මට හරිගියේ කලාවෙන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20191128Sarath-5

පාසල් කාලයේදී මිතුරන් කිව්වේ කළු සරා කියලලූ. මේ ප‍්‍රවීණයා ගැන බොහෝ දෙනා දන්නේ ඔහුගේ සැබෑ නමින් නොවේ. සැබෑ නම සරත් චන්දසිරිය. එසේ වුවද වැඩි දෙනා ඔහුට කියන්නේ සමගිපුර වසන්ත කියාය. පබා නාට්‍යයේ චරිතය නිසාය. අද අඩෝ කියන්නේ අඩෝ නාට්‍යයේ චරිතය නිසාය. මේ දිනවල ඔහු අපට හමුවන්නේ අඩෝ නාට්‍යයේ රාජා ලෙසත් එකගෙයි කුරුල්ලෝ ටෙලි මාලාවේ මාළු කාරයා සහ ක්ලික් නාට්‍යයේ චරිතයක් මෙන්ම ප‍්‍රසිඩන්ට් සුපර්ස්ටාර් චිත‍්‍රපටයේ චරිතයක් සමගය. ඒ චරිත වලට අමතරව රී - ලෝඞ් චිත‍්‍රපටයේ චරිතයක් සමග හමුවන සරත් චන්ද්‍රසිරි සැඳැල්ලට පැමිණි මොහොතකි මේ.

 

සරත් චන්ද්‍රසිරිට වඩා වෙනත් නම් වලින් නේද මිනිස්සු කතා කරන්නේ?

ඔව් කිසිම කෙනෙක් දන්නේ නැහැ. බිරිඳයි දරුවෝ දෙන්නයි විතරයි දන්නේ. වෙන කවුරුත් ඒ නමින් කතා කරන්නේ නැති තරම්. මම කවුද කියන්න එක්කෝ මම රඟපෑව චරිතයක නමක් කියන්න  ඕනෑ. මේ දවස්වල නම් මට කියන්නේ අඩෝ කියලයි. ලංකාවෙන් ඔස්ටේ‍්‍රලියාවට පලා යන්න හදන පිරිසක් පාලනය කරගෙන ඒ ගමන යන්න හදන චරිතයක්. එයාගේ නම රාජා ඒක මේ දවස්වල ජනප‍්‍රියයි.

සමහරු කියන්නේ සමගිපුර වසන්ත කියලයි. පබා නාට්‍යයේ වසන්ත කියන්නේ එක අතකට මගේ වාසනාවට ලැබුණු චරිතයක්. ඒ වගේ රඟපෑ චරිතවල නම් වලින් හැරෙන්නට අනෙක් අය මට කියනවා ඇත්තේ අර කළු කොට කැත මහත අහවල් චරිතය රඟපාන නළුවා කියලා වෙන්න ඇති.

 

සරත්ගේ අඹු දරුවන් ගැන විස්තර කියමුකො?

පුතා කටුබැද්ද සරසවියේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක්. දුව ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ දෙවැනි වසරේ ඉගෙන ගන්න සිසුවියක්. බිරිඳයි මායි ඉතින් අද සැහැල්ලූවෙන් ජීවත් වෙනවා.

 

බිරිද කොහොමද ඔබ ආමන්ත‍්‍රණය කරන්නේ?

බොහොම ආදරෙන් තමයි කතා කරන්නේ. ආදරේට කියන නම් තියෙනවනේ. හැබැයි ඉතින් එයා මම රඟපාන නාට්‍යයක් වුණත් බලන්නේ නාට්‍ය හොඳනම් විතරයි. නැත්නම් බලන්නේ නෑ.

 

යාළුවෝ එහෙම කොහොමද කතා කරන්නේ?

සරත් චන්ද්‍රසිරි කියන නම කියන්නේ නැහැ. සරා කියලා එයාලා කියන්නේ. මම ඉගෙන ගත්තේ වෑකඩ බෞද්ධාලෝක විද්‍යාලයේ සහ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ. පාසලේ මගේ යාළුවෝ වගේම අනෙක් අය කතා කළේ කළු සරා කියලයි.

20191128Sarath-1

ඒ කාලයේ කළු සරා කොහොම චරිතයක්ද?

නාහෙට අහන්නේ නැතුව හිටපු චරිතයක්. අද ඇමරිකාවේ හෝ  ඕස්ටේ‍්‍රලියාවේ හරි එක්කෝ ලොකේ වෙන රටකට ගියාම මගේ යාළුවෝ හමුවෙනවා. එයාලා උසස් රැුකියාවල නිරත වෙනවා. හැබැයි අදටත් මට කියන්නේ කළු සරා කියලයි. ආ මට එකක් අමතක වුණා.

 

ඒ මොකක්ද?

ඒ දවස්වල මට බට්ටා කියලත් කිව්වා. එදා නාහෙට නෑසු චරිතයක් වෙච්ච මම අද කලාවට ආවේ කොහොමද කියන එක ගැන වෙලාවකට මටම පුදුමයි.

 

ඇත්තටම කොහොමද ඒ ගමන ආවේ?

