‘ටැටූ’ එක ඇඳලා ගෙදර ගිය දවසේ ගෙදර කට්ටියම මට ගහලා මාව ගෙදරින් එළෙව්වා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20191128Sangeeth-1‘සල් සපුනා’, ‘සක්කාරං’ මෙන්ම මේ දිනවල හිරු රූපවාහිනි නාලිකාවේ දිග හැරෙන ‘හුස්මක් තරමට’ හා ‘පළිඟු පියාපත්’ ටෙලි නාට්‍ය තුළ දකින සංගීත් ප්‍රභු, තරුණ පරපුර අතර ජනප්‍රිය යොවුන් රංගන ශිල්පියෙකි. නිතර කලා තොරතුරු ඔහුගෙන් විමසන නිසාම මෙවර අපි ඔහුගේ සිය ‘ටැටූ’ විලාසිතා ගැන තොරතුරු විමසුවෙමු.

සංගීත් මුලින්ම ‘ටැටූ’ එකක් ඇන්දේ කොයි කාලෙද?

පාසල් යන කාලෙ. මගේ මතකයේ හැටියට නම් අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින කාලෙ. ඒ කාලෙ ‘ටැටූ’ එකක් කරන්න ලොකු ආසාවක් තිබුණා. ඒ හින්දා කළා. නමුත්, ඒ කරපු ‘ටැටූ’ එකේ කිසි අර්ථයක් නැහැ. නිකම් රවුමක් ඇතුළේ තරුවක් ඇන්ඳා.

පවුලේ අයගෙන් බලපෑමක් ඇති වුණේ නැද්ද?

‘ටැටූ’ එක අඳින්න කලින් ඉඳලා ගෙදර අය නම් කැමති වුණේ නැහැ. අම්මා, තාත්තා මේ හැමෝම වගේ බැන්නා. ‘ටැටූ’ එක ඇඳලා ගෙදර ගිය දවසේ ගෙදර කට්ටියම මට ගහලා මාව ගෙදරින් එළෙව්වා. පස්සේ පුංචිලාගේ ගෙදර දවස් කිහිපයක් නැවතිලා උණුසුම් ගියාට පස්සේ තමයි මම ආපහු ගෙදර ගියේ.

මේ ළඟදි ආපහු ‘ටැටූ’ එකක් කළා නේද?

ඔව්, මම මුලින් කරපු ‘ටැටූ’ එක කිසිම අර්ථයක් තිබුණේ නැහැ. ඉතින් ඒ ‘ටැටූ’ එක උඩින් මම ආස කරන විදිහේ ‘ටැටූ’ එකක් ආයෙත් ඇන්ඳා. අනුරාධපුරේ චතුරිකා මනෝරි කියලා අක්කා කෙනෙක් තමයි මගේ අලුත් ‘ටැටූ’ එක ඇන්ඳේ. ඇය කිසිදු අය කිරීමකින් තමයි මේ දේ කළේ.

අලුත් ‘ටැටූ’ එක මොකක්ද?

මගේ වෘත්තිය තමයි රංගනය. ඉතින් රංගනයට බොහෝම සමීපයි ෆිල්ම් රෝල් එක. ඉතින් මම අලුතෙන් ඇන්ඳේ ෆිල්ම් රෝල් එකක්. කලින් මම ඇඳල තිබුණ තරුවයි, රවුමයි මේ නිසා මැකිලා ගියා. වම් කකුලේ විලුඹට උඩින් තමයි මේ ‘ටැටූ’ එක ඇඳල තියෙන්නේ.

ඔබ ඇඳපු ‘ටැටූ’ එක ඔබේ වෘත්තියට බාධාවක්ද?

නැහැ. මම හිතන්නේ නැහැ මගේ ‘ටැටූ’ එක ඇඳල තියෙන තැන අනුව ඒක බාධාවක් වේවි කියලා.

ආයෙත් ‘ටැටූ’ එකක් අඳින්නේ නැද්ද?

නැහැ. ආයේ කිසි දවසක ‘ටැටූ’ එකක් අඳින්නේ නැහැ. මොකද, ‘ටැටූ’ එකක් අඳින එක ලේසි නැහැ. චතුරිකා අක්කාට කියලා මේ ‘ටැටූ’ එක ඇඳගත්තේ එහි වේදනාව යම් තරමකට හෝ අඩු කරගන්න.

‘ටැටූ’ එකක් ඇන්ඳම යම් ආකර්ෂණීය බවක් ලැබෙනවාද?

නැහැ. ඒක බොරු කතාවක්. ‘ටැටූ’ එකක් අඳින බොහෝ අය ඒක විලාසිතාවක් කරගෙන. නමුත්, මම හිතේ තිබුණ ආසාවටයි එහෙම කළේ. ‘ටැටූ’ එකක් ඇන්ඳ කියල වෙනත් අයෙකුගේ ආකර්ෂණයක් අපිට ලැබෙන්නේ නැහැ, යම් කෙනෙකු කරපු ‘ටැටූ’ එක දුටුවොත් ඒ ගැන අහනවා ඇරෙන්න.

යාළුවෝ එක්ක ‘ටැටූ’ විලාසිතා ගැන කතා කරනවද?

ගොඩක් වෙලාවට. පාසල් යන කාලෙ ඉඳලා මගේ යාළුවෝ ටික ‘ටැටූ’ ගැහුවා. ඉතින් ඒ දවස්වල ඉඳලා ‘ටැටූ’ ගැන විස්තර කියනවා. අද වුණත් මට සමීප යාළුවෝ පිරිසක් ඉන්නවා. අලුත් ‘ටැටූ’ එකක් කවුරු හරි කළොත් ඒ ගැන අපි කතා කරනවා.

බුද්ධික සේනාධීර 

20191128Sangeeth-2