‘සුනාමියේ’ රඟපාද්දි වතුර පෙවුණා වතුරේ ගිලූණා තුවාල වුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200212Darshana-(4)තව කෙනකුගේ චරිතයකට ආරූඪ වී තමුන්ගේ සැබෑ චරිතය මොහොතකට අමතක කර දමා, රංගනයේ යෙදෙන තවත් අපූරු නළුවකු හැටියට දර්ශන් ධර්මරාජ් ශිල්පියාව හඳුන්වන්න පුළුවනි. අශෝක හඳගමගේ නිර්මාණය කළ ‘ඉනියවන්’ සමග සිනමා ක්ෂේත‍්‍රයේ දිගු ගමනකට අවස්ථාව සලසාගත් දර්ශන් ධර්මරාජ් ඊට පෙර සිඞ්නි චන්ද්‍රසේකරගෙ ‘ඒ-9’ ටෙලිවෘතාන්තය හරහා රංගනයට පිවිසියේය. ඉනික්බිතිව ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් කරමින් රංගන ක්ෂේත‍්‍රයේ ගමනක් යමින් සිටින දර්ශන් මේ දිනවල අපට හමුවන්නේ ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ ‘සුනාමි’ චිත‍්‍රපටයේ ‘මයිකල්’ ලෙසය. දර්ශන් එහි මයිකල් වී අපූරු රංගනයක යෙදෙන අතරේ සඳැල්ල පිළිසඳරකට එක්වුණේ මෙලෙසිනි.

 

දර්ශන් අද ඔබ වෘත්තීය රංගන ශිල්පියෙක් ද?

”ඔව්.”

 

වෘත්තීය රංගන ශිල්පියකු වීම දක්වා ආ ඒ ගමන ගැන සඳහනක් කළොත්?

”වෘත්තීය තත්ත්වයට ඒමට පෙර මුල් කාලයේදී තවත් රැුකියා කිහිපයක් කළා. මොකද අපේ කර්මාන්තය එච්චර ලොකු නැහැනේ. ඒ විදියට එද්දි අශෝක හඳගම මහතාගේ ‘ඉනියවන්’ චිත‍්‍රපටය මාව වෙනස්ම තැනකට රැුගෙන ගියා.”

 

දර්ශන් ඉගෙන ගත්තේ?

”සා/පෙළ දක්වා ගියේ රක්වානේ ශාන්ත ජෝන් දමිළ මහා විද්‍යාලයට.”

 

මොන වගේ අරමුණක් ද තිබුණෙ?

”චිත‍්‍ර ශිල්පියකු වීමට ආසා කළා. මොකද මම ඒ විෂයයට දක්ෂයි.”

 

එතකොට රඟපෑම?

”පොඩි කාලයේ ඉඳලාම රඟපෑමට හරිම ආසයි. ඒ කාලයේ දමිළ චිත‍්‍රපට නැරැුඹුවා. සිවාජි ලිංගම්, කමල්හසන් මගේ වීරයින්. ඒ ආසාවත් එක්ක ආපු ගමනක් මේක.”

 

උපන්නෙත් රක්වානෙදී ද?

”රක්වානෙදී.”

 

කොළඹට ආවෙ?

”96 විතර වෙද්දි ආර්ථික ප‍්‍රශ්න ආවා. ඉතින් ජොබ් එකක් කරන්න කොළඹ එන්න හිතුවා. ඒ දිනවල අපේ නංගි අසනීප වෙලා හිටියෙ. එයාට බෙහෙත් ගන්න එහෙම උදව් කරන්න  ඕනෑ වුණා. ඉතින් මම කොළඹ ඇවිත්, බාප්පාගෙ ජුවලරි ෂොප් එකේ වැඩ කළා. ඒ අතරෙදි නත්තල සමරන්න මම යාළුවෝ කට්ටියක් එක්ක ගිහින් සිටියදී ‘ඒ-9’ නාට්‍යයට යන්න කියන අවස්ථාවට යොමු වුණා. ඒකට 108 දෙනෙක් සම්මුඛ පරීක්ෂණයට පැමිණ සිටියා. මම අන්තිමයා. ඒ කියන්නෙ 108 වැනියා. අන්තිමට තේරුණෙ මමයි.”

 

කොළඹ ඇවිත් එදා ගත්ත මුල්ම වැටුප මතක ද?

”රුපියල් 500යි. ඊට වඩා මට මගේ ආරක්ෂාව ගැන බාප්පලා බලාගත්තා. මොකද ඒ වනවිට රටේ ජාතිවාදී ප‍්‍රශ්න සහ යුද්ධය තිබුණ නිසා.”

 

නළුවකු වෙන්න කියලා දර්ශන්ට කවුද කිව්වෙ?

