සුනිල් ආර්. ගමගේ ලියූ ගී පද ප‍්‍රියන්ත වීරසිංහගේ හඬින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නුඹේ සුවඳ විඳ විඳ සිත

විඳවන අරුමය අපමණ

නොදැනී නුඹෙ නපුරු සිතට

 මේ සොඳුරු රිදුම මට පමණ ද

 

හොර රහසෙම හිත තනියෙම

නුඹ නොදැනම පිළිසිඳි පෙම

නුඹට කියාගන්න බැරිව

ලතැවුණු කාලය සේ

මේ සොඳුරු රිදුම මට පමණ ද

 

ඇස පුරාම විඳි සෙනෙහස

සිතට දුන්නු බරක මහිම

අත් හැර යනු නොහැකි දිනක

ගිලිහුණු ආදරයේ

මේ සොඳුරු රිදුම මට පමණ ද

 

20200123Song-1

මතක අමතක වන්නේ නැත. හිත පතුළේ කිඳා බැස යටපත්ව තිබෙන මතක උන්හිටි ගමන් අහම්බෙන් මතකයේ මුදුනටම එයි. අතීතයේ දවසක හිත කම්පාවට පත් කළ ඒ සිදුවීම්, මතකයේ ඉස්මතු වන්නේ සොඳුරු රිදුම් ලෙසය.

මතක යළි මතක් වන්නට බොහෝ විට බලපාන්නේ පරිසරයයි. කලක් දුරස් වී සිටි පරිසරයකට යළි පිවිසෙන විට හිතට මතක සටහන් එබෙන්නට පටන් ගනී.

කඳුකර මාවත වංගු හැගෙන්නේ දැවැන්ත නාගරාජයකු සේය. කලකින් වැස්සක් වැටී නොතිබුණෙන් පාර දෙපස වූ තණකොළ වියැලී ගොසිනි. කඳු මුදුන් වලත් පාර දෙපසත් වූ ගස් කොලන් වල ද දැඩි ප‍්‍රබෝධයක් නොවීය.

”මල්ලී චුට්ටක් අයිනකට කරල නවත්තන්න පුළුවන් ද?”

ගීත රචක සුනිල් ආර්. ගමගේ රියැදුරු අසුනේ සිටි ප‍්‍රියන්ත වීරසිංහට පැවසුවේය.

තවත් වංගුවකට ඔබ්බෙන් වූ ඉඩකඩ ඇති තැනක, ගහක් යට රිය නතර කළ ප‍්‍රියන්ත, රියෙන් බැස්සේය. සුනිල් අනෙක් පැත්තෙන් බැස අර විසල් ගසේ කඳට හේත්තු විය. කමිස සාක්කුවෙන් ගත් පෑන, සටහන් පොතක අකුරු ලියමින් දිවෙන හැටි ප‍්‍රියන්ත බලා සිටියේය.

අනතුරුව පෑන ආපසු සාක්කුවට ඔබා ගත් සුනිල් ප‍්‍රියන්තට සිනාවක් පෑවේය.

”අයියෙ අපි තේකක් බොමු ද?”

”බොන්න තිබුණා නම් හොඳයි. මේ කිට්ටුව මගෙ යාලූවෙකුත් හිටියා. ඒත් ගෙදර කොතැන ද කියල මතක නෑ. එයා ඉගැන්නුවෙ ඔය තියෙන ඉස්කෝලෙ.

 ”කාර් එකේ තේ බෝතලයක් තියෙනවා.”

ප‍්‍රියන්ත, කාරයේ ඩිකිය ඇර ලොකු උණුසුම් බෝතලයක් එළියට ගත්තේය. හැලප පාර්සලයක් දිගහැර හැලප දෙකක් ගෙන එකක් සුනිල්ට දිගු කළ ඔහු අනෙක හපන්නට පටන් ගත්තේය.

 ”මේ පරිසරය, සිංදු මතක් කරනව නේද?”

ප‍්‍රියන්ත ඇසුවේය.

 ”සිංදු විතරක් නෙමේ මල්ලී” පරණ කතන්දරත් මතක් කරනවා. මීට අවුරුදු දහයකට විතර කලින් දවසක මම මේ ස්කෝලෙ තිබුණු සාහිත්‍ය උත්සවේකට ආවා. මට ආරාධනා කළේ සිංහල උගන්වන සර්. එදා මට රාත‍්‍රී නවාතැන් දුන්නෙත් ඒ සර්. සර්ගෙ ගෙදර. ඒ ගෙදර ඉන්නෙත් සර් විතරයි.  බැඳලා හිටියේ නෑ. ඉතින් එදා ? වරුවක් ගෙවනකම් එයා මට එයාගෙ ආදර කතාව කිව්වා. මේ පරිසරය දැක්කාම මට එකපාරටම මතක් වුණේ ඒ කතාව.

