දොළේ සිනා හඬින් ඇහුණු පොකුරු සිනා කොයි?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඇයටම අවේනික වූ රංග මුහුණුවරකින් හෙළ සිනමාව වේදිකාව මෙන්ම රූපවාහිනී තිරය මත රංග සිත්තම් පෑ ඇය පසුගියදා ජීවිත ගමනෙන් සඳහටම නික්ම ගියාය.  ඕ චන්ද්‍රා කළුආරච්චි ප‍්‍රවීණ රංගවේදිනියයි. එදා ගුවන් විදුලියේ ළමා පිිටියෙන් කලා ක්ෂේත‍්‍රයට ආ ඇය මුල් කාලයේදී ගුවන්විදුලි වැඩසටහන් හඬකැවීමේ ශිල්පිනියක ලෙසද නිවේදිකාවක ලෙසද කටයුතු කළාය. ඇයගේ රංග කාර්යය ඇරඹියේ වයස අවුරුදු 9ක දැරිවියකව සිටියදී රත්තරන් පුතා, හෙයියම්මාරුව කෙටි නාට්‍ය ද්විත්වයෙනි. එතැන් සිට රංග ශිල්පිනියක ලෙස දිගු ගමනක් ආ ඇය කලා ක්ෂේත‍්‍රයේ බොහෝ දෙනා ආමන්ත‍්‍රණය කළේ චන්ද්‍රා අක්කා යන ආදරණීය නාමයෙනි. සිනහවෙන් නිතර මුව සරසාගත් ඇය ඉතා නිහතමානී කලා ශිල්පිනියක වූවාය. මේ ආදරණීය කලා ශිල්පිණියගේ සදාදරණීය සැමියා ඔබ අප කවුරුත් දන්නා ප‍්‍රවීණ සංගීතවේදී ලක්ෂ්මන් විජේසේකරයන්ය. දියණිය අමා විජේසේකරය. පුතු විහඟ විජේසේකරය. රටම දන්නා මේ කලා පවුලටම සෞම්‍ය සඳ එළියක් වූ ඇයගේ වියෝව අපට වඩා දැනෙන්නේ මේ සැමියා සහ දරු දෙදෙනාටය.

20191107Chandrika-1

ලක්ෂ්මන් විජේසේකරයන් ආදරණීය බිරිඳ ගැන මතක ආවර්ජනය කළේ මෙලෙසිනි.

ඇය මාව බලාගත්තේ මවක වගෙයි. ඇය අසනීප වීමට පෙර ගෙදර කිසිවක් මම කළේ නැහැ. ගෙදර වැඩද කඩ පිලේ යන වැඩද බැංකුවට යන වැඬේද බිල් ගෙවන්නට යන වැඬේ ඇතුළු සෑම දෙයක්ම කළේ චන්ද්‍රා. මට මගේ කලා කටයුතු කර ගැනීමට නිදහස දීලා ඇය කටයුතු කළේ ඒ විදියටයි. බිරිඳක ලෙස කවදාවත් කිසිවක් ඉල්ලීම් කළ කෙනෙක් නොවෙයි. මට හරිම ආදරෙයි. යුතුකම් කියන දේ ඉහළින්ම වටහා ගෙන සිටි ඇය ඒ සියල්ල ඉටු කළා. අපි හරි සන්තෝෂයෙන් ජීවත් වූ පවුලක්. බිරිඳකගෙන් ඉටුවිය යුතු සියලූ යුතුකම් ඇය ඉටු කළා. කලා ක්ෂේත‍්‍රයේ ඇය කළ කී දේ ගැනත් ඇයට තිබුණේ උපරිම තෘප්තියක්. ඇය වචනයේ පරිසමාප්ත අයුරින්ම වඩාත් ප‍්‍රායෝගික වූ අරුත්බර කාන්තාවක්.

 

20191107Chandrika-2දියණියකට මවක මිස තව වෙන කවුරුද චන්ද්‍ර අක්කාගේ දියණිය අමා ඇයට විටෙක මවකට එහා ගිය යෙහෙළියක ගුරුවරියක මෙන් සිටි ආදරණීය මව ගැන ඇය දුටු විදිය ගැන පවසන්නේ මේ අයුරිනි.

අම්මගේ පවුලේ සහෝදර සහෝදරියන් දොළොස් දෙනයි. ලොකු පවුලක්.

අම්මා ඒ පවුලේ තුන් වෙනියා. අම්මා කෙනෙක් විදියට කළ හැකි සෑම යුතුකමක්ම කළ චරිතයක්. එදා මල්ලියි මායි පොඩි කාලයේදී අම්මා කලා කටයුතු එක්ක කාර්යබහුලව හිටියේ. හැබැයි එහෙමයි කියලා කිසිවකින් ඈත්වෙලා හිටියේ නැහැ. සෑම යුතුකමක්ම කළා. පාසලේ සෑම දෙයකටම අම්මා සහභාගි වුණා. පසු කාලයක ජීවිතයේ අපට ප‍්‍රශ්න ගැටළු එද්දී අම්මා ඒවා විසඳලා දුන්න විදියත් හරිම අපූරුයි. මට අම්මා හරියටම දැනෙන්න පටන් ගත්තේ මා වැඩිවියට පත් වී භද්‍ර යෞවනයට පැමිණි සිටි කාලයේදීයි.

 ඕනෑම දෙයක් කතා කරන්න තරමට අම්මා අපට හරිම කිට්ටුයි. ඉතාම තියුණු දැක්මක් තිබුණු නිසා සෑම ප‍්‍රශ්නයකටම අම්මා ළඟ විසඳුම් තිබුණා. එදා වයස 17දී විතර අම්මා අවුරුදු 90ක වයෝවෘද්ධ චරිතයක් රඟපෑ බව අපට කියා තිබුණා. එදා රඟපෑමට ආ එකත් ඉතාම අහඹු සිදුවීමක්ලූ. අම්මා නාට්‍යයක් නරඹන්න ගිහින් තියෙනවා. පසුව දෛවෝපගත විදියට රංගනයට ඇවිත්.

 

රංගනයට අමතරව සැබෑ ජීවිතයේ ඇයට තිබුණු දක්ෂතාවයන් හැකියාවන් මොනවාද?

අම්මාට රසවත්ව කෑම හදන්න පුළුවනි. ඒ වගේම ජීවිතය කළමනාකරණය කරන්නත් ඇයට තිබුණේ අපූරු හැකියාවක්. සියලූ දේ අතරේ හැකි විදියට මිනිසුන්ට උදව් කළා. කවුරු හරි උදව්වක් ඉල්ලූවොත් මුදලින් නැතත් උපදෙස් වලින් මෙන්ම උදව්වට ප‍්‍රශ්නයට අදාල විසඳුම් අම්මා ළඟ තිබුණා. හොඳ පෞරුෂයක් තිබුණු කාන්තාවක්. සමහර වෙලාවට සමහර අය තමුන්ගේ පුද්ගලික ප‍්‍රශ්න කියන්න ආවේ අම්මා ළඟට. එච්චරට එයාලා අම්මාව විශ්වාස කළා. ඒ වගේම කාගේවත් දෙයක් තවත් කාටවත් කියූ කෙනෙක් නෙවෙයි. ඒ නිසා තරුණ අය පවා අම්මාගේ ඇසුරට ප‍්‍රිය කළා.

 

ඇයට මොන වගේ රසවින්ඳනයක් ද තිබුණේ.

පැරණි හොඳ දේට ඉතාම කැමතියි. ඒවා ඉතාම හොඳින් රසවිඳි චරිතයක්. ඒ වගේම මෑත පරපුරේ අයගේ නිර්මාණ රස විඳීමට පවා කැමැත්තක් දැක්වූවා. උදාහරණයකට කිව්වොත් තරුණ පරපුරේ සනුකගේ ගීත පවා ඇහුවා.

 

තාත්තාගේ ගීත අතරින් ඇය වඩා ප‍්‍රිය කළ ගීය මොකක්ද?

 එතරම්ම ජනප‍්‍රිය නොවූ සරල ගීතයකට හරි කැමතියි.

දොලේ සිනා හඬින්

ඇහැනු පොකුරු සිනා කොයි...

 

ඔබ දියණියක ලෙස අම්මගේ ජීවිතයෙන් ගත්ත දේ මොනවද?

අම්මා සාම්ප‍්‍රදායික බිරිඳක් වුණේ නැහැ. ඉන් එහාට ගිය ශක්තිමත් කාන්තාවක ලෙස ගෙදර සියලූ දේ කළා. ඉතාම ක‍්‍රමානුකූලයි. වැඩ කීපයක් එකවර කිරීමේ අපූරු හැකියාවක් තිබුණා. පිළිවෙල හරිම ඉහළයි. මට මහන්සියි කියලා කවදාවත් කියලා නැහැ. බිරිඳක ලෙස ගෙදර සතුටින් තියන්න හරිම වගකීමෙන් ආදරයෙන් කටයුතු කළා.

මාත් එක්ක අම්මා ජීවිතය බෙදාගත් බව කියන්න පුළුවනි. අම්මා අසනීප වුණාම මම ළඟින්ම හිටියා. ඒ වෙලාවෙත් අතීතය ආවර්ජනය කරමින් අම්මා ධෛර්යවන්තව හිටියේ. අතීතයේ මෙන්ම ජීවිතයේ කළ කී දේ ගැන හරිම තෘප්තියකින් හිටියේ. ජීවිතයේ නික්ම යෑමට සිදුවුන බව දැන ගෙන හිටියා.

මට හොඳ ස්වාමිපුරුෂයෙක් දරු දෙදෙනෙක් ලැබුණේ කියා හරියට සතුටු වුණා. ඇය හරි වාසනාවන්තයි කියලා අම්මා අම්මා ගැන සතුටු වුණා.

ඇත්තටම මට මගේ ජීවිතයේ බොහෝ ශක්තිමත් බවක් පන්නරයක් ලැබුණේ අම්මගෙන්. අම්මා හරිම පරිනත බුද්ධිමත් චරිතයක්. අපේ අම්මා තාත්තා දෙන්නම එහෙමයි. හරිම බුද්ධිමත්. දැන් මට හතළිහයයි. ඒ ගෙවී ගිය මගේ ජීවිතයට ජීවත්වීම තේරුම් ගන්න අම්මාගෙන් ලැබුණු ආභාෂය නම් ඇත්තටම වචනයෙන් කියන්න බැරි තරම්. ජීවිතයේ ගැඹුර ඇය අපට කියා දුන්නේ හරිම සරළවයි.

 

කලා ලොවේ හැමෝම ආදරයෙන් ආමන්ත‍්‍රණය කළ චන්ද්‍රා අක්කා කළා ශිල්පිණියට අපි නිවන් සුව පතමු.

 

සඳුන් ගමගේ

ඡායාරූප - චමත් වින්ඳුල

20191107Chandrika-3