ඉක්මන් ගමනකට කැමැත්තක් නෑ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20191128Janani-2නුගේගොඩ අනුලා විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ ඇය කලා අංශයෙන් උසස් පෙළ සමත් වී සෞන්දර්යය විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හැදෑරුවාය. අද ඇය වෘත්තියෙන් ගුරුවරියකි. දේවි බාලිකා විද්‍යාලයේ සෞන්දර්යය අංශයේ ගුරුවරියක ලෙස සේවය කරන්නීය. මෙලෙසින් අප කතා කරන්නේ රටම දන්නා විශාරද අමරසිරි පීරිස් ගායන ශිල්පියාණන්ගේ ජ්‍යෙෂ්ඨ දියණිය වන ජනනි පීරිස් ගැනය.

අමරසිරි පීරිස් ශිල්පියාණන් හට දරුවන් පස්දෙනෙකි. වැඩිමලා පිරිමි දරුවෙකි. දෙවැන්නිය මේ ජනනි පීරිස්ය. අනෙක් තිදෙනා ද ගැහැණු දරුවන් වේ. ”තාත්තා ආවේ ඉතා අරුත්බර ගමනක්. අපිත් ඒ විදිය අනුගමනය කළොත් හොඳයි කියලා විශ්වාස කළා. ඒ හැරත් තාත්තා ගොඩනගාගත් ගමනට අප හානියක් නොකළ යුතුයි.”

‘ජනනි’ ගායන ක්ෂේත‍්‍රයට පැමිණියේ ද එලෙසින් පියා මෙන් වයසින් මුහුකුරා ගිය අවදියකදීය. එසේ පවසන ඇය සඳැල්ල සමග පිළිසඳරකට එක්වූවේ මෙලෙසිනි.

 

ජනනි තවත් නම් තියෙනවා ද?

”ජනනි ඉන්දිරා පීරිස්.”

 

තාත්තාගෙ අඩි පාරේ යන්නෙ ජනනි විතර ද?

”පවුලේ වැඩිමලා අයියා. එයා පදිංචිය ඉතාලියේ. එයාටත් ගායන හැකියාවක් තියෙනවා. ඉදිරියේදී එයාත් ක්ෂේත‍්‍රයට ඒවි.”

 

ජනනිගෙ අරමුණ වුණේ?

”ගුරුවරියක වීමට අරමුණ තිබුණේ. අම්මා තාත්තාත් ඒකට කැමැත්තෙන් හිටියෙ. ඒ අරමුණ සඵල කරගත්තා.”

 

ඔබ සංගීත අංශයේ විශාරදවරියක් නේද?

”ඔව්.”

 

ජනනි මෑතකදී තමයි ගායනයට පිවිසියේ? ඇයි මෙච්චර දවසක් නිහඬව හිටියේ?

”ගුරුවරියක වීම එක් හේතුවක්. ඒ වගේම ඉක්මන් ගමනකට අපටත් කැමැත්තක් නැහැ. මෑතකදී වුණත් ගායන ක්ෂේත‍්‍රයට ඒමට මුල් වුණේ අපේ අම්මා. තාත්තා හරිම කාර්ය බහුලයි. ඒ නිසා අපේ සියලූ කටයුතුවලට දායක වුණේ අම්මා. අම්මත් සංගීතය හදාරලා තියෙනවා. තාත්තයි අම්මයි දැන හඳුනාගෙන තියෙන්නෙ සෞන්දර්යය සරසවියේදී. දෙන්නම ඉගෙන ගෙන තියෙන්නේ සෞන්දර්යය සරසවියේ. අපේ සීයා ගුවන් විදුලියෙ ් ශ්‍රේණියේ ගායකයෙක් වගේම දක්ෂ වයලීන් වාදකයෙක්. සීයාගේ නම ඇල්බට් පීරිස්. ගායන කුසලතාවය අපේ පරපුරට සමීපවෙන්න ඇත්තෙ ඒ ජානමය ලක්ෂණ නිසා වෙන්න ඇති.”

 

අම්මටත් ගයන්න පුළුවනි ද?

”ගයන්න වගේම වයන්නත් පුළුවනි. අපේ අම්මා හොඳ එස්රාජ් වාද්‍ය ශිල්පිනියක්.”

 

ඇයි අම්මා තාත්තා එක්ක යුග ගීතයක්වත් නොගැයුවේ?

”මම හිතන්නෙ තාත්තා කාර්යබහුලවීමත් එක්ක අම්මා කළේ අපිව හදා වඩා කවා පොවා ඉගැන්නුව එකයි. ගැහැණු ළමයි හතරදෙනකුයි, එක් පිරිමි දරුවකුයි කියන්නෙ පොඩි පවුලක්ම නෙවෙයිනේ. සමහර විට අම්මා මුල් නොවන්නට මාත් කවදාවත් ගායන ක්ෂේත‍්‍රයට නොයෙන්න ඉඩ තිබුණා. අම්මා තමයි මාව වඩාත් ධෛර්යවත් කළේ. ඒ වගේම මගේ සැමියා ශාලික් මේ මොහොතේ මතක් කරන්නට  ඕනෑ. එයත් මාව බොහෝ උනන්දු කළා.”

20191128Janani-1

සැමියා කලා ක්ෂේත‍්‍රයට සම්බන්ධ ද?

”නැහැ, එයා ඉදිකිරීම් අංශයේ ව්‍යාපාරයක් කරනවා. විශේෂයෙන්ම මතක් කළ යුතු තවත් චරිතයක් සිටිනවා.”

