ආචාර්ය වික්ටර් රත්නායකගේ හඬින් තරින්ද ගුණවර්ධනගේ පද පෙළක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20191128Song-1

 

ඔයා නේද තරින්ද?

කැන්බරා නුවර පැවැති සිංහල සංගීත ප‍්‍රසංගය අවසානයේ ගෙදර යනු පිණිස මෝටර් රථය දෙසට ඇවිද යද්දී මුණ ගැසුණු මිතුරා, තරින්දගෙන් ඇසුවේය.

‘‘ඔව්නෙ.’’

තරින්ද සිනාසී මිතුරාගේ මුහුණු බැලූවේය.

කැන්බරා නුවර පැවැත්වෙන විවිධාකාර වැඩසටහන්වලදී, අවුරුදු උත්සවවලදී, ආගමික උත්සවවලදී, ප‍්‍රසංගවලදී මුණගැහෙන මිතුරාගේ නම ඔහුට මතක් නොවීය. එහෙත් තරින්ද අර තරුණයා හඳුනන බවක් හැෙඟව්වේය.

කොහොමද සිංදු ටික හිතට වැදෙනවා නේද මාර විදියට.

මිතුරා ඇසුවේය.

‘‘කියල වැඩක් නෑ. දිවුල්ගනේ මහත්තයාගෙ සිංදු කොහොමටත් අපි අඬෝනවමනෙ.’’

‘‘ඒක නම් සහතික ඇත්ත.’’

මිතුරා තරින්ද සමග එකඟ වූයේය. අනිත් එක්කෙනා වික්ටර් රත්නායක

‘‘ඔයත් සිංදු ලියනව නේද?’’

ඊළඟට මිතුරා ඇසුවේය.

‘‘ඔව් ඉතිං. ඉඳල හිටලා ලියනවා.’’

‘‘අනේ මචං පුළුවන් නම් මෙහෙම සිංදුවක් ලියපං.’’

මිතුරා තරින්දගේ දෙනෙතට එබී බලා කතා කරන්නට පටන් ගත්තේය.

උඹට කියන්න මම මේ රටේ ඉන්නෙ සතුටෙන්. වයිෆ් අම්මා කෙනෙක් වගේ ආදරෙන් මාව බලා ගන්නවා. දරු දෙන්නා ඉරයි හඳයි වගේ මගේ ලෝකෙට එළිය දෙනවා. ඒත් මචං මගෙ ලෝකෙත් හඳක් තියෙනවා. හැබැයි ඒ හඳ තියෙන්නේ ලංකාවේ.

තරින්ද, මිතුරාගේ සාහිත්‍යමය කතාවට කන් දීගෙන නිහඬව සිටියේය.

‘‘ඒ හඳ මට හැම තිස්සේම මතක් වෙනවා. එයාට තිබුණු මුවැත්තියකගෙ වගේ ලස්සන අහිංසක ඇස් දෙකක්. එයා ඒ ඇස් දෙකෙන් මගෙ දිහා බලනවට තමයි මම හුඟාක්ම කැමති. ඒ වෙලාවට ඒ ඇස් දෙකෙන් ආදරය උතුරනවා. එතකොට එයාගෙ හිනාව යම්තමට තොල් පෙති දෙක ඈත් කරල මතු කරන හිනාවත් හරිම ලස්සනයි. මම ඒ ඇස් දෙකෙත් හිනාවත් මගෙ පපුව අස්සෙ හිරකර ගෙන ඉන්නෙ. ඒත් ඉතින් දැන් අවුරුදු පහකින්වත් මම ඒ ඇස් දෙක දැකල නැහැ. ඒත් මට එයාව මතක් නොවෙන දවසක් නෑ.’’

තරින්ද නිහඬවම අසා සිටියේය.

‘‘මචං ඔන්න ඔය දේ ගැන උඹට බැරිද සිංදුවක් ලියන්න. එහෙම සිංදුවක් ලිව්වොත්නම් ලෝකෙම වැළඳගනියි. මොකද දන්නවද මේ ලෝකෙ ඉන්න හැම මිනිහෙකුටම හිතේ හංගගෙන රස විඳින්න පුළුවන් ආදරයක් තියෙනවා. ඒත් අඹු දරුවො එක්ක සන්තෝෂෙන් ජීවත් වෙන නිසා අර පරණ පේ‍්‍රමයට ළං වෙන්න බැහැ. ඒත් ඉතින් හදවතින් හැම තිස්සෙම ඒ පරණ පේ‍්‍රමය තුරුලට ගිහින් හිත සනසා ගන්නවා.’’

