ටිකින් ටික චරිත ගණනකින් රංගන ක්ෂේත්‍රයට ඇවිල්ලා ඉන්නවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20191118Chathura-1කලා ක්ෂේත්‍රයේ විවිධ ඉසව් ඔස්සේ දුර ගමනක් යාමට පෙරුම් පුරන තරුණ කලාකරුවකු පිළිබඳව කතාබහකි මේ. ඔහු නමින් චතුර දිසානායක.

චතුර කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්නෙ කොහොමද?

මම පුංචි කාලේ ඉඳන්ම කලාවට ගොඩක් කැමතියි. පාසලේදිත් ඒ විෂය ධාරාවට අමතරව නාට්‍යය, නර්තනය, සංගීතය, වාදනය හැමදේම කලා. එහිදී ගායන ක්ෂේත්‍ර‘යේ ඒකල ගායනා වලින් සමස්ථ ලංකා මට්ටම දක්වා ගිහින් තියෙනවා. මුලින්ම සංගීතය පැත්තට දක්‍ෂතාවක් තියෙනවා කියන දේ ඔළුවට එන්නෙ අම්මා නිසා. ඒ මුලින්ම දහම් පාසල් ගීත තරඟයකට මාව මුලින්ම යොමුකලේ අම්මා. නැත්නම් මමවත් දන්නෙ නෑ මට ගීත ගායනා කරන්න හැකියාවක් තියෙනවා කියලා. ඉන් පසුව පාසල් කාලෙදි ගුරුවරු හරහා සංගීතය ඉගෙනගෙන ඒ තරඟවලට සම්බන්ධ වෙන්නෙ. ඉන් පසුව පාසල් කාලෙදිම තමයි Dream Star තරඟයට සම්බන්ධ වෙන්නේ. එහිදී මට අවසන් තරඟකරුවන් 48 දෙනාට එන්න අවස්ථාව ලැබෙනවා. ඒ තුලින් ප්‍රසංග වේදිකාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ලංකාවේ වගේම විදේශ රටවලත්.

චතුරව මේ සඳහා යොමුකලේ කව්ද?

සංගීත වැඩසටහනට යොමුකලේ අම්මා තාත්තා සහ අක්කා. මගේ පවුලේ අය දැනගෙන හිටියා පුංචි කාලෙ ඉඳන් මට ගායනයට දක්‍ෂතා තියෙනවා කියලා. එතැනින් මගෙ පාසලේ කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ හිටපු අශෝක සේනාධීර සර් මට පාසලේදී සංගීතයෙන් ඉහළට යන්න ගොඩක් උදව් කලා. ඒ කාලේ මට ගිටාර් එකක් තිබුණේ නෑ. ඔහු තමයි මට ගිටාරයක් පවා අරන් දුන්නෙ. මේ වෙද්දි සර් නෑ. නමුත් මට ක්ෂේත්‍ර‘යේ දැවැන්ත චරිත හඳුන්වලා දීලා මාව ඒ අංශයට යොමුකලා. ඒ පන්නරයත් එක්ක මට ගෙදරින් ලැබුණු ශක්තියත් එක්ක තමයි මම මේ ගමන ආවේ.

ඒ ගමන් මගේ ආපු චතුර අද වෙද්දි රංගන ශිල්පියෙක් වෙලා?

ඔව්. රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නට ලැබීම අහම්බයක්. මට මේ අවස්ථාව ලබාදුන්නෙ දෙරණ නාලිකාවේ ලක්සිරි වික්‍රමගේ සර්. පාසලේදී රංගනය කියන දේ කලා. නමුත් ලොකුවට හදාරලා තිබුණේ නැහැ. දෙවනි ඉනිමේ සහය අධ්‍යක්‍ෂකවරයෙක් ලෙස වැඩකරන රංගන ශිල්පී නිරුක්ෂාන් ඒකනායක මගේ හිතවතෙක්. ඔහු මගෙන් රඟපාන්න කැමතිද කියලා ඒ ආරාධනයත් එක්ක තමයි මට පොඩි චරිතයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ. නමුත් මම එතැනදී මගෙ හැකියාව පෙන්නනවා. රංගනයට ලොකු ආසාවක් ඇතිවෙනවා. ඒ නිසා රංගනය දිගටම හදාරන්න පටන් ගත්තා. ඒ හැදෑරීමත් එක්ක මම අද වෙද්දි ටෙලිනාට්‍ය කිහිපයකට රංගනයෙන් දායක වෙනවා.

මොනවද ඒ නිර්මාණ?

දෙවැනි ඉනිමෙන් පසුව රෑනගල වලව්ව, අඩෝ, නෝ පාකින් සහ ක්ලික් යන නිර්මාණ තුළ රංගනයෙන් දායකවෙලා ඉන්නවා.

ගායකයෙක් වෙන්න ආපු ගමන රංගන ශිල්පියෙක් වෙලා විවිධාකාර චරිත ඔස්සේ පුංචි තිරයේ අද දකින්න ඉන්නවා?

ඔව්. ටිකින් ටික චරිත ගණනකින් රංගන ක්ෂේත්‍රයට ඇවිල්ලා ඉන්නවා. නමුත් වැඩිපුරම කතාබහට ලක්වෙන්නෙ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ ප්‍රසන්න විතානගේ සර්ගෙ නිර්මාණයක් හරහා. ඒ වෙළඳ දැන්වීමක්. එවැනි දැවැන්ත කෙනෙකුගෙ නිර්මාණයක ප්‍රධාන චරිතයක් කරන්න ලැබීම ඇත්තටම ලොකු වාසනාවක්. ඒ වෙළඳ දැන්වීම සෑම නාලිකාවකම ප්‍රචාරය වෙනවා. එතැනින් පසුව තමයි මට ආරාධනා ලැබුණේ. පුංචි තිරයේ නිර්මාණවලට.

20191118Chathura-2

ගායනයට රංගනයට අමතරව මොකද කරන්නේ?

ඊට අමතරව මම ගීපද රචනා කරනවා. තනු නිර්මාණ කරනවා. ලංකාවේ ඉන්න ඕනෑම ගායන ශිල්පී ශිල්පිනියන්ට. මේ වෙද්දි මගේ අතින් නිර්මාණය වුණු ගීත 70 ක් පමණ තියෙනවා. ඒ වගේම මගේම ගීතත් 12 ක් වගේ නිර්මාණය කරලා තියෙනවා. ඒ අතරින් ‘ආදරෙන් ලංවෙලා’ සහ නිම්නාවී කියන ගීත වලට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඉතින් ඉදිරියටත් අලුත් පරම්පරාවට වගේම හැම දෙනාටම ගීත නිර්මාණ කරන්න ලොකු බලාපොරොත්තු වෙනවා. සිරස සුපර් ස්ටාර් වුණු ශානිකා මධුමාලිට මෑතකදී ගීතයක් කලා. ඒ වගේම දෙරණ බැට්ල් ඔෆ් බෑන්ඩ්හි අනුෂ්ක අයියාට ගීතයක් කළා. ඒ ගීතයටත් මේ වෙද්දි හොඳ ප්‍රතිචාරයක් තියෙනවා. ප්‍රවීණ ගායන ශිල්පී ශිල්පිනියන්ටත් ගීත නිර්මාණ කරන්න කැමතියි. නමුත් තවම අවස්ථාවක් උදාවුණේ නෑ. ඉදිරියේදී ඒ වාසනාවත් ලැබෙවි කියලා හිතනවා.

ඇයි මේ ක්ෂේත්‍රයම තෝරගන්න හිතුවේ?

මේ ක්ෂේත්‍රය තෝරගත්තේ මම කලාවට ගොඩක් කැමතියි. ඉතින් මට හිතුණා මම වෙන රැකියාවක් කරන්න ගත්තොත් මගේ කලා හැකියාව යටපත් වෙයි කියලා. කලාව පැත්තෙන් මට මොනයම් හෝ දෙයක් කරන්න පුළුවන් කියන බලාපොරොත්තුව මට තිබුණා. ඒ නිසා තමයි කලාවෙන්ම ඉදිරියට යන්න තීරණය කළේ. මුලින්ම මගේ අරමුණ වුනේ නායකයෙක් වීම. ඉතින් දැන් මේ අංශ ඔක්කොගෙන්ම ඉදිරියට ගිහින් හොඳ කලාකරුවෙක් වෙන්න ලොකු හීනයක් තියෙනවා.

මේ ඇවිල්ලා ඉන්න ගමන ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම සතුටුයි. මේ මම දැකපු හීනයක්. පුංචි කාලෙදි ගායන ශිල්පීන් ගීත ගායනා කරනවා දකිද්දි මටත් මේවගේ ගායනා කරන්න පුළුවන් නම් කියලා හිතුණා. මටත් මිනිස්සු  අතරට එන්න ඒ ඇවිල්ලා මිනිසුන්ගේ ආදරේ ලබන්න ගොඩක් ආසා හිතුණා. අද වෙද්දි යම්තාක් දුරට මම ඒ හීනය ඉෂ්ට කරගෙන තියෙනවා.

ධනු විජේරත්න

20191118Chathura-3