ඇය ළය පැලී මියයද්දී මම හුඟාක් සංවේදි වුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

Art එකේ කැරට්ටුව..

හඬ: මාධිනී මල්වත්ත

 

ආයුබෝවන්...

එහෙම තමයි ඇය අපිව ගෙදරට පිළිගත්තේ...
 

මැය ගැන කතා කරන්න කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බෑ...? එච්චරටම මැය ගැන කියන්න දේවල් තියෙනවා... හරි... මම ඇගේ වැඩ ගැන පොඩ්ඩක් කියන්නද?

එහෙම හොඳයි නේද?
 

මාධිනී මල්වත්ත... හොඳ ටැලන්ට් එකක් ඇඟේම තියෙන අපිට ඉන්න දක්ෂ නිළියක්.    ඇගේ ජීවිතය වේදකාවයි... එහෙම කිව්වත් ඒකෙ ලොකු වරදක් නෑ... මොකද වේදිකාවේ හතරකොන මාධිනී හොඳටම අඳුනනවා... චිත්‍රපට, ටෙලිනාට්‍ය ගත්තත් ඒක එහෙම්මම තමයි...  ඇගේ තාත්ත්වික රංගනය නෙත් සිත් පැහැරගන්නවා... ඒ විතරක් නෙමේ මාදිනි කියන්නෙ කා එක්කත් සුහදශීලි ආදරණීය කෙනෙක්... ඒ තමයි මාදිනි මල්වත්තව අපිට දැනෙන විදිය...

20190919Madhavi-1මාධිනී... ජීවිතේ ගෙවෙන විදිය ගැන පොඩ්ඩක්  කියලම අපේ කතාව පටන්ගමු නේද?
 

මම මුලින්ම වේදිකාව පැත්ත ගැන කතාකරන්නම්... දයානන්ද ගුණවර්ධනයන්ගේ ගජමන් පුවත නව නිෂ්පාදනයක් ලෙස පසුගිය කාලේ වේදිකාගත වුණා..  ඒ නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපාන්න අවස්ථාව ලැබුණා... තව ජයලත් මනෝරත්නයන්ගේ වනලැහැබ වේදිකා නාට්‍යයෙත් රංගනයෙන් දායකවෙනවා... ඒ වගේ සුද්දෙක් ඔබ අමතයි, කැලණි පාලම, ජගන්මා වැනි නිර්මාණ ගණනාවකට මේ දිනවල දායකවෙලා ඉන්නවා.. ටෙලිනාට්‍ය කිහිපයකත් වැඩ කළා... ඉදිරියේදී ඒවත් බලාගන්න පුළුවන්... ඕවා තමයි ඉතින්...  

ඒ තමයි මේ දවස්වල මාධිනීගේ ජීවිතය. 
අනං මනං නැතුව සරල විදියට අපි වැඩේ පටන් ගමු එහෙනම්... 
හරි මම මෙහෙම පටන් ගන්නම්.. 

මාධිනී මල්වත්තගේ කලා නිර්මාණ අපි දන්නවනේ..  ඔයා රඟපාපුවත් අපි ඕනතරම් දැකලා තියෙනවා... ඒවා පැත්තකින් තියලා. ඔබේම නිර්මාණයක් කියලා හිරකරලා පරිස්සමින් තියාගන්න තරම් හිතුණ එකක් ගැන ටිකක් කතාකරමුද... මගේ

වචනයෙන් කියනව නම් පපුවට වැදුන එකක්... 
මාධිනී මොහොතකට කල්පනා ලෝකයේ... 