කෝප්පයකට තේ වත්කළ ප‍්‍රියන්ත එය සුනිල්ට දුන්නේය.

”ගෙදර මතක නම් අපි ගිහින් එමු.”

”නෑ.... මට දැන් ගෙදර මතක නෑ. මතක තියෙන්නෙ ඒ ගුරුවරයාගෙ ආදර කතාව විතරයි. එයා මට ඒ කතාව කිව්වෙ. සිංදුවක් ලියන්න අත්දැකීමක් කියලා. ඒත් මල්ලිට කියන්න ඒ සිංදුව ලියැවෙන්නෙ දැන් මම චුට්ටකට ඉස්සර වෙලා ලිව්වෙ. ඒ සිංදුවෙ වචන ටිකක්”

 සුනිල් සිනාසෙමින් කීවේය.

”අමුතුම ආදර කතාවක් ද”

ප‍්‍රියන්ත ඇසුවේය.

 ”අමුත්තකුත් නෑ. කොයි ආදරෙත් අහඹු ලෙසනෙ උපදින්නෙ. දකිනවා. ආදරේ හිතෙනවා. ඒ ආදරේ තියාගන්න වෙහෙසනවා. දිනාගන්න වෙහෙසනවා. සමහරු දිනාගන්නවා. සමහරුන්ට දිනාගන්න බැරි වෙනවා. දෙන්නගෙන් එක්කෙනෙක් වෙන කෙනෙක් බඳිනවා. අනිත් එක්කෙනා තනිවෙනවා.’

 සුනිල් යළි සිනාසුනේය.

 ”හැබැයි මල්ලී, අර ගුරුවරයා ආදරේ කරල තියෙන්නෙ එයාගෙ සිසුවියකට. ඒ සර්. උසස් පෙළ විභාගෙ ඉවර වෙලා අවුරුදු හතරකට විතර පස්සෙ පත්වීම අරගෙන උගන්නන්න ගිහින් තියෙන්නේ උසස් පෙළ පන්තියට. එතකොට උසස් පෙළ ඉගෙන ගන්න ළමයින්ගෙයි උගන්නන ගුරුවරයාගෙයි වයස පරතරය අවුරුදු පහකට වැඩියෙ නැහැනේ. ඒ නිසා තමන්ගේ ගෝලයෙක් ගැන ගුරුවරයාගේ හිතේ ආදර හැඟීමක් උපදින්න පුළුවන්. ඒත් ප‍්‍රශ්නෙ තියෙන්නේ. ඒ ආදරේ කියාගන්න බැරිකම. ගුරුවරයෙක් කොහොමද සිසුවියකට පේ‍්‍රමය ප‍්‍රකාශ කරන්නෙ. ඒ නිසා ඒ ආදරේ හිතේම හංගගෙන ඉන්න  ඕනැ.

 ඒත් ඒක මහ වදයක්. හිතේ හංගාගෙන හිටියත් ඇස්වලින්, හැඟීම් වලින් ආදරේ හංගන්න බෑ. කැස්සයි ආලයයි සඟවන්න බැහැ කියනවනේ. ඒ නිසා මේ ගෝලයව දකිනකොට අර ගුරුවරයාගේ හිතේ තියෙන ආදරේ ඇස්වලින් එළියට පනිනවා.

 එතකොට වුණේ. අර ගෑනු ළමයගෙ යාලූවො. විහිලූ කරන්න පටන් ගන්න එක. ඊට පස්සෙ ඔය විහිලූව මුළු ස්කෝලෙටම පැතිරෙනවා.

 දවසක් ප‍්‍රින්සිපල් මේ අලූත් සර්ට කතා කරනවා.

 එයා යන්නෙ චකිතයෙන් එයාට ඉවෙන් වගේ තේරෙනවා ප‍්‍රින්සිපල් සර් එන්න කියපු කාරනාව.

”වාඩිවෙන්න”

ප‍්‍රින්සිපල් කියද්දී ගුරුවරයා ප‍්‍රින්සිපල් දිහා බලාන ඉන්නවා.

”ඔයා ගුරුවරයෙක්. එහෙම නේද?”

ප‍්‍රින්සිපල් අහන්නේ තරවටු හඬකින්.

”ඔව් සර්”

”මම දුරදිග නොහිත වැරැුද්දක් කරල තියෙනවා. ඒත් ඒ වැරැුද්ද කළේ උසස් පෙළට ගැලපෙන වෙන ගුරුවරයෙක් නැති නිසා. ඒත් එහෙම කළ පමණින් ඔය සර්, පන්තියෙ ඉගෙනගන්න ළමයෙකුට ආදරය කිරීම හරි දෙයක් නෙවෙයි.”

”මම ඒ ළමයාට ආදරෙයි කියල නැහැ සර්. ඔය ඔක්කොම එයාගෙ යාලූවො එයාට විහිලූවට කියන එව්වා.”

