වැඩි පිරිසකට නාට්‍ය නැරඹීමට අවස්ථාව සලසාදීමයි අපේ අරමුණ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රවීණ නාට්‍යවේදී රාජිත දිසානායක

රාජිත දිසානායක  නාට්‍ය උළෙල එළඹෙන 24, 25 හා,26 තෙදින සවස 07.00ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී

සමකාලීන සමාජය හා ජීවිත පාදක කරගෙන නාට්‍ය නිර්මාණ රැසක් මෙරට වේදිකාවට සමීප කළ ප්‍රවීණ නාට්‍ය‘වේදී රාජිත දිසානායක විසින් පවත්වන නාට්‍ය උළෙල එළඹෙන 24,25,26 තෙදින සවස 07.00ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී පැවැත්වීමට නියමිතව තිබේ.

‘සිහින හොරු අරං’, ‘හිතලා ගත්තු තීරණයක්’ හා ‘නැතුවම බැරි මිනිහෙක්’ යන නාට්‍ය මෙහිදී වේදිකාගත කෙරෙන අතර මේ ඒ පිළිබඳව රාජිත දිසානායක සමග කළ සංවාදයයි.

නාට්‍ය උළෙල ගැන මුලින්ම කතා කළොත්?

ජනවාරි 24,25 හා 26 තෙදින ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී ‘සිහින හොරු අරන්’ නාට්‍ය‘යේ නව නිෂ්පාදනයත්, ‘හිතලා ගත්තු තීරණයක්’ හා ‘නැතුවම බැරි මිනිහෙක්’ යන නාට්‍ය ත්‍රිත්වය රංගගත වෙනවා.

මෙවර නාට්‍ය උළෙලේ විශේෂත්වය වෙන්නෙ මම, නිර්මාණකරුවෙක් ලෙස ලයනල් වෙන්ඩ්ට් රඟහලේ නාට්‍ය කරන්න අරගෙන වසර 25ක් සපිරීම. මේ වසර විසි පහ තුළ මම ස්වතන්ත්‍ර නාට්‍ය 11ක් රංගගත කරලා තියෙනවා. ඒකත් නිමිත්තක් වෙනවා ජනවාරි මාසෙට මේ නාට්‍ය උළෙල පවත්වන්න.

නාට්‍ය උළෙලට එක්කරගත් ‘සිහින හොරු අරන්’ නාට්‍යය, 2004 වසරේදී තමයි මුලින්ම වේදිකාගත කළේ. වසර 12ක කාලයක් අඛණ්ඩව වේදිකාගත කර වසර හතරක විරාමයකින් පසුවයි නව නළු නිළියන් පිරිසක් සමග මෙවර නාට්‍ය උළෙල සඳහා නව නිෂ්පාදනයක් ලෙසනිර්මාණය කෙරෙන්නේ. නව කණ්ඩායම නාට්‍යයට ඉහළ රංගන සත්කාරයක් ලබාදී තිබෙනවා. නවක පිරිසක් එක්ක මේ නාට්‍යය කරන එක ලොකු අභියෝගයක්. මේ අභියෝගයට අපි සාර්ථකව මුහුණ දුන්නා.

20200122Rajitha-3නාට්‍ය උළෙල සඳහා මෙම නාට්‍ය ත්‍රිත්වය තෝරාගත්තේ කුමන පදනමකින්ද?