ජීවිත කාලෙට මට  දැනුණු, මාව සංවේදී කරපු, මාව අඬවපු නිර්මාණ ගොඩක් මුණගැහිලා තියෙනවා... පුංචි කාලේ මට ගොඩක්ම දැනුණු නිර්මාණයක් තෝරගන්න  කියලා හිතුවා... මම කුඩා අවදියේ පටන් සම්මාන දිනපු, දක්ෂ නිර්මාණකරුවන්ගේ නිර්මාණ බලන්න පෙළඹිලා හිටියා. ඊට බලපාපු ලොකුම හේතුව තමයි මගේ තාත්තා රැකියාව කළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ... මම පෙරපාසල් වයසේ ඉඳලම අපි කවුරුත් දන්න පේරාදෙණියේ වළ, එහෙමත් නැත්නම් සරච්චන්ද්‍ර එළිමහන් රංගපීඨයට යනවා.. හැම අවුරුද්දකම පේරාදෙණිය වළේ තියෙනවා නාට්‍ය සතියක්. අපි මේකට කියන්නෙ වළ සතිය කියලා... ලංකාවේ හිටපු හොඳම නාට්‍යකරුවන්ගේ නාට්‍ය බලන්න තාත්තා අපිව එක්කරගෙන යනවා. ඔය අතරේ තමයි අද මම කතාකරන මනමේ නාට්‍යය මගේ ඇස ගැටෙන්නෙ. මනමේ නාට්‍යය රංගන ශිල්පියෙකුට හෝ ශිල්පිනියට ලේසියෙන් රඟපාන්න පුළුවන් විදියේ නාට්‍යයක් නෙමේ. සරච්චන්ද්‍රතුමාගේ ශෛලිගත නාට්‍යවලට ශිල්පියෙක් තෝරගන්න ගායනය, රංගනය, නර්තනය කියන අංශ තුනේම දක්ෂයෙක් වෙන්න ඕනෙ. එහෙම අය තමයි සරච්චන්ද්‍ර මහත්තයා එයාගේ නාට්‍යවලට තෝරගන්නෙ. එතුමා ගොඩාක් පර්යේෂණ කරලා තමයි මනමේ නාට්‍යය නිර්මාණය කරන්නෙ. ඒකට ජපන් නාට්‍ය නිර්මාණකරුවෙක් වන අකිරා කුරසෝවාගේ රශෝමන් චිත්‍රපටය ගොඩක් දුරට බලපෑවා කියලා මම අහලා තියෙනවා... ඒ වගේම අපේ ගැමි සම්ප්‍රදායේ එන නාඩගම් නාට්‍යයත් විශාල වශයෙන් මනමේ නාට්‍යයට උපයෝගී කරගෙන තියෙනවා. අපි පරණ නාඩගම් ගීත ගත්තොත් ඒ ගීතවල ලොකු අරැතක් නෑ. නමුත් සරච්චන්ද්‍රතුමා මේ ගීතවල රාග, තාල යොදාගෙන ඒ තාලවලට අර්ථාන්විත විදග්ධ වචන යොදාගෙන හොඳ ගීත නිර්මාණ නිර්මාණය කළා. හරිම රසවත්, හරිම මිහිරි ගීත, ගී තනු තමයි මනමේ නාට්‍යයේ අන්තර්ගතවෙලා තියෙන්නෙ. මගේ පුංචිම කාලේ ඒ වගේ ගීත ඇහුණාම පුදුම විදියේ වින්දනයක් ලැබුවා. වචනවලට අරුත් ගැඹුරට නොතේරුණත් මට ලොකු කැමැත්තක් ඇතිවුණා ඒ ගීතවලට. විශේෂයෙන් මද්දල් වාදනයට මම වශී වුණා. අපි කවුරුත් දන්න මනමේ කෝලම තමයි මනමේ නාට්‍යයට පසුබිම වෙන්නෙ. මනමේ කුමාරයා, කුමරිය සහ වැදි රජ්ජුරුවෝ වටා තමයි මේ කතාව ගෙතෙන්නෙ. මේ නාට්‍යය බලලා ඒ කාලෙ විඳපු රසයම. අදටත් මේ නාට්‍ය බලද්දී මට දැනෙනවා. ඒ රසය කවදාවත් මට එපාවෙන්නෙ නෑ. මේ හැම දෙයකින්ම වුණේ මනමේ නාට්‍ය කෙරෙහි මගේ හිත ඇඳබැඳ ගත්ත එක....