”ඒ වුණාට සර්, ඒ ළමයා මට ඇවිත් කිව්වා ඔය සර් එහා දිහා බලා ඉන්න කොට ළමයින්ට වැඬේ තේරිලා. දැන් ඒ ළමයට මුළු ස්කෝලෙම විහිලූ කරනවා කියලා දන් නැද්ද මේවා ගම්නෙ. ගම්වල ගෑනු මිනිස්සුන්ට  ඕවගෙ චුට්ටක් ඇති පදයක් හදන්න.”

”සොරි සර්”

අර ගුරුවරයා කියලා තියෙන්නෙ ඇස් දෙකේ කඳුළු පිරෙද්දී.

”මම ඔය සර්ට දොස් කියන්නෙ නැහැ. ආදරේ කියන්නේ මානුෂික හැඟීම්. ඒත්. ප‍්‍රශ්නෙ ඔයා ගුරුවරයෙක් වීම. ගුරුවරයා කියන්නේ ළමයින්ට ආදර්ශයක් දිය යුතු උත්තම පුරුෂයෙක්.”

”ඔව් සර්. මම දන්නවා. මම මගෙ හිත හංගගෙන හිටියෙත් ඒකයි. ඒත් මට ඒ ළමයා දැක්කාම ඒ ලස්සන මූණ දිහා නොබලා ඉන්න බැරිවුණා.”

”දැන් මොකක්ද මේකට කරන්නෙ අපි”

”සර් මට වෙන ස්කෝලෙකට මාරු වීමක් හදල දෙන්න. එතකොට අර ළමයාව මට පේන්නෙ නැහැනේ.”

ඊට පස්සෙ තමයි අර සර් මේ ස්කෝලෙට ඇවිත් තියෙන්නේ. කොහොම හරි ඒ සර්ට ඊට පස්සේ දැකපු කිසිම ගෑනු ළමයෙක් ගැන ආදරයක් උපද්ද ගන්න බැරිවෙලා. එයා කියන්නෙ ආදරයක් උපදින්නෙ එක පාරයි කියලා. මං හිතන්නෙ ඒ සර් තවමත් බඳින්න නැතුව ඇති.

හිස් කෝප්පය ආපහු ප‍්‍රියන්ත අත තැබූ සුනිල් යළිත් හිනැහුණේය.

”දැන් සුනිල් අයියා ලියපු සිංදුව මොකක්ද?”

ප‍්‍රියන්ත ඇසුවේය.

”තාම මුල ටික විතරයි ලිව්වේ ඉතිරි ටික හෙමින් ලියනවා.”

සුනිල් සටහන් පොත ප‍්‍රියන්තට දිගු කරමින් කීවේය.

 නුඹේ සුවඳ විඳ විඳ හිත

විඳවන අරුමය අපමණ

නොදැනී නුඹෙ නපුරු සිතට

 මේ සොඳුරු රිදුම මට පමණ ද?

 

යළි රියට නැගුණු ඔවුහු හමන පටන්ගත්හ.

 රිය ගමනාන්තයට බණ්ඩාරවෙලට යනතුරුම සුනිල්වත් ප‍්‍රියන්තවත් කතා කළේ නැත.

”සුනිල් අයියා ඔය සිංදුව ලියලා මට දෙන්න බැරි ද? මමත් කාලෙකින් සිංදුවක් කිව්වේ නැහැනේ.”

ප‍්‍රියන්ත කීවේ සුනිල් රියෙන් බසින මොහොතේදීය.

”දෙන්නම් මල්ලී. සතියකින් විතර කෝල් එකක් දෙන්නකෝ”

සොඳුරු රිදුම, ප‍්‍රියන්ත වීරසිංහට ලැබෙන්නේ එපරිද්දෙනි.

 සංගීතය පිළිබඳ විධිමත් හැදෑරීමක් නොවුව ද ගුණදාස කපුගේ, එච්.එම්. ජයවර්ධන වැනි ප‍්‍රවීණ සංගීතඥයන්ගෙන් ඇසුර නිසා තනු සහ සංගීත සංයෝජනය ගැන දැනුමක් ලැබූ ප‍්‍රියන්ත සොදුරු රිදුමේ සංගීතය ඔහුම නිර්මාණය කර ගත්තේය. ඉඳුවර මල් කැසට් පටය, මීදුම් සෙවනැලි ටෙලිනාට්‍යයේ තේමා ගීතය ඇතුළුව ගීත විස්සක් පමණ ගයා ඇති ප‍්‍රියන්ත, සොඳුරු රිදුම සිංහල සුබාවිත ගී ලොවට තිළිණ කරන්නේ වසර කිහිපයක නිහැඩියාවකට පසුව වීම ද විශේෂත්වයකි.

හැබැයි, ඒ සොඳුරු රිදුම ඔහුට පමණක් නොව අප හැමෝටමය.

 

ශාන්ත කුමාර විතාන