‘මම හොයන්නෙ ලස්සන හිතක්’



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රවීන සිනමා හා ටෙලිනාට්‍ය නිර්මාණවේදී දයාරත්න රටගෙදර නිර්මාණය කළ නිමල් උඳුගොඩ (ලක්සේයා) නිෂ්පාදනය කළ ‘කැලෑහඳ’ ටෙලි නිර්මාණය මේ දිනවල ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වෙනවා. වසර හැත්තෑවකට පමණ පෙරදි ඩබ්ලිව්.ඒ. සිල්වා ශූරීන්ගෙ කැලෑහඳ නවකතාවට අනුව නිර්මාණය වූ කැලෑහඳ චිත්‍රපටය යනු අදටද ප්‍රේක්ෂක මතකයේ රැඳි ආදරණීය නිර්මාණයකි. එදා එහි මාලිනි ලෙස රඟපෑවේ රුක්මණී දේවිය වූ අතර, ස්ටැන්ලි පෙරේරා (සබීතාගේ පියා) ජෝන් ජයපාල ලෙස ප්‍රධාන චරිතය රඟපෑවේය. වත්මනෙහි මෙම ටෙලි නිර්මාණයෙහි මාලිනි ලෙස තාරුකා වන්නිආරච්චි රංගනයේ යෙදෙන අතර, අරවින්ද දොඹගහවත්ත ජෝන් ජයපාලගේ චරිතයට ජීවය කවයි. අද අපේ කතාබහ වත්මනෙහි ජෝන් ජයපාල වූ ඒ කඩවසම් රංග ශිල්පියා වන අරවින්ද දොඹගහවත්ත සමගයි.

 

20200406Aravinda-1අරවින්ද මේ දවස්වල ජීවිතේ කොහොමද කියලා කිව්වොත්?

බොහෝම සුන්දරව, බොහෝම සාමකාමීව ගෙවෙනවා.

 

ඔබ කොහොමටත් වඩා නිහතමානී චරිතයක්. අපි මොහොතකට ඔබගේ අතීතයට යමු?

අද මේ විදියට කැලෑහඳ ටෙලිනාට්‍යයේ රඟපාන්නේ දයාරත්න රටගෙදර මහතා නිසයි. ඒ වගේම මගේ අතීතයට ගියොත් පළවැනියටම මම රඟපෑවේ එතුමා නිර්මාණය කළ ‘හිමකඳුළු’ ටෙලි නාට්‍යයි. ඒ නිසා එතුමාගේ හමුව මට අමතක කළ නොහැකි දෙයක්. රටගෙදර මහතා නිසා පටන්ගත්ත ඒ ගමන අද වන විට ටෙලිනාට්‍ය 6 ක් විතර වෙනවා. එහිදී මගේ ගමන වෙනස් කළේ ‘දේවි’ ටෙලිමාලාවයි. නළුවකු ලෙස ස්ථිරවම මාව වැඩිදෙනෙක් හඳුනාගත්තෙ, සමන් කුමාර ලියනගේ මහතා අධ්‍යක්ෂණය කළ දේවි නිසයි. මේ ආ ගමනේදී මට ලැබුණු හොඳම චරිතය එයයි.

 

ක්ෂේත්‍රයට ඇවිත් කොච්චර කල්ද?

අවුරුදු 8 ක් විතර.

 

ඒත් මේ ගෙවී ගිය කාලයේදී ඔබ සතු හැකියාවෙන් හරි හැටි ප්‍රයෝජන ගෙන නැහැ කියලා කිව්වොත්?

එහෙමම කියලා කියන්නත් බැහැ. දේවි නාට්‍යය ගත්තොත්, ඒ අදහස වෙනස් කළ හැකියි. සාමාන්‍යයෙන් ගතානුගතික අහිංසක පෙම්වතාට සුදුසු පෙනුමක් මට තියෙන්නෙ. හැබැයි ප්‍රථම වතාවට එයින් බැහැරව දුෂ්ඨයා ලෙස දේවි නාට්‍යයේ චරිතයක් ලැබුණා. ඒ චරිතය කරද්දි වයස 24 ක විතර තරුණයෙක්. හැබැයි ඒ චරිතයේ හැටියට මම රඟපෑවෙ 35 ක 40 ක විතර පෙනුම තියෙන චරිතයක්. එදා ආධුනික විදියට එය මට ලැබුණු ලොකුම අවස්ථාවක්. මගේ සීමාවෙන් ඔබ්බට ගිය ලොකුම අවස්ථාවක් දේවි. ඒ නිසා චරිතාංග නළුවකු කියන දේ පෙන්වන්න මට පුළුවන් වුණා.

 

ඒත් වසර 8 ට නාට්‍ය 6 යි? සෑහීමකට පත්වෙනවද?

හයක රඟපෑවාට ඊට වඩා දෙතුන් ගුණයක්, ඒ කියන්නෙ 18 ක් විතර මම අත්හැරලා තියෙනවා. ලැබුණු අවස්ථා බොහෝමයක් ඒ විදියට අත්හැරියා.

 

ඒකට හේතුව?

මම මා විසින්ම දාගත්ත වාරණයක් ඒක. රංගනයේදී මම අධ්‍යක්ෂවරු තෝරාගත්තා, ඒ වගේම චරිත තෝරාගත්තා. පිටපතක් තෝරාගැනීමේදී මම බලන්නෙ මගේ පුද්ගලික ස්වභාවයට ගැලපෙන චරිත නෙවෙයි. සැබෑ ජීවිතයේදී අරවින්දම තිරයේදී දකින්න මට අවශ්‍ය නැහැ. එහෙම වුණොත් චරිතයට සාධාරණයක් කරන්න මට බැහැ. මුල් කාලීනව මම වැඩ කළේ ඒ විදියටයි.

 

හරි අපි දැන් කැලෑහඳේ චරිතය ගැන කතා කරමු?

ඩබ්ලිව්.ඒ. සිල්වා ශූරීන්ගෙ කතාවකට අනුව මෙය චිත්‍රපටයක් ලෙස එදා දශක කීපයකට පෙරදි තිරගත වූ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑවෙ එවකට ජනකාන්ත යුවළක් වූ රුක්මණි දේවි සහ ස්ටැන්ලි පෙරේරා. දශක කීපයකට පසුව නැවත ප්‍රතිනිර්මාණය වූ මෙම ටෙලිනාට්‍යයේ පිටපත ලැබුණාම අතීත දේ ගැන සොයා බැලුවා. එසේ සොයා බලද්දි ස්ටැන්ලි පෙරේරා මහතා එදා කොහොමද මේ චරිතය රඟපෑවෙ කියලත් දැනගන්න උත්සාහ ගත්තා. ඒත් ඵලක් නොවුණේ 83 ජූලි කලබල සමයේදි මේ චිත්‍රපට පිටපත් ගිනිගෙන තිබූ නිසයි. පසුව මට තිබුණු එකම විකල්පය වුණේ ඩබ්ලිව්.ඒ. සිල්වා ශූරින් ලියූ පොත කියවීමයි. ඒ පොත කියවන අතරේ අපේ තාත්තා එක්ක මේ ගැන කතා කළා. තාත්තා මේ චිත්‍රපටය නරඹා තිබුණා. රටගෙදර මහතා වෙත යොමුවීමට කලින් කටයුතු කළේ ඒ විදියටයි.

 

ඉන්පසුව චරිතයට ප්‍රවේශ වුණේ කොහොමද?

