”දුව ලොකුමහත් වෙනකන් තව අවුරුදු හතළිහක්වත් ජීවත්වෙන්න ඕනෑ.”



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20190815Gayan-1

‘අම්මාවරුන් පමණ ද මතු බුදුවෙන්නේ....’ විශාරද ටී.එම්. ජයරත්න ගයන අම්මා සඳකි ගීතයේ අවසාන පදයයි මේ. ඒ ගී පදයට ප‍්‍රිය නොකරන තාත්තෙක් මේ ලෝකේ නැහැ. පිය සෙනෙහස ඒ තරමටම ප‍්‍රබලයි. ඒත් ඒ පිය සෙනෙහස ගැන ලොවට කියන්නට පියවරුන්ට ඉඩක් නැහැ. ඒ අඩුව පුරවන්න අපි සඳැල්ලෙන් ඉඩක් වෙන් කළා. අද හාපුරා කියා තාත්තාගේ ආදරය විශේෂාංගයට එක්වෙන්නේ ගයාන් වික‍්‍රමතිලක.

 

දරුවා ලැබෙන්න තියෙන්නේ කොයි දවස්වල ද?

”චතුරිකාට දරුවා ලැබෙන්න තියෙන්නේ සැප්තැම්බර් මාසේ පළමු සතියේ.”

 

ලැබෙන්න ඉන්නේ දුවක් ද පුතෙක් ද?

”දුවක්.”

 

පුතාලා දෙන්නෙක් හිටපු නිසා දියණියකගේ පැමිණීම අපේක්ෂාවෙන් හිටියා ද?

”මම දරුවන්ට හරිම ආදරෙයි. කවුරු ඉපදුනත් ආදරෙන් පිළිගන්නවා කියලා හිතුවත් චතුරිකාගේ කුසේ වැඩෙන්නේ දියණියක් කියලා දැනගත්තාම හිතට මහා සතුටකුත් එක්ක ලොකු වගකීමක් දැනුණා. ඇත්තටම ඒ පණිවිඩය දැනගත්ත වෙලාවේ හිතට දැනුන දේ වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. හරිම ආදරණීය වගේම හරිම හැඟීම්බරයි.”

 

දියණිය කවුරු වගේ වෙනවා දකින්න ද කැමැති?

”චතුරිකා වගේ. චතුරිකාගේ රූප ස්වභාවය වගේම, එයාගේ ගතිගුණත් එනවාට මම හරිම කැමැතියි. චතුරිකා කියන්නේ මහා පුදුමාකාර හොඳ ගතිගුණ තියෙන, හිත ගොඩක් හයිය, හරිම හොඳ කෙනෙක්. මගේ දුවත් ඒ වගේම වෙන්න කියලා මම නිතර ප‍්‍රාර්ථනා කරනවා.”

 

පියෙකු වීමට යන පණිවිඩය මුලින්ම දැනගත්ත මොහොතේ හිතට දැනුණේ මොන වගේ හැඟීමක් ද?

”ලොකු වගකීමක් නේද කියලා හිතට ක්ෂණිකව දැනුණා. අපේ ලෙයින් දරුවකු ලෝකයට දායාද කරන්න නේද මේ සූදානම කියලා හිතට දැනුණා. චූටි ¥ත්, මගේ පුතාලා දෙන්නත් හැමදාම සහෝදරත්වයෙන් සිටිය යුතුයි කියාත් මගේ හිතට දැනුණා.

ඇත්තම කියනවා නම් චතුරිකා අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා දැනගත්ත මොහොතේ ලොකු සතුටක්, වගකීමක් වගේම මා අතින් ඉටුවිය යුතු යුතුකම් ගැනත් මතක් වුණා.”

 

දරුවා ලැබෙන්න ඉද්දී චතුරිකා වඩාත් කැමැති වුණේ?

”කිව්වාට විශ්වාස කරයි ද දන්නෑ. චතුරිකා දරුවා කුසට ආපු දවසේ ඉඳලාම ආසාවෙන් ඉල්ලූවේ එයාට මගේ අතින් කෑම උයලා දෙන්න කියලා. වෙඩින්වලට ගියත්, කෑම ගැනීමට එළියට ගියත් කොටින්ම රාජ බෝජන තිබුණත්, එයා නිතරම කන්න කැමැති වුණේ මම උයන බතයි, ව්‍යාංජන ටිකයි තමයි. මම උයද්දි තෙල්, මිටිකිරි එහෙම පාවිච්චි කළේ හරිම අඩුවෙන්. ඒ නිසාම පෝෂණයෙන් ඉහළ ගුණාත්මක බවින් වැඩි රස කෑමක් ඇයට මම නිතර ලබාදෙන්න උත්සාහ ගත්තා. මම උයන කෑම හරිම කැමැත්තෙන් රස කර කර කනකොට මටත් ඉතින් හරිම සතුටුයි.”

 

කුසේ වැඩෙන දරුවා ලස්සන වෙන්න කියලා චතුරිකා මොනවා හරි විශේෂයෙන් කෑමට ගත්තා ද?

”ම්... එහෙම නම් නෑ. ඒත් එයා ඉස්සර ඉඳලාම හැමදාම වගේ ගොඩක් පලතුරු කනවා. දොඩම්වලටයි, අඹවලටයි හරිම ආසයි. කොමඩු, පැපොල්වලට නම් එච්චර ආස නැහැ.”

 

දරුවා වෙනුවෙන් අධ්‍යාත්මිකව සූදානම් වීමක් වුණා ද?

”ඔව්. දරුවා ලැබෙන්න ඉන්න කාලේම මාසයකට වරක් හෝ දෙවරක් එක දිගට අපි දෙන්නම එකතුවෙලා බෝධි පූජා තිබ්බා. ඒ වගේම චතුරිකා අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා දැනගත්ත දවසේ ඉඳලා හැමදාම ?ට පිරිත් අහන්න පුරුදු වුණා. බබා කුසේ ටික ටික වැඩෙනකොට බබාත් පිරිත්වලට චලනයන්ගෙන් කුසේදීම ප‍්‍රතිචාර දක්වනවා.”

 

20190815Gayan-2දරුවා වැඩෙන්නේ චතුරිකාගේ කුසේ. ඔබ දරුවා සමග සම්බන්ධ වෙන්නේ කොහොම ද?

”මේ වනවිට මේ දේවල් විද්‍යාත්මකව පවා සොයාගෙන තිබෙනවා සිතුවිලිවල ඇති ප‍්‍රබලත්වය ගැන. ගන්නා හුස්ම රැුල්ලක් පාසා කුසේ වැඩෙන දරුවාට මහා ආශිර්වාදයක් මම කරනවා. සිතුවිලිවලින් කරන ආශිර්වාදය හරිම ප‍්‍රබලයි. මට හිතෙනවා මමත්, චතුරිකාත්, කුසේ ඉන්න දරුවාත් සිතුවිලිවලින් එකම ජාලයක ඉන්නවා කියලා. මම මගේ දරුවෝ තුන්දෙනාට වගේම මේ ලෝකයේ ජීවත්වෙන සෑම දරුවකුගේම අනාගතය යහපත් වෙන්න කියලා අධිෂ්ඨාන කරනවා.”

 

දියණිය කවුරු වෙනවාට ද කැමැති?

”මම හිතන් නෑ ඇය කලාවටම සම්බන්ධ විය යුතුයි කියලා. කලාවට සම්බන්ධ වුණත් වරදක් නැහැ. කොහොමටත් මම කවදාවත් ඒ අයට තමන්ගේ ක්ෂේත‍්‍රය තෝරාගන්න බලපෑම් කරන් නෑ. මම ආසයි ඇය මම වගේ නිදහසේ ඉන්න නිදහසේ හිතන කෙනෙක් වෙනවාට. කොහොමටත් මට විශ්වාසයි උපදින දරුවා දියුණු මනසක් තියෙන, සිතුවිලි යහපත්, ඉතා බුද්ධිමත්, ජීවිතය ගැන සුබවාදීව හිතන කෙනෙක් වෙයි කියලා. මොනවා නැතත් චතුරිකාට වගේ දුර දකින නුවණක් නම් ඇයට ලැබෙන්න  ඕනේ.”

 

ඔබට කියලා නැද්ද ඔබේ පියා ඔබ ලැබෙන්න ඉන්නකොට කොයි විදිහට ද සූදානම් වුණේ කියලා?

”මම පවුලේ වැඩිමල් දරුවා. ඉස්සර පවුලකට ඉස්සර වෙලාම පිරිමි දරුවෙක් ලැබෙනවා කියන්නේ මහා මෙරක් වගේනේ. අම්මාටත් පුතෙක් ලැබුණ නිසාම ලොකු වටිනාකමක් එකතුවෙලා. කොහොමටත් පරම්පරාවේ නම ගෙනියන්න පුතෙක් ලැබුණා. ඒකට අප්පච්චි ගොඩක් සතුටු වුණා කියලා තමයි දන්න දවසේ ඉඳලාම ඇහුණ දේ. ඒ වගේමයි අප්පච්චිට මාව ලැබුණාම සතුටු වුණා වගේම මට මගේ ලොකු පුතයි, දෙවැනි පුතයි ලැබෙන දවසේ අප්පච්චි ගොඩක් සතුටු වුණා. ඇත්තටම අපේ අප්පච්චි දරුවන්ට හරිම ආදරෙයි. පරම්පරාවක් ඉදිරියට අරන් යන නිසා පවුලට පිරිමි දරුවකු ඉපදීමේ වටිනාකම මම එදා ඉඳලා අද දක්වාම නොඅඩුව ලබනවා.”

 

ඔබ දැන් දරුවෝ තුන්දෙනකුගේ පියෙක්. ඔබ, ඔබ ගැනම ඔයිට වඩා හිතන්න වෙයි නේද?

”අම්මෝ ඔව්. දැන් මගේ වයස අවුරුදු 39ක්. මට දුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තාම මට හිතුනා දෙයියනේ මම තව අවුරුදු 40ක්වත් ඉන්න  ඕනෙනේ දුවව බන්දලා දෙනකම්වත් කියලා මම නිරෝගීව ඉන්න දැනුත් මම ව්‍යායාම කරනවා, කෑම බීම පවා හිතලා ගන්නේ. නමුත් මීට වඩා හිතලා මම නිරෝගීකම ආරක්ෂා කරගන්න  ඕනේ කියලා හිතුවා.”

අලූතින් එන අමුත්තිය වෙනුවෙන් කලඑළිවන නිවෙසේ මෙතෙක් වෙලා කළ සුන්දර කතා බහින් මා සමුගත්තේ පියකු ලෙසින් හිස ඔටුනු පලඳින ඔහුට හෘදයාංගමව සුබපතමිනි.

 

අසුන්තා එදිරිසූරිය