”පාසල් සමයේදි මම නාට්‍ය දෙකක් කරලා තිබුණෙ. එක්තරා අවස්ථාවක අපේ ප‍්‍රින්සිපල් පාසලේ පැවැත්වූ කතාවකදී ‘දැන් අපට හොඳ නළුවකු ඉන්නවා’ කියලා මාව වර්ණනා කරලා තිබුණා. ‘එයා කවදා හරි රටේ හොඳ නළුවකු වේවි’ කියලා එතුමා කිව්වා. ඒ අදහස් මගේ හිතේ තදින්ම සනිටුහන් වෙලා තිබුණෙ. පසු කාලයක මම ගෙදරදි තාත්තගෙ වේට්ටි ඇඳගෙන රඟපෑවා. ඒවා දිහා බලාන හිටපු තාත්තා කිව්වෙ, ‘නළුවෙක් වුණොත් ඔයා පාරට වැටේවි’ කියලයි. එයාලට පුංචි බයක් තිබුණෙ. කොහොම වුණත් අද ඒ දෙන්නා ‘මේ අපේ පුතා’ කියලා හරිම ආඩම්බරයෙන් වර්ණනා කරනවා. මේක මගේ ආත්ම ශක්තිය එක්ක ආ ගමනක්. එදා කොළඹදී මට උදව් කළ යාළුවෝ කවදාවත් අමතක කරන්න බැහැ. එයාලා මට දුන්නෙ ලොකු සහයෝගයක්.”

20200212Darshana-(1)

මේ විදියට ආ දර්ශන් හඳුනා ගත්තෙ?

”මාතා, ආලෝකෝ උදපාදි, ඉනියවන්, සිංහාවලෝකනය නිසා බොහෝදෙනා කතා කරන්න පටන්ගත්තා. එදා මට සිංහල ලියන්නවත් බැහැ. මම හැදී වැඩුණෙ සිංහල ගමක. අද මට සිංහල ලියන්න කියන්න දෙකම පුළුවනි. අද මට ෆෑන්ස්ලා වැඩිවෙලා. සුනාමි චිත‍්‍රපටය නිසා. ඒ ගැන හරි සතුටුයි.”

 

මේ චරිතය රඟපාද්දි මුහුණ දුන් සිදුවීම් එහෙම ඇති?

”සුනාමි රැුල්ල එන දර්ශන රූගත කළේ කුච්චවේලි ප‍්‍රදේශයේදී. ඒ සීන් රූගත කරද්දී වතුර පෙවුණා, වතුරේ ගිලූණා, වතුරේ ගහගෙන ගියා. සිප්පිකටු ඇනුණා. මේ ඔක්කෝම වුණේ ඉතා හොඳ පෙර ආරක්ෂාවක් තිබියදීයි. රඟපාන අය විතරක් නෙවෙයි තේ අල්ලන ළමයාගේ සිට මුළු සුනාමි කණ්ඩායමම මාර කට්ටක් කෑවෙ. අපි හැමෝටම මොකක් හරි තුවාලයක් වුණා.”

 

මයිකල් වූ පසුව ඔබ ඇත්තටම ඇඬුවා කියලා ආරංචියි?

”සමහර සීන් ගැන සෝමරත්න සර් කියද්දී මට ඉබේටම ඇඬුණා. මේ චරිතය හරහා ඇත්තටම මට පුළුවන් දේ එළියට දාන්න උත්සාහ කළා.”

 

පුද්ගලික ජීවිතේ දර්ශන්ගෙ විස්තර කියමු?

”මම විවාහකයි. බිරිඳ සුභාෂිණි. ගුරුවරියක්. අපි දෙන්නගෙ දුව අභින්‍යා. මට මල්ලි කෙනෙක් ඉන්නවා. එයා විවාහ වෙලා බබාලා දෙන්නයි. එතකොට මගේ නංගි හරි ලස්සනයි. එයා භරත නාට්‍යම් සහ සංගීතය කළා. දැන් එයා සංගීත අංශයේ ගුරුවරියක්.”

 

අද දර්ශන්ට ජීවිතේ දැනෙන්නෙ කොහොම ද?

”හරිම සන්තෝෂයි. මම වගේ සතුටින් ඉන්න කෙනෙක් මම දැකලා නැහැ. මොන ප‍්‍රශ්නය ආවත් මම ඒක ඇඟට ගත්තෙ නැහැ. තත්පරයෙන් ඒක අමතක කරලා දානවා. ලැබෙන දේ සතුටින් බාරගෙන සතුටින් ජීවත්වන පවුලක් අපි. මට යාළුවෝ වැඩියි. හරිම ෆන්. මගේ වයිෆ් පවුලට හරිම ලැදියි. මගේ පේ‍්‍රක්ෂකයින් ‘අයි ලව් යූ’ කියලා ‘උම්මා’ මැසේජ් එවනවා. මගේ වයිෆ් ඒවා දිහා බලන්නෙවත් නැහැ. පේ‍්‍රක්ෂක ආදරය කියන්නෙ වෙනින් දෙයක්. එයාට ඒ වැටහීම තියෙනවා. සදාකල් මම ඉන්නෙ මගේ ආදරය වයිෆ්ට කියලා. එයා දන්නවා මම අද මෙතැන ඉන්නෙ මගේ පේ‍්‍රක්ෂකයින් නිසයි. ඒ ආදරය ගෞරවය මට හරි වැදගත්. මම එයාලට හරිම ආදරෙයි.”

 

සඳුන් ගමගේ

20200212Darshana-(2) 20200212Darshana-(3) 20200212Darshana-(5) 20200212Darshana-(6) 20200212Darshana-(7)