මනමේ නාට්‍ය ඇතුළේ ඔයාට වැඩියෙන්ම දැණුනු විශේෂ චරිත ඉන්න ඇතිනේ?
මට ගොඩක්ම දැණුනේ මනමේ කුමරියගේ චරිතය. මනමේ කෝලමේ, කවි නාඩගමේ,  රශුමාං චිත්‍රපටයේ මේ හැම තැනකම ස්ත්‍රිය චපලයි කියන කරුණු තමයි ඉස්මතු කරන්නෙ. නමුත් සරච්චන්ද්‍ර මහත්මයා මේ කාරණාව වෙනමම දෘෂ්ඨියකින්.... සානුකම්පිතව ඇය කෙරෙහි බලන්න වගේ අදහසක් තමයි එතුමා ඉස්මතු කළේ. අනිත් කාරණාව තමයි මනමේ කුමරියගේ චරිතය ගොඩනගපු ආකාරයට මම ගොඩක් කැමතියි. මුලින්ම මනමේ කුමරියට පණපෙව්වේ ට්‍රිලීශියා ගුණවර්ධන මහත්මිය... ඒ නිෂ්පාදන නම් මට බලන්න බැරි වුණා... මම දැකපු මුල්ම මනමේ කුමරිය තමයි කුමාරි මැණිකේ... ඇය විශිෂ්ඨ විදියට ඒ චරිතයට සාධාරණයක් කළා. පසුකාලීනව රත්නා ලාලනි, යසෝදරා සරච්චන්ද්‍ර මනමේ කුමරිය විදියට රඟනවා මම දැක්කා. පසුකාලීනව මටත් අවස්ථාවක් ලැබුණා... මනමේ කුමරිය වෙන්නෙ.

මේ නිර්මාණය රස විඳිනකොට මාධිනීව වැඩිපුර සංවේදී වුණ තැනක් දෙකක් මතක් කරමුද? 


මේ නිර්මාණයේ සංවේදී තැන් කීපයක් තියෙනවා. ඒ අතරිනුත් මට ගොඩක් දැණුනා මේ නාට්‍ය අවසානයේ... මනමේ කුමරි කියනවා මෙහෙම... 
නැද්ද සිතේ අනුකම්පා... මෙමා හට... 

නෑ මට අන් සරණක්... කියලා ගීතයක්.. 
අන්තිමට වැදි රජ්ජුරුවොත් මනමේ කුමරියව දාලා යනවා... එතකොට මනමේ කුමරත් නැතිවෙලා වැදි රජ්ජුුරුවොත් ඇයට නැතිවෙලා ඇය වනාන්තරයේ තනිවෙනවා... ඇගේ දුක වැඩිවෙලා අවසානයේ ළය පැලී මියයනවා කියලා තමයි... සරච්චන්ද්‍ර මහත්මයා හඳුන්වන්නේ. ඒ අවස්ථාව තමයි වඩාත්ම සංවේදීව මට දැණුනේ...

මනමේ නාට්‍ය නිර්මාණය බලලා අවසානයේ ඔබට මොනවගේ හැඟීමක්ද හිතට දැණුනේ... ඒක හැඟීම වචනවලට පෙරළමුද?

කලිනුත් මම කිව්වා... මම මේ නාට්‍යය බැලුවේ පුංචිම කාලේ... ඒ කාලේ මට ලොකු අරුතක් දැනුණා කියලා මම හිතන්නෙ නෑ... නමුත් පහුකාලීනව මනමේ බලද්දී මේක පුදුමකාර දැවැන්ත නිර්මාණයක් විදියට තමයි දැණුනේ... අපි නාට්‍ය වර්ග දෙකකට බෙදනවා.. ශෛලිගත සම්ප්‍රදාය සහ ස්වභාවික සම්ප්‍රදාය කියලා... ශෛලිගත සම්ප්‍රදායෙන් බිහිවෙන මේ නාට්‍යය මම දැක්කේ අපේකම ගැබ්වෙච්ච නාට්‍යයක් විදියට. ඒත් එක්කම ශිල්පීය කුසලතාවය ඉතාමත් හොඳින් ප්‍රේක්ෂකයාට දෙන්න පුළුවන් විදග්ධ නිර්මාණයක්. හරි වටිනා නිර්මාණයක් කියලා මට දැණුනා. අනිත් එක මට මේ නාට්‍යය මුලින්ම පේරාදෙණිය වළේ බලනකොට මටත් මේ නාට්‍යයේ රඟපාන්න ඇත්නම් කියලා හිතුණා... පහුකාලීනව අද වෙනකොට ඒ අරමුණ ඉෂ්ඨ කරගන්න මට පුළුවන් වුණා... 

එහෙම තමයි මාධිනී නිහඬ වුණේ...

 

► Text - Danushka Wijesiri   /   Pic - Internet