනාථ ඉපදෙන්න සූදානමින් හිටියෙ.

ඒ කාලෙ අපි හිටියෙ උහන. දැන් මේ ගමන යන්නෙ අම්පාරට. තාත්තා අප තුන්දෙනාවම සූදානම් කරගෙන ගමන යන්න පිටත්වුණා. ඒ කාලෙ බස් තිබුණෙ නැහැ තිබුණෙ බස් වගේ පරිවරත්නය කරපු ලොරි බාග. 
ඉතා කුඩා නිසා තාත්තා පාලිතව වඩාගෙන ගියේ, අයියාත් මාත් ගියේ පා ගමනින්.. ක්වාර්ටස්වල සිට උහන මහා විද්‍යාලය පසුකර අප මංසන්ධියකට පැමිණියා. තරමක් කලබලකාරියි. එදා පොළ දවසක් බව මට යාන්තමට මතකයි. හංදියේ මිනිස්සු ගොඩක් සිටියා. ඒක මට අමුතු දැක්මක්. ඒ මහා ජනසන්නිපාතය අතර, පාරේ අයිනට වන්නට ලොරි බාගයක් නවතා තිබුණා. ඒකෙ පිටුපස්සෙ ඒ වනවිටත් තුන් හතර දෙනෙකු සිටි අතර, තාත්තා අපව ඔසවා එහි පිටුපසින් තැබුවා.... මුහුණට මුහුණ පේලි දෙකට හැදූ ලෑලි පටි බංකු පේළියෙ වාඩි වෙලා ගිය දීර්ඝ, ආහ්ලාදජනක ගමනකින් පසු ලොරියෙන් අපව බිමට බස්සවා ගත්තේ තාත්තා.

ඉන්පසු ඔහු අපද සමඟ පාර පැන, අළු පාට ලොකු ගොඩනැගිල්ලක් දෙසට ගමන් කළා. ඒක ගොඩක් ලොකුයි. එහි දැවැන්ත ගේට්ටුවෙන් ඇතුළු වූ පසු විශාල පිරිසක් පෝලිමේ සිටිනු දුටුවා. තාත්තා ද අප සමඟ ඒ පෝලිමට එකතු වුණා.
ස්වල්ප වේලාවකින් දැවැන්ත ශාලාවේ විදුලිය බල්බ එකින් එක නිවී ගියා. දැන් කළුවරයි. දැවැන්ත තිරය මත මොනවාදෝ රූප විශාල ප්‍රමාණයක් දර්ශනය වුණා. ඒවා හරි හමන් විදියට මට මතක නැත්තේ ඒ වනවිට මගේ සිහිය විකල් වන තරමටම මම අන්දමන්දව සිටි නිසා. හැබැයි ජාතික ගීය වාදනය වෙද්දි සේරමත් එක්ක අපිත් නැගිට්ටා මතකයි. ටික වේලාවකින් තිරය මත කළු සහ සුදු පාට විසල් මිනිසුන් කතා කරනුද, සිනාසෙනු ද මම දැක්කා. ඒ අතර මඳ වේලාවකින් තිරය මත අකුරු පේළි සටහන් වුණා. ඒ අකුරු පේළි අතරින් සිරි ගුණසිංහ යන නමද, “සත්සමුදුර යන විශාල අකුරු පදාසයද මට ගලේ කෙටුවාක් මෙන් මතකයි. ඒ අප ජීවිතයේ ප්‍රථම වරට චිත්‍රපටයක් බැලූ දා ය. අප එය නැරඹුවේ අම්පාරේ රීගල් සිනමා ශාලාවේදීයි...

ඒක දකුණේ ධීවර ජනජීවිතය පසුබිම් කරගෙන නිර්මාණය වුණ චිත්‍රපටයක්. ඔවුන් බඩවියත සොයා ගන්නෙ මුහුදු යාමෙන්. ඒ ගමනේ තියෙන අතිශය බිහිසුණු බව, ඒ ඇතුළේ තියෙන මානුෂික මෙන්ම අමානුෂික ගති පැවතුම් අධ්‍යක්ෂ සිරි ගණසිංහගේ අවශ්‍යතාව මත, සියුම්ව කැමරා කාචයට හසුකරගන්න ඩී. බී. නිහාල්සිංහ මහතා සමත් වෙනවා.. පසුකාලීනව වාර හත අටක්ම සත් සමුදුර චිත්‍රපටය බැලුවත්.... එදා සිතේ ඇඳුනු රූප අද මගේ සිතේ ඇඳෙන්නෙ නෑ... මොකද වසර හතළිස් ගණනකට පෙර දුටු රූප, කාලය විසින් අකා මකා දමා ඒ මතින් තවත් දහසක් දේ රී රයිට් කරන නිසා කියලා මට හිතෙන්නේ.. ඒත් අතරින් පතර සිද්ධි සමුදායන් මගේ සිතට පිවිසෙනවා.... අදටත් දෑස පියාගෙන මොහොතක් වර්තමානයෙන් මිදුණු විට මට සත්සමුදුර චිත්‍රපටයේ රූප රාමු කිහිපයක්ම යළි මසිත පුරා සැරි සරනවා... ඉන් මා සිත වඩාත්ම බැඳී ඇත්තේ තේමා ගීතය හා බැඳුණු දෙනවක හාමිනේ සහ සිරිල් වික්‍රමගේ නම් වූ සුවිශේෂී චරිතාංග නළු නිළි දෙපල රඟන රූප රාමු ​පෙළයි. මහගම සේකරයන් පද රචනා කළ, සෝමදාස ඇල්විටිගල සංගීතඥයා විසින් සංගීතවත් කළ, විශාරද අමරදේවයන් ගයන....“සිනිඳු සුදු මුතුතලාවේ........පිපෙන පෙන පිඬු සිනාසේ..“ යන සිංහල සිනමාවේ දිගම තේමා ගීතයද, මගේ ඇටමිදුළු තුළටම කිඳා බැසපු ගීතයක්...
මා මැරිලා වැලලුවාට පස්සේ, එතැන බිම හාරද්දී හමුවන ඇට කැබිලිත්ත කාගේදැයි සොයන්නට කිසිවෙක් ඩී.එන්.ඒ. පරීක්ෂණයක් කළොත්, මේ කවුදැයි සොයාගන්නට නොහැකි වුවත්, මේ ඇට කැබැල්ල හිමි පුද්ගලයා සත්සමුදුර චිත්‍රපට ගීයට කොයිතරම් ඇලුම් කළ අයෙක් දැයි දැනගන්න ලැබේවි....

චිත්‍රපටයේ ඔබේ හදවතට වැදුණ චරිතයක් එහෙම ඇති නේද?

ඔව්... මම ගොඩක්ම කැමති දෙනවක හාමිනේගේ විශිෂ්ට රංගනයට... ඒත් එකක්ම සිරිල් වික්‍රමගේත් ඊට නොදැවෙනි විදියට රංගනයේ යෙදෙනවා.. මේ චරිත දෙක තමයි මගේ හදවතට තදින්ම දැණුනු චරිත දෙක.. 

මේ නිර්මාණය රසවිඳනකොට ඔබේ හදවත සංවේදී කරපු රූපරාමු ඕන තරම් තියෙන්න ඇති... එකක් මතක් කරමුද?

ඔව් එහෙම දර්ශන ගොඩක් තිබුණා... ඒ අතරින් චිත්‍රපටයේ අවසන් භාගය ආසන්නයේදී, දෙනවක හාමිනේ ඒ මහා රාත්‍රියේ චිමිණි ලාම්පුවකුත් අත දරාගෙන, මහා වරුසාවක් මැද්දෙ තම පුත්‍රයා සොයමින් යන ගමන හරිම අනුවේදනීයයි. දැවැන්ත කළුගල් කුට්ටි මතින් වැටෙමින්, නැගිටිමින්, වැසි දියෙන් බේරෙන්න තම අත නළලට තියාගෙන, එක අතකින් චිමිණි ලාම්පුවත් උස්ස උස්ස, සැරින් සැරේ තෙත බරිත ඇඳිවතත් උස්ස උස්සා ඈ කළ අභිනය පුදුමාකාරයි. මට තාමත් ඒ දර්ශනය මැවිලා පේනවා.. 

මේ නිර්මාණය  තුළින් ඔබ ඔබේ ජීවිතයට මොනවගේ දෙයක්ද එකතු කරගන්න පුළුවන් වුණාද...?

පුංචි කාලෙ මගේ ලොකුම ආසාව තිබුණෙ, මේ මොකක්ද කියල නොදැන හිටියත්, මේ වගේ නිර්මාණයක් කරන්න.. චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න.. පසුකාලීනව චිත්‍රපටයක නිර්මාණ ක්‍රියාවලියේ අයන්නේ සිට අවසාන අවස්ථාව දක්වාම සක්‍රියව සහභාගී වුණත්, චලන චිත්‍රපට අධ්‍යක්ෂණය කිරීමේ සිහිනය මුදුන්පත් කරවා ගන්නනම් ගියේ නැහැ.  කොටින් ම පසු කාලීන ව මේ චිත්‍රපටයේ රඟපෑ බොහෝ චරිත සමඟ සමීපව ගණුදෙනු කරන්න ලැබුණත් අර මුල් හැඟීම දැනුනෙ නැහැ. 

අන්තිම ප්‍රශ්නය...නිර්මාණය අවසානයේ දැණුනු  හැඟීම වචනවලට පෙරළමුද?

ඕනෑම කලාකෘතියක් දැකීමෙන්, ඇසුරු කිරීමෙන් සහ ඊට අනුගත වීමෙන් මම ලබන්නෙ අමුතුම හැඟීමක්.. ඒක අභිනයෙන් පෙන්වන්න පුළුවන් වුණත්, අකුරු කරන්න තරම් මගේ වාග් කෝෂය පොහොසත් නැහැ. ඒක වචනවලට පෙරළන්න පුළුවන්නම් එතැන හැඟීම් නැහැ කියලයි මට හිතෙන්නෙ....

 

► Text - Danushka Wijesiri   /   Pic - Internet