 

ඒ කවුද?

”දේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය. ඇය දිනෙක මට අවධාරණයෙන්ම කියා සිටියෙ ඇයි මෙච්චර හැකියාවක් තියාගෙන තාත්තා ගිය ගමන ඔයා නොයන්නේ කියලා. ඒ වගේ දිරිගැන්වීම් එක්ක තමයි උනන්දු වුණේ. සෞන්දර්යය සරසවියෙන් අධ්‍යාපනය ලබා පිටව ගියාම තාත්තා මාව තාත්තාගෙ විවිධ සංගීත වැඩසටහන්වලට දායක කරවා ගත්තා. මුලින්ම ක්ෂේත‍්‍රයට ආවෙ ඒ විදිහටයි.”

 

මේ වනවිට ජනනි ඔබගේම ගීත කොපමණ සංඛ්‍යාවක් ගයලා තියෙනවා ද?

”ගීත 8ක් විතර තියෙනවා. රඹුකන සිද්ධාර්ථ හිමි, රත්න ශ්‍රී විජේසිංහ ශූරීන්, වෛද්‍ය ප‍්‍රභා කුමාර රාජගුරු ඇතුළු කීපදෙනකුගේ  රචනා කළ ගීත ගැයුවා.”

 

ඒවායින් වඩා ජනප‍්‍රිය වුණේ?

”බොහෝ විට එෆ්.එම්. නාලිකාවලට ලබාදුන්නාට එච්චර ප‍්‍රචාරය වෙන්නෙ නැහැ. කොහොම වුනත් යූටියුබ් එකට මුදාහැරිය කොවිළිඳුනේ ගීතය තියෙනවා. එය සංගීතවත් කළේ දර්ශන රුවන් දිසානායක. රචනා කළේ වෛද්‍ය ප‍්‍රභා කුමාර රාජගුරු.”

 

ජනනිගෙ දූ දරුවන් ගැන කිව්වොත්?

”එක් දියණියක් සිටිනවා. ඇය ඔස්ටේ‍්‍රලියාවේ සිට උසස් අධ්‍යාපනය හදාරනවා.”

 

ඔබට ඔබ ගැන දැනෙන්නෙ හැෙඟන්නෙ කොහොම ද?

”සරල ජීවිතයක් ගත කරන, ගුරුවරියක ලෙස ඒ ප‍්‍රතිරූපය රැුකගෙන දරුවන්ට බොහෝ සමීපව කටයුතු කරන චරිතයක්.”

 

තාත්තාගෙ ගී අතරින් ජනනි වඩා කැමැති ගීතය මොකක් ද?

”තාත්තාගෙ ගීත සියල්ලක්ම වගේ තේමාවක් යටතේ ගැයූ ඒවා. ඒ නිසා ඒ ගීත ඔක්කොම අරුත්බරයි. ඒ අතරින් ළඳුනේ ගීතයට මම වඩා ප‍්‍රියයි.”

 

අමරසිරි පීරිස් ශූරීන්ගේ ගීත බොහෝදෙනාට ගැයීමට අසීරුයි. ඒ වෙනස ඔබ දකින්නෙ කොහොම ද?

”ඒක තාත්තා උපතින්ම උරුම කරගෙන ආ දෙයක්. පූර්ණ කාලීනව ගායනයේ රැුඳෙන්නට නම් නිරන්තර අභ්‍යාසවල නිරත වෙන්න වෙනවා. තාත්තා මේ ගමන ආවේ නිරන්තර අභ්‍යාස කරමින්.”

 

තාත්තා ගෙදරදී මොන වගේ චරිතයක් ද?

”තාත්තාගෙ සංගීතය වගේම හරිම නිවිච්චි චරිතයක්.”

 

ගෙදර කට්ටිය එකතු වුණාම, ගෙදරදි සාජ්ජ පවත්වන්නෙ නැද්ද?

”බොහෝ වෙලාවට මම විතරයි සංගීතය හදාරන්නේ. නංගිලා වෙනත් ක්ෂේත‍්‍රවල. එක් නැගණියක් පදිංචිය  ඕස්ටේ‍්‍රලියාවෙ. අනෙක් නංගි බැංකු කළමනාකාරවරියක්. අපි තැන් තැන්වල හිටියට හොඳ බැඳීමක් තියෙන පවුලක්. අපි ඔක්කෝගෙම ජීවිතය මේ විදියට අර්ථවත් වුණේ අම්මා තාත්තා අපට ලබාදුන් අත්තිවාරම නිසයි. කලාව ගැන ඉගෙන ගත්තට වෙලාවකට තාත්තා කැමැති වුණේ අපි වෙනත් වෘත්තීන්වල ඉහළට යනවාටයි. සමහරවිට ක්ෂේත‍්‍රයේ අහපු දැකපු දේ එක්ක එහෙම වෙන්න ඇති. තාත්තා ජීවිතයේ කවදාවත් කලබල ගමනක් ආ කෙනෙක් නෙවෙයි. හොඳ පවුල් ජීවිතයක් ගත කරන කලාකරුවෙක්. තාත්තා වගේම අපෙත් අරමුණ සමාජයේ යහපත් ගමනක් යාමයි. ගුරු වෘත්තියට මුල්තැන දෙන අතරේ ගායනයේ යෙදීම මගේ අරමුණයි.”

 

සටහන හා ඡායාරූප: සඳුන් ගමගේ

20191128Janani-3