දස වසක ගමන ගැන ආඩම්බරයි...සතුටුයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සීතල පිනිමත මල්පෙති විසිරෙන

දවස උදාවක සතුට උදාවේ

ලවන් සිනාමල් හද ගැබ රන්දා

අප හමුවන්නේ පෙරුම් පුරා

 

20200123Edwerd-1

දුරාතීතයේ දවසකි

එඞ්වඞ් ජයකොඩි විශිෂ්ඨ ශ්‍රේණියේ සරල ගී ශිල්පියකු ලෙස ගුවන් විදුලියෙන් ශ්‍රේණිගත වූ පසුව ලැබුණු පළමු සරල ගීත වැඩ සටහනට ගැයූ ගීත අතර මේ යුග ගීතයද විය. එවකට ගුවන් විදුලියේ සහන නිවේදිකාවකද ගායන ශිල්පිනියකද වූ නිරංජලා සරෝජිනී එඞ්වඞ්ට ගායනයෙන් සහාය වූ ඒ ගීතය එක රැුයකින් ජනප‍්‍රියත්වයට පත්විය. අදටත් ඒ ජනප‍්‍රියත්වය එලෙසින්ම රැුක ගන්නට මේ ගීතය සමත්ව තිබේ. ඉනික්බිතිවත් එඞ්වඞ් ජයකොඩි බොහෝ යුග ගීත ගැයුවේය.

මං හිතන්නෙ විවිධ ශිල්පිනියන් සමග යුග ගී වැඩිම ගණනක් ගායනා කරල තියෙන්නේ මම. එඞ්වඞ් කියන්නේ ආඩම්බරයෙනි. සිසිර ඉන්ද්‍රානි ධර්මදාස ලතා ජෝති ඇන්ජි සනත් මල් කාන්ති දයාරත්න අමරා අබේ නිරංජලා කපුගේ මාලිනී ආදී වශයෙන් යුග ගී වලට නම් වැටෙද්දී එඞ්වඞ් චරිතා ලෙස හංවඩු නොගැසී විවිධ ශිල්පිනියන් සමග එඞ්වඞ් යුග ගී ගයා තිබේ.

‘‘ඒ අතරෙ ඉන්නවා කෝකිල දේවී වීරතුංග, ලතා වල්පොල, පුන්‍යා කත‍්‍රිආරච්චි, ජී.එස්.බී. රාණි පෙරේරා, නන්දා මාලිනී, චන්ද්‍රාණි ගුණවර්ධන, නිර්මලා රණතුංග, මාලනී බුලත්සිංහල, නන්දා පතිරණ, උරේෂා රවිහාරි, ධම්මිකා බණ්ඩාර, යමුනා විනෝදනී, සංජීවනී වීරසිංහ, නිරෝෂා විරාජිනී, ප‍්‍රදීපා ධර්මදාස වගේම වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, රවීන්ද්‍ර රන්දෙනිය ආදීනුත් 10 මෙදා මාරම්බරියේ වෙනසක් කරමින් මේ යුග ගී ගයන්නට එඞ්වඞ් තීරණය කර තිබේ.

තව අලූත් අයත් ඉන්නවා

‘‘මේ දසවර්ෂ පූර්ණ මාරම්බරී ප‍්‍රසංගයට වෙනසක් ගෙන දෙන්න මට අවශ්‍ය වුණා. අන්න ඒ නිසා මම ශිල්පිනියන් කිහිප දෙනෙකුටම ආරාධනා කළා මා සමග යුග ගී ගයන්න. එදා නතාශා පෙරේරා පුංචි කාලේ සුළඟක් වී මං එනවා කිව්වා. අද ඒ ළමයා ලොකු මහත් වෙලා ඒත් මේ ප‍්‍රසංගයේදී සුළඟක් වී ගායනා කරන්න නතාශා මාත් එක්ක එකතු වෙනවා.’’

නමුත් මාරම්බරී කියන්නේ කිසියම් පෙළගැස්මක් තියන ප‍්‍රසංගයක්. මේ විදිහට යුග ගී ගොඩක් එකතු කිරීම ගැන රම්බරී තරහවෙන එකක් නැද්ද?

මම එඞ්වඞ්ගෙන් අසමි.

‘‘අපෝ නෑ. මුල් අඩ යන්නෙ පුරුදු විදිහටම මාරම්බරී එක්ක. දෙවැනි අර්ධයට විතරයි යුග ගී ගොඩාක් ගයන්නෙ. ඒ නිසා රම් බරියට තරහවෙන්න වුවමනාවක් නැහැ.

එතකොට චරිතා?

මා ඇසුවේ දෙගිඩියාවෙනි.

‘‘චරිතා සිංදුවක් තියනව.

ඒ නිසා වෙනින් ශිල්පිනියන් එක්ක යුග ගී ගොඩක් ගැයුවා කියලා චරිතා තරහ වෙන්නෙ නැහැ. එයා තමයි හැමදාමත් මං ප‍්‍රසංගයක් කරද්දී සංවිධාන කටයුතු කරට ගන්නේ. මං කරන්නේ ඇවිත් සිංදු කියන එක විතරයි.’’

මාරම්බරියට දසවසකි. ඒ ඒක පුද්ගල ප‍්‍රසංගයක් එතරම් කලක් දර්ශනවාර සියයද ඉක්මවා වේදිකාගත කරන්නට ලැබීම සුළුපටු කටයුත්තක් නොවේ.

 පැමිණි ගමන ගැන මොකද හිතන්නේ?

මම එඞ්වඞ්ගෙන් අසමි.

මම එකපාරට ඒක පුද්ගල ප‍්‍රසංගයක් තිබ්බේ නැහැ. ඉස්සර අමරදේව සර්ලා සනත් සර්ලා වික්ටර් මහත්තයලා ඒක පුද්ගල ගී ප‍්‍රසංග කරන කොට මම පුදුම ආසාවකින් ඒ දිහා බලාගෙන ඉන්නවා. මටත් කවදාහරි දවසක ඔයවගේ ගීතයක් ගයන්න පුළුවන්නම් කියලා හිතනවා.

ඊට කලෙකට පස්සෙ මට අවස්ථාව ලැබෙනවා අමදේව සර්ගෙ ශ‍්‍රවන රමණී අත්වැල් ගායනා කරන්න. වික්ටර් රත්නායකයන්ගේ ‘ස’ ප‍්‍රසංගයෙ අත්වැල් ගායනා කරන්න. මේ නිසා එකම ප‍්‍රසංගය දහස් වතාවකට වැඩියේ නරඹන්න ලැබිලා තියෙනවා. ඒවා මරු පාඩම්. ඔය ප‍්‍රායෝගික පාඩම් එක්කයි මාරම්බරී ප‍්‍රසංගය සැලසුම් වෙන්නෙ. දසවසරකට කලින් මාරම්බරී පටන් ගන්නකොට මම ක්‍ෂේත‍්‍රයට ඇවිත් අවුරුදු තිස් අටක් ඉවරයි. ගීතත් දෙතුන් සීයක් තිබ්බා. ඒ අතුරින් පරිස්සමට තෝරා බේරාගත්තු ගීත ටිකක් තමයි ප‍්‍රසංගයේදි කිව්වේ. ඒ ගී අතරේ බුදුගුණ ගී, පෙම් ගී, දේශභිමානී, මව්ගුණ, පිය ගුණ, සරල ගී, චිත‍්‍රපට ගී, ටෙලිනාට්‍ය ගී, ශාස්තී‍්‍රය ගී, යුග ගී වගේ විවිධ කුලකවලට අයත් ගීත මං ගයනා කරනවා. ඒ විදිහට දස වසක් පුරා එකම ප‍්‍රසංගයක් පවත්වන්න මට ලැබුණේ බොහෝ දෙනෙකුගේ සහයෝගය නිසා. රසික ආදරය නිසා. මාධ්‍ය අනුග‍්‍රහය නිසා. ඒ බවත් කියන්නම  ඕනෑ.

එතකොට මාරම්බරී වරින්වර සංගීතවත් කළේ රෝහණ වීරසිංහ සහ සුසිල් අමරසිංහ. කථනයෙන් හැඩ කළේ වසන්ත රෝහණ වෛද්‍ය සමිත ප‍්‍රසන්න ආරච්චි. ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ ආදීන්වත් මේ දසවර්ෂ පූර්ණය අවස්ථාවේ ආදරයෙන් මතක් කරනවා.

‘‘එඞ්වඞ් ජයකොඩි ආදරණීය ස්වරයෙන් කියාගෙන යයි.

ඔය නම් දානකොට ඔක්කොම නම් දාන්න. එකක් හරි හැලූනොත් හිත් රිද්දගනියි.’’

එඞ්වඞ්ගෙන් ආයාචනයකි.

 හරි හරි.

මම කියමි.

එහෙත් එක නමක් හෝ හැලී ඇත්නම් එහි වරද මගේ බවද කණගාටුවෙන් ලියා තබමි.

මාරම්බරී දසවර්ෂ පූර්ණ යුග ගී දැහැන මෙම 31 දා රාත‍්‍රී 6.30ට කොළඹ බී.එම්.අයි.සී.එච්. රංග ශාලාවේදී ප‍්‍රසංග ගත වන්නේ ඔබේම සතුට පතාය. 

 

ඡායාරූප: සඳුන් ගමගේ

ශාන්ත කුමාර විතාන

20200123Edwerd-2