වෑකඩ බෞද්ධාලෝකයේ හිටියදී චන්දිකා සිරිවර්ධන මිස් තමයි අපට ඉගැන්නුවේ. මිස් නිසා මට නාට්‍යයක රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒක ගීතමය නාට්‍යයක්. ඒකේ නම රටේ වෙදා. ඊට පසුව උසස් පෙළ කරන කාලයේදී සරත් කුලාංග සර් හමුවෙනවා. සර් තමයි මට මේ ප‍්‍රසිද්ධ වේදිකාවේ ගමන සහ පාර හදලා දුන්නේ. අපේ හිතවත්කම් තිබුණත් අද අපි එකට රඟපෑවත් මම සරත් කුලාංග සර් කියලා තමයි අමතන්නේ. මගේ ගමන හැදුවේ වෙන කවුරුත් නෙවෙයි. චන්දිකා සිරිවර්ධන මිස් සහ සරත් කුලාංග සර්. ඒක තමයි ඇත්ත. සර් නම් හම්බ වෙනවා. ඒත මිස් නම් ගොඩාක් කාලයකින් හමුවුණේ නැහැ.

 

ඒ කාලයේ කළු සරා කවුරු වෙන්න  ඕනෑය කියලද ඉගෙන ගත්තේ?

කලාවට ආසා කළා. හොඳට රඟපාන නළුවන් දකිද්දී ඒ අයගේ සපෝට් එකටවත් හිටියොත් හොඳයි කියලා හිතුවා. වෙසක් කාලෙට වෙසක් නාට්‍යවල එහෙම රඟපෑවා. චිත‍්‍රපට එහෙම දිගටම නැරඹුවා. ඒ කාලයේ ‘‘ජෝ’’ මහත්තයා දැක්කාම ඇතිවුණේ ලොකු සතුටක්. මට මාව ලයිව් (සජීවිව) දැක ගන්න ඇත්නම් කියන ආසාව තිබුණා.

20191128Sarath-2

රස්සාවක් කළේ නැද්ද?

ඉලෙක්ටි‍්‍රක් වැඩ කළා. වෙල්ඩින් වැඩ කළා. ඊට පස්සේ ඇඟලූම් ආයතනයක නිෂ්පාදන කළමනාකාරවරයෙකු ලෙස රස්සාව කළා. 1996 දී ඒ ඔක්කොම අත්හැරියා.

 

අත්හැරියා?

කලාවට ආවා. කලාවට ආවාම තමයි මට හරි ගියේ. කාලයක් ගිහිල්ලා ඉඩමක් අරගෙන ගෙයකුත් හදාගෙන පොඩි වාහනයකුත් ගත්තේ කලාවෙන් හම්බ කළ දෙයින්. දරු දෙන්නට ඉගැන්නුවෙත් එයින්. ඒ නිසා අද මම සිටින තැන ගැන සතුටු වෙනවා. කවදාවත් දේශපාලනය පස්සේ ගිහින් මොනවත් ගත්තේ නැහැ.  එක් වතාවක දරුවෝ දෙන්නා බණ්ඩාරගම ඉඳලා පාසල් ආවේ ඞී.එස් එකට සහ දේවි බාලිකාවට. එයාලා බණ්ඩාරගම සිට පාසල් ආවේ පුද්ගලික රථ වලින් ඒවාට අපට සෑහෙන්න ගෙවන්න සිද්ධ වුණා. ඒ කාලයේ ඒ පළාතට පාසල් බස් රථ තිබුණේ නැහැ. ඒ නිසා ඩලස් අලහප්පෙරුම මහතාගෙන් ඉල්ලීමක් කරලා මහින්ද රාජපක්ෂ මැතිඳුන්ට කියලා ගමට පාසල් බස් දෙකක් දාගත්තා. පළමු වතාවෙම කොළඹ එන්න ළමුන් තිහක් හතළිහක් හිටියා. තවත් අවස්ථාවක ගමේ පාරට ටී.බී. ඒකනායක මහත්තයාට කියලා කොන්ක‍්‍රීට් දාගත්තා. ඒ පළාතට විදුලිය ගත්තේ එජාප පළාත් සභා මන්ත‍්‍රීවරියකට කියලා. ඔන්න ඔච්චරම තමයි කලාකරුවකු ලෙස මම මුල්වෙලා ඉල්ලලා තිබුණේ. අදටත් පාසල් බස් රථයෙන් යන ඒ පළාතේ කවුරුත් දන්නේ නැතුව ඇති ඒ පාසල් බස් රථ අරන් දෙන්න මුල් වුණේ කවුද කියලා.

 

එදා තිබුණු දඩබ්බර කම් අදටත් තියෙනවාද ?

අද නම් ඉතින් ඒවා චරිත වලට විතරයි.

 

රී ලෝඞ්  ෆිල්ම් එක ගැනත් කියමුකෝ?

එහි මම සහ කුමාර තිරිමාදුර ඇතුළු පිරිසක් රඟපානවා. තිරිමාදුර කරන්නේ ඇමතිගේ චරිතය. මම කරන්නේ එයාගේ ලේකම්ගේ චරිතය මේ දෙන්නට අනතුරක් වෙලා අපායේ යනවා. කතාව ගලා යන්නේ ඉන් පසුවයි. පවුලේ ඔක්කොටම නරඹන්න පුළුවන් හොඳ චිත‍්‍රපටයක්.

 

සඳුන් ගමගේ

20191128Sarath-4