මිතුරා එසේ පවසා තරින්ද දෙස බලා සිටියේය.

‘‘ඇත්තම කියපං. උඹට එහෙම මතකයක් නැද්ද? ’’

මිතුරා තරින්දගෙන් ඊළඟට ඇසුවේ ඔහුගේ කල්පනා සාධාරණීකරණය කරගනු පිණිසයි.

තරින්ද කිසිවක් නොකියා සිනාවක් පමණක් පෑවේය.

‘‘මට වෙලාවකට හිතෙනවා ලංකාවට ඉගිල්ලෙන්න. ගිහිල්ලා ඒ කෙල්ල මුණහැහිලා මූණු දිහා බලාගෙන ඉන්න. ඉස්සර වගේම එයාගෙ ඇස් දෙක ආදරෙන් පිරෙනව බලන්නයි මට  ඕනෑ. ඒත් එතකොටම මතක් වෙන්නෙ මගෙ අඹු දරුවො. ඒ හැමෝම එක්ක මම ගෙවන්න ආදරණීය ජීවිතයක්. ඒ නිසා මේ හිතේ හැංගුණු ආදරේ ඇත්තටම හමුවෙන්න මගෙ හිතේ බයක් හිතෙනවා.’’

මිතුරා යළිත් කියාගෙන ගියේය.

ඔහු පවසන්නේ හැබෑවක් බව තරින්ද වටහා ගත්තේය. ප‍්‍රථම පේ‍්‍රමය යනු බොහෝ විට අමරණීය දෙයකි. එහි මතක හිත තුළ හංගාගෙන අපි හැමෝමත් ජීවත් වන්නෙමු.

අඹු දරුවන් පිරිවරාගෙන සතුටින් ජීවත්වන බව පෙන්නුවත් අත්හැරුණු ප‍්‍රථම පේ‍්‍රමය තරම් මිහිරක් ඔබටද නැතුවා විය හැකිය.

තරින්ද තම මෝටර් රථයට නැගුණේ මිතුරා කී කතාවෙන් හිත බර කර ගෙනය.

හිතේ හැංගී හැංගී ඔබ තවම ඉන්නවා.

තරින්දගේ හිතට මේ ගී පදය ආවේ ඇසිල්ලේය. ගීතයේ පදවලින් වැඩි පද ගණනක් රිය පදවන අතරතුරදීම ඔහුගේ හිතේ ලියැවිණි.

තරින්ද ඒ ගීතය ලියා අවසන් කර අර මිතුරා දුන් දුරකතන අංකයට ඇමතුමක් ගත්තේය.

‘‘මං සිංදුව ලිව්වා. හොඳද බලන්න.’’

තරින්ද ඔහු ලියූ පද පේලි එකින් එක කියැවුයේය.

‘‘හරියට හරි ඔය තියෙන්නෙ ලස්සනට.’’

මිතුරා කීවේය.

‘‘ඒක නෙවී ඔයා හිතන්නෙ මේ සිංදුව කියන්න  ඕනෑ කවුරු කියලද?’’

කතා දෙකක් නෑ. වික්ටර් රත්නායක.

වික්ටර් රත්නායකගෙ කටහෙඬ් තිබෙන ආදරණීය ගතියත් එක්ක ඔය පදවලට අපූර්වත්වයක් එකතු වෙනවා.’’

තරින්ද පද පෙළ දර්ශන වික‍්‍රමතුංගට යොමු කළේ එය වික්ටර් රත්නායක ගායනා කළොත් හොඳ බවද සඳහන් කරමිනි.

තරින්දත් ඔහුගේ මිතුරාත් උපකල්පනය කළ විදිහටම වික්ටර් රත්නායකගෙ හඬින් ගැයුණු ඒ පද පෙළ අපූරු ගීතයක් බවට පත්ව තිබේ.

පුරුද්දක් විදිහට මම ද නිතරම දර්ශන වික‍්‍රමතුංගගේ ‘යූ ටියුබ්’ ගිණුමට ඇතුළුව ඔහු නිර්මාණය කරන ගී රසවිඳිමි. වික්ටර්ගේ රුව සමග තිබුණු හිතේ හැංගී හැංගී ගීතයට කන් දුන්නෙමි.

තවමත් මා සිටින්නේ දෙළොවක් අතරය.

මෙහෙන් ඉරත් තරුත්ය.

එහෙන් සඳය.

 

 

ශාන්ත කුමාර විතාන