රටගෙදර මහතා කියන්නේ ඉතා සුන්දර නිර්මාණකරුවෙක්. එතුමා එක්ක කතා කළාම බොහෝ දේ කියා දුන්නා. ලොකුම ගැටළුව වුණේ මගේ උසට සරිලන නිළියක සෙවීමයි. අන්තිමට මට ගැලපුණේ තාරුකා. පුද්ගලිකවත් මා ඒ ගැලපීම ගැන විශ්වාස කරනවා. මගේ උසට ගැලපෙන්නෙ තාරුකා. අධ්‍යක්ෂතුමා හරිම නම්‍යශීලී චරිතයක්. ඒ වගේම නිෂ්පාදකතුමා වන නිමල් උඳුගොඩ (ලක්සේයා) මහත්මයත් ඒ විදියයි. විශේෂයෙන්ම තාරුකා ගැනත් කියන්නම ඕනෑ. මේ නිර්මාණය නිසා තාරුකා වෙනත් නිර්මාණයක් පවා අත්හැරියා. මගේ ඉල්ලීමට එහෙම කළේ. මගේ සහෝදරියට ඒ ගැන ස්තුතිය පුදන්නම ඕනෑ. මෙම කතාවෙ හැටියට, කාලය සමාජය සියල්ල වෙනස්. යාන වාහන පවා වෙනස්. ඒ නිසා ඒ වෙනුවෙන් සමස්ථ නාට්‍ය කණ්ඩායම විශාල මහන්සියක් ගත්තා. 1930 අවදියේ විතර කතාවක්. පාරවල් පවා වෙනස්. එදා භාෂාව කතා කළ විදිය පවා වෙනස්. මේ දුෂ්කරතාවය නිසා සමහර වෙලාවට දිනකට එක් දර්ශනයක් වගේ රූගත කළේ. ජනක යහම්පත් කැමරා අධ්‍යක්ෂණයෙන් හරියට මහන්සි වුණා.

 

මෙහි ඔබ වඩා කැමති දර්ශනය කුමක්ද?

විටෙක ජයපාල මාලිනිව අත් හරිනවා. මාලිනි ඉන්දියාවෙ ගිහින් නාට්‍යාංගනාවකවී නැවත එනවා. එතකොට එයාගෙ නම විෂ්ණුබායි. ඒ ආ මොහොතේ ජයපාලට විෂ්ණුබායි හමුවූ මොහොත හරිම සංවේදියි. එතකොට ජයපාල විවාහවෙලා. එයාගේ බිරිඳට දරුවා ලැබෙන්න ඉන්නෙ. වතාවක ජයපාල හමුවන මාලිනි,

‘මිස්ටර් ජයපාලගෙ පොලිටිකල් කැම්පේන් එකට මං උදවු කරනවා කියලා කියනවා.’

‘ඇයි මාලිනි ඔයා මට මෙහෙම කරන්නෙ, ඔයා හිතන්නෙ මට ඔයාව අඳුරගන්න බැහැ කියලද?’

ජයපාල කියන ඒ දෙබසට මම හරිම ආසයි.

 

අරවින්ද කෝ ඔබගෙ සැබෑ ජීවිතයේ මාලිනි?

තවම එහෙම කෙනෙක් නැත.

 

සිත් ගත් රුවක්?

රූපයට වඩා මම බලන්නෙ ලස්සන හිතක්. තවම එහෙම හිතක් හම්බවුණේ නැහැ.

 

අරවින්දට – අරවින්දව දැනෙන්නෙ කොහොමද?

අවංක පුද්ගලයෙක්. ලොකු මවාපෑම් නැහැ. ලොකු කතාන්දර නැහැ. මේ මොහොතට අවංකවෙලා සාමාන්‍ය විදියට ජීවත් වෙන්න හදන කෙනෙක්. හිතට එකඟව ජීවත්වෙන්න බලන කෙනෙක්.

20200406Aravinda-2

ජීවිතේ කියන්නෙ?

දුක සැප සමබරව මුහුණ දෙන්න තියෙන දෙයක්.

 

ජීවිතේ වැඩියෙන්ම කැමති?

ධර්මයට ආගමට.

 

මොන විදියටද දවස ගෙවන්න කැමති?

මම ටිකක් දවල් වෙනකල් නිදාගන්නවා. ජිම් එකට වෙලා ඉන්න කැමතියි. යාළුවෝ එක්ක රට වටේ සංචාරයට ආසයි. හවසට බැල්කනියට වෙලා මුහුද දිහා බලා ඉන්න ආසයි. ගීතත් අහනවා.

 

ප්‍රියතම ගීතය?

දඟකාර ඔය දෑස

දුටුවා එදා

දුර ඈත පාසල් වියේ

 

හෙට දවසේ ඔබගේ රඟපෑම් දකින්න පුළුවන්?

‘පිච්ච මල සුවඳයි’ ළඟදීම විකාශය වේවි. මම වැඩ ගොඩාක් බදාගන්න කෙනෙක් නෙවෙයි. ඒත් තව අලුත් නිර්මාණයක් බාර අරගෙන තියෙන්නෙ.

 

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ

 20200406Aravinda-3