මේ වනවිටත් අප රංගගත කරමින් තිබෙන නාට්‍ය ද්විත්වයක් තමයි ‘හිතලා ගත්තු තීරණයක්’ හා ‘නැතුවම බැරි මිනිහෙක්’ කියන නාට්‍ය. ඒ දෙක අතරට ‘සිහින හොරු අරන්’යොදා ගත්තේ ඊට ලැබුණු ඉහළ ප්‍රේක්ෂක හා විචාරක අවධානය වගේම නාට්‍ය වසර හතරක් පුරා විරාමයක් ලබා දී තිබීම තුළ නාට්‍ය නරඹන්න ප්‍රේක්ෂකයන්ගේ කැමැත්තක් ඇති වී තිබුණු නිසා. ඒ වගේම නාට්‍ය හරහා ගලා යන ජීවිතය මේ මොහොතටත් අදාළයි කියන හැඟීම මා තුළ තිබුණා. ඒ ගැන සැලකිල්ලට අරන් තමයි එය නව නිෂ්පාදනයක් ලෙස ඉදිරිපත් කරන්නේ.

නාට්‍ය උළෙල සඳහා එක් කරන නාට්‍යවල පිටපත්හි යම් වෙනසක් සිදුකර තිබෙනවාද?

‘සිහින හොරු අරන්’ නාට්‍යයේදි පිටපතේ කිසිදු වෙනස්කමක් නොකර තමයි මෙවර නව නිෂ්පාදනය සඳහා යොදා ගත්තේ. එම නාට්‍යයට පාදක වූ කාරණා ඒ නාට්‍ය හරහා මතුවන ජීවිතය හා සමාජය සම්බන්ධ අර්ථ පෙරටත් වඩා මේ මොහොතට අදාළයි, වලංගුයි. නිර්මාණකරුවෙක් ලෙස කරන ලද නාට්‍ය, නිර්මාණය කරන ලද මොහොතේදී ඒ සමාජයට අමතන්න සමත් වෙනවා වගේම අවුරුදු 10කට හෝ 20කට පසුවත් ඒ රංගනය රසිකයාට වින්දනාත්මක සිතීමක් ඇති කරන්න සමත් වෙනවා නම් එය ඉතාම විශිෂ්ට, ඉතාමත් වැදගත්. මම හිතන්නෙ මේ නාට්‍යය මේ මොහොතේ ලාංකික ප්‍රේක්ෂකයින්ට තවදුරටත් අර්ථ සපයන්න විනෝදාත්මක සිතීමක් ඇති කරන්න සමත් වෙයි. ඒ වගේම නාට්‍ය නරඹන රසිකයන්ගෙ ප්‍රතිචාර දැනගන්නත් මම බොහොම කැමැත්තෙන් ඉන්නවා.

‘හිතලා ගත්ත තීරණයක්’ තුළින් සමකාලීන සමාජය, ජීවිතය වගේම ආදර සබඳතාවලදී මිනිසුන් ගනු ලබන තීරණ නිසා ඇතිවන තත්ත්වයන් සම්බන්ධව දිග හැරෙනවා.

‘නැතුව බැරි මිනිහෙක්’ මම මෙතෙක් නිර්මාණය කළ නාට්‍ය අතුරින් ඉහළ ප්‍රතිචාරයක් ලැබුවා. වසර හතරකට වැඩි කාලයක් පුරා නාට්‍ය දර්ශන 150කට අධිකව වේදිකාගත කරන්නත් හැකිවෙලා තිබෙනවා. මිනිස් සබඳතා වගේම සමකාලීන දේශපාලනික තත්ත්වයන් පිළිබඳවත් ඒ නාට්‍ය හරහා විවරණය වෙනවා. විශේෂයෙන් ජාතිය, ආගම කියන සාධක බලය සමග අවස්ථාවාදී ලෙස ලංකාවේ සමාජය ගොතා ගන්නා ආකාරය පිළිබඳව විග්‍රහ කෙරෙනවා.

මෙවැනි තත්ත්වයන් තුළ ගොඩනැගුණු පාලන තන්ත්‍රයන් එක්ක සම්බන්ධකම් තිබෙන පුද්ගලයෙකු හරහා අපේ වටපිටාව පිළිබඳව, මේ මොහොත පිළිබඳව, මනුෂ්‍ය සම්බන්ධතාවලට අත්වන ඉරණම, මේ නාට්‍ය තුළින් අවධානය යොමු කරනවා.

 

එය කිසියම් ලෙසකට වත්මන් ප්‍රේක්ෂකයන්ට, රසිකයන්ට, එම නාට්‍යයන් එක්ක විශේෂයෙන් අදාළත්වයක්, සම්බන්ධයක්, සමීප බවක් ඇති වුණා. මේ නිසයි මෙවර නාට්‍ය උළෙලටත් මේ නාට්‍ය ඇතුළත් කළේ.

මේ නාට්‍ය ත්‍රිත්වයට ධර්මප්‍රිය ඩයස්, ශ්‍යාම් ප්‍රනාන්දු, සමාධි ලක්සිරි, බිම්සරා ප්‍රේමරත්න, අනුරාධ මල්ලවආරච්චි, නදීශානි පේලිආරච්චි, නලින් ලුසේනා, කසුන් චතුරංග, ඉෂාර වික්‍රමසිංහ, චරින්ද්‍ර චන්ද්‍රසේන, කසුනි ගනේවත්ත ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා. සංගීත නිර්මාණය කපිල පූගලආරච්චි, වේදිකා පසුතල නිර්මාණය අනුරාධ මල්ලවආරච්චි, ඇඳුම් නිර්මාණය නලින් ලුසේනා සමග සමදරා මුබුළුගේ, අංග රචනය ප්‍රියන්ත දිසානායක, රංගාලෝකය රංග සමරකෝන් සමග අනුරාධ මල්ලවආරච්චි, වේදිකා පරිපාලනය විජිත් නුවන් සමග ලෙනින් ලියනගේ දායක වී තිබෙනවා.

මෙවැනි නාට්‍ය ත්‍රිත්වයක් එක පෙළට නරඹන්න ලැබීම රසිකයන් විශේෂ කොට සලකනවා. මෙවැනි උළෙලක් හරහා නාට්‍ය නරඹන ප්‍රේක්ෂකයටන්ට පහසුකම් සැලසීමටත් අපට අවස්ථාවක් සැලසී තිබෙනවා. ඒ අනුව නාට්‍ය උළෙලේ දින දෙකක් සඳහා ප්‍ර‘වේශපත් මිලදී ගන්නා ප්‍රේක්ෂකයන්ට තෙවැනි දිනයේ ප්‍ර‘වේශපත නොමිලේ ලබාදෙන ක්‍රමයක් සකසා තිබෙනවා.  ඒ වගේම විශ්වවිද්‍යාල සිසුන්ට සහන මිලකට ප්‍ර‘වේශපත්‍ර ලබාදීමටත් කටයුතු ගෙන තිබෙනවා. මේ හරහා වැඩි පිරිසකට නාට්‍ය නැරඹීමට සලසාදීමයි අපේ අරමුණ වෙන්නේ

20200122Rajitha-4

වසර විසි පහක් තිස්සේ නාට්‍ය උළෙල පවත්වමින් නාට්‍ය කරන්නෙක් ලෙස ඔබේ අනන්‍යතාව රඳවාගෙන ඉන්නේ කොහොමද?

ඒක ඇත්තටම විශේෂයි. මම ගෙවුණු වසර විසි පහ තුළ අඛණ්ඩව නාට්‍ය නිර්මාණයේ නියැලුණා. ඒ වගේම ලයනල් වෙන්ඩ්ට් රඟහල තුළ මම පවත්වන අටවැනි නාට්‍ය උළෙල මෙයයි.

අපේ නාට්‍ය බලන්න ප්‍රේක්ෂකයන් ඒකරාශීවීම නිසා තමයි වසර විසි පහක් තිස්සේ මට නාට්‍ය පෙන්වන්න හැකියාව ලැබුණේ. මාත් එක්ක නාට්‍ය සඳහා එක්වෙලා ඉන්නේ ඒ වෙනුවෙන් කැමැත්තක් දක්වන කැපවුණු හා අධ්‍යයනය කරන පිරිසක්. ඔවුන්ගේ ඒකරාශීවීම සහ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ කාර්ය මණ්ඩලයෙන් අපේ කටයුතුවලට උදව්වෙන්න දායක වුණු පිරිසේ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස තමයි මෙලෙස වසර විසි පහක් තිස්සේ අඛණ්ඩව නාට්‍යකරණයේ නිරතවෙන්න හැකිවුණේ.

ඒ වගේම මාධ්‍ය තුළින් නාට්‍ය කලාව සඳහා විශාල ප්‍රචාරණයක් නොලැබුණත් මාධ්‍ය ආයතනවල සිටින නාට්‍ය කලාවට ඇල්මක් දක්වන පිරිස් දක්වන සහයෝගය හා ලබාදෙන ඉඩකඩ අවස්ථාව මට නාට්‍ය කලාවේ අඛණ්ඩව නිරතවෙන්න නාට්‍ය රසිකයන්ට සමීපකරවන්න විශාල හේතුවක් වුණා. ඒ හැමෝම මේ මොහොතේදී කෘතවේදීව සිහිපත් කළ යුතුයි.

ඔබ වසර විසි පහක් ලයනල් වෙන්ඩ්ට් තුළ නාට්‍ය වේදිකාගත කළත් සමහර නාට්‍ය නිර්මාණකරුවන්ට එක් දර්ශනවාරයකටවත් එම රඟහල වෙන්කරගැනීමට නොහැකි බවට මැසිවිලි නැගෙනවා නේද?

මීට වසර විසි පහකට පෙර 1995දී ‘සක්වා දාවල’ නාට්‍ය ලයනල් වෙන්ඩ්ට්හිදී වේදිකාගත කරන සමයේදී අපේ රටේ සීමිත නාට්‍යකරුවන් පිරිසකගේ නාට්‍ය තමයි වේදිකාගත කර තිබුණේ. නමුත් මේ වසර 25ක් තුළ එය සැලකිය යුතු වෙනසකට ලක්වෙලා තිබෙනවා. මීට දින කිහිපයකට පෙර නව නාට්‍යකරුවෙකුගේ පළමු නාට්‍ය නිර්මාණයත්, මංගල දර්ශනයත් ලයනල් වෙන්ඩ්ට් හි වේදිකාගත කළා. නාට්‍ය‘යේ ප්‍රමිතිය පිළිබඳව විමසා බැලීමක් කරලා තමයි ඔවුන් එම ශාලාවේ වේදිකාගත කිරීමට අවසරය ලබාදෙන්නේ.

ඉතා හොඳ නිර්මාණ කරන්න උත්සාහ කරන නාට්‍යකරුවන්ට ලයනල් වෙන්ඩ්ට් රඟහලෙන් ලොකු අනුග්‍රහයක් හා සහයෝගයක් ලැබෙනවා. පසුගිය කාලය පුරාවට සිංහල නාට්‍යකරුවාට සැලකිය යුතු ඉඩක් වෙන්වෙලා තිබෙනවා. ඒ වගේම සිංහල නාට්‍ය බලන්න හොඳ ප්‍රේක්ෂකාගාරයකුත් මේවනවිට හුරුපුරුදු වෙලා තිබෙනවා.

 

ඔබ මීළඟ නාට්‍ය නිර්මාණය සම්බන්ධව තත්ත්වය කෙසේද?

ලබන වසරේ අලුත් නාට්‍යයක් කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා වගේම ඒ වෙනුවෙන් පිටපතක් රචනා කර තිබෙනවා. මේ වසරේ මැද භාගයේ අලුත් නාට්‍යයක කටයුතු අරඹන්න සූදානමින් සිටිනවා.

0773502700

 

නිරෝෂන් ප්‍රේමරත්න

20200122Rajitha-1 20200122Rajitha-2 20200122Rajitha-5