29 "එයා මාව දාලා ගිහින් අවුරුදු 10ක් වුණත් තවමත් මගේ හදවතේ ජීවත් වෙනවා.." - නිරංජලා සරෝජිනී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200320Niranjala-1

"එයා වෙනුවෙන් මම ඒ දේ අතහැරියේ.."

"ඒත් සමහර බොරුකාරයෝ මාවත් රවට්ටනවා..."

"අබේ මාව විවාහ කර ගනිද්දී මට වයස අවුරුදු 26යි.."

මාර්තු මස 26 දවස අපේ ජනප්‍රිය ගායිකා නිරංජලා සරෝජිනීට ඉතාමත්ම සුවිශේෂී දවසක්. ඇය කියන විධියට තමන්ගේ ජීවිතේ අන්තිම හුස්ම ටික පිටවෙනකම්ම ඇයට ඒ දවස සුවිශේෂියි.

මීට අවුරුදු 10කට ඉස්සරදී ඒ වගේ දවසක තමයි ඇගේ ආදරණීය ස්වාමිපුරුෂයා අබේවර්ධන බාලසූරිය කියන අපේ රටේ ජනප්‍රිය ගායකයා මිය ගියේ.

බිරියකට තමන්ගේ ස්වාමිපුරුෂයා මියගිය දවස වේදනාකාරී සුවිශේෂී දවසක්. හැබැයි බොහෝ අය ඒ වගේ දවසට කරන්නේ දානමාන පින්කම් කරලා ඔහුව සමරන එක. නිරංජලා කියන අබේවර්ධනගේ ආදරණීය බිරිය ඉන් ඔබ්බට ගිහින් වෙනස්ම විධියට තමන්ගේ ආදරණීය ස්වාමිපුරුෂයාට පින් දෙන අපූරුම ගැහැණියක්, බිරියක්. ඇය ඉඩප්‍රස්තාව ලැබෙන බොහෝ අවස්ථාවල නැති බැරි අයට උදවු කරලා තමන්ගේ ස්වාමිපුරුෂයාට පින් දෙනවා. ඒ පින්දහම් ඇය කරන්නේ බොහොම නිහඬව. අප්‍රසිද්ධියේ.

ඒ විතරක් නෙවෙයි. හැම මාසයකම 26 වැනිදාට ඇය බොරැල්ල කනත්තට ඇවිත් තමන්ගේ ස්වාමියාව බලලා මල් කලඹක් තියලා ගුණ සිහිකරන කටයුත්තත් ඇය අමතක කරන්නේ නැහැ. නොකඩවා අවුරුදු 10ක් තිස්සේම ඇය ඒ යුතුකම කැමැත්තෙන්ම කරනවා.

සින්දු කියන එක නැවැත්තුවෙත් ඔහුට කරන ගෞරවයක් හැටියට නේද?
ඔව්... අබේ අවසාන කාලයේ හිටියේ කතා කරන්න බැරිව. ඔහුගේ මුවින් හඬ එළියට ආවේ නැහැ. මිය යද්දී හිටියේ ඒ විධියටමයි. එයාට කතා කරන්න බැරිව මිය ගිය විදිය දැකලා මම අධිෂ්ඨාන කර ගත්තා කවදාවත් මම නැවත සින්දු කියන්නේ නැහැ කියලා. ඒ අධිෂ්ඨානය තුළ මම හැමදාම ඉන්නවා.

10 වැනි ගුණානුස්මරණ වැඩසටහන වෙලාවෙත් මම බෞද්ධයා නාළිකාව එක්ක එකතුවෙලා ධර්ම දේශනාවක් සංවිධානය කළා. ඒ දේශනාව මහාචාර්ය පාතේගම ඥානිස්සර හාමුදුරුවෝ තමයි කළේ. එදත් උන්වහන්සේ මගෙන් ඉල්ලීමක් කළා දැන්වත් ඒ අදහස අතහැරලා ගීත ගායනා කරන්න කියලා. ඒත් අබේ වෙනුවෙන් කළ අධිෂ්ඨානය අත්හරින්න මට බැහැ.

නිරංජලා මේ විධියට තද තීරණයක් අරන් තිබෙන්නේ හැබෑවටම අබේවර්ධන බාලසූරිය කියන තමන්ගේ පෙම්බර ස්වාමිපුරුෂයාට ඇති ගෞරවය නිසාමයි කියන කාරණය අපට හොඳින් වැටහෙනවා. ඒ ඇය තවදුරටත් ඒ සම්බන්ධව කතා කළ නිසා.

“අබේ ජීවත්වෙලා හිටපු කාලෙත් මට කිසිම අඩුවක් කළේ නැහැ. අපි අවුරුදු 29ක් පවුල් කෑවා. එයා මාව විවාහ කර ගනිද්දී මට වයස අවුරුදු 26යි.
“අපි ආදර සබඳතාව පටන් ගනිද්දී මම ඉස්කෝලේ යනවා. ඒ කාලෙත් ඔහු මට කිව්වේ අපි හදිසි නොවී ආර්ථිකය හදාගෙන විවාහ වෙමු කියලා. ඇත්තටම අබේ ඒ විධියටම ඒක කළා. මුදල් හම්බ කළා. හැබැයි නිකරුණේ නැති නාස්ති කළේ නැහැ. හැමදේම පිළිවෙළයි. කිසිම දෙයක් අපිළිවෙළට කළේ නැහැ. ඒ තරම්ම ඔහුගේ වැඩ සැලසුම් සහිතයි.”

ඔබ අද කාටවත් අත නොපා ඉන්නෙත් ඔහුගේ ඒ සැලසුම් සහගත වැඩපිළිවෙළ නිසා නේද?
ඇත්තටම ඔව්. මිය යන්න කලින් ඔහු ඒ ගැන හිතුවා. දේපොළවල කිසිම අවුලක් නොවන විධියට හැමදේම ලිව්වා. ඒ වගේම මට ඒවා පවරන බවට එයාගේම අත්අකුරින් ලියුම්වල පවා ලිව්වා.

“මම නැතත් ඔයාට කරදරයක් නැතිව අනුන්ට අත නොපා ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් හදන බව ඔහු මට නිතරම කිව්වා. අපට දරුවෝ නැහැ කියලා ඔහු දුක් වුණෙත් නැහැ. ජීවිතේට සතුටෙන් මුහුණ දුන්නා.

ඉතින් අබේගේ ඒ දුරදක්නා නුවණින් කළ දේවල් නිසා තමයි මම මෙහෙම ජීවිතයක් ගත කරන්නේ. මට ජීවත්වෙන්න පුළුවන් ඒ ආර්ථික ශක්තිය හදලා ගියේ අබේ.
ඉතින් අද මම ඒ මුදල්වලින් පින්දහම් පවා කරනවා. අනුන්ට උදවු කරනවා. මිල මුදල් පවා දෙනවා. ඒත් සමහර බොරුකාරයෝ මාවත් රවට්ටනවා. ඒ රැවටීම්වලට මම අහුවෙලා තියෙනවා අනන්තවත්.

ඒත් දැන් මම හුඟාක් කල්පනාවෙන් තමයි ඒ දේවල් කරන්නේ. හැබැයි ඒ කරන හැම දේකටම පින් අබේට ලැබේවි කියලා ප්‍රාර්ථනා කරනවා.”

ඔබ ඔහුගෙන් පිළිවෙළට වැඩකරන හැටිත් අපූරුවට ඉගෙන ගත් බිරියක්?
ඔව්. අබේ හරියට පිළිවෙළ බලනවා. හැමදේම පිළිවෙළට ලියලා සකස් කරනවා. ජාතික රූපවාහිනියේ සේවය කරන කාලෙත් එහෙමයි. රාජකාරි හැම දේකටම ෆයිල් තිබුණා. එයා හොඳටම කාර්යබහුුල වී හිටියේ ‘නන්දන වින්දන’ සංගීත වැඩසටහන කරන දවස්වල. ඒ වගේම ප්‍රේමදාස මහත්තයගේ ගම් උදාව වැඩසටහන වෙලාවේ. ඒ වගේ කාර්යබහුල වෙලාවකදී වුණත් හැමදේම පිළිවෙළට තිබුණා.

“මමත් ඔහුගෙන් තමයි ඒ දේවල් ඉගෙන ගත්තේ. අද මගේ ජීවිතේ යම් යම් වැඩකටයුතු සැලසුම් කර ගත්තෙත් ඒ ලබාගත් ආභාෂය ප්‍රයෝජනයට අරන්

ඔබේ ස්වාමිපුරුෂයා ඔබෙන් ඈත් වෙලා වසර 10ක් ගෙවිලා. ඒ කාලය ගැන මොනවද හිතෙන්නේ?
“මට ඒ කාලය ගැන අදහාගන්න බැහැ. වෙලාවකට හිතෙනවා එච්චර කාලයක් ගෙවුණද කියලා.මට නම් අබේ තාම ඉන්නවා වගේ කියලා තමයි දැනෙන්නේ.

අබේගේ ගීත ඇහෙන කොට අබේගේ වීඩියෝ දකිනකොට ඒ වගේම ගෙදර බිත්තිවල වටේම ඔහුගේ පින්තූර දකින කොට මට ඔහු ජීවතුන් අතර නැහැ කියලා දැනෙන්නේ නැහැ.

අද සමාජ ජාල වෙබ් අඩවිවලත් නිතරම ඔහුගේ ගීත මට දකින්න ලැබෙනවානේ.හැබැයි ඒ කොහොම වුණත් සමහර වෙලාවට හදවතේ ගැඹුරටම බැහැලා අබේ නැහැනේ කියලා හිතනකොට නම් ඇස්වලට කඳුළු එනවා. ඒක නවත්වන්න අමාරුයි. මගේ දුක තුනී කරගන්න තමයි හැම මාසෙම 26 වැනිදාට මම කනත්තට ගිහින් අබේව බලලා එන්නේ. ඒක මම මැරෙනතුරුම කරනවා.