ලද දෙයින් සතුටු වුණාම හැමදාම හිත සතුටින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කාන්තාවකට ලස්සන කියන්නේ ආභරණයක්

20200406Chethana-1ලස්සන රහස් පිටුව සරසන්න, මෙවරත් අපි ලස්සන කෙනෙක් තෝරා ගත්තා. ඇය තමයි චේතනා රණසිංහ. වෘත්තියෙන් ගායිකාවක් වුණ චේතනාව බොහෝ දෙනෙක් අඳුනාගනු ලබන්නේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් පළමුවන රියැලටි සංගීත වැඩසටහනෙන්. අනිත් දේ තමයි ඇයව ගොඩක් අය දන්නේ කීර්ති පැස්කුවෙල්ගේ ලේලි කිව්වාම. ඒ කොහොම වෙතත් ඇය සමග අපි කතා කළේ ලස්සන ගැන.

 

 ගායිකාවක් ලෙසට මිනිසුන් අතර ජනප්‍රිය වීමට ඔබේ රුවත් එක් හේතුවක් වුණාද?

සංගීතය වැනි විෂයකදී ප්‍රධානම දේ හඬ. හැකියාව දක්ෂතාවය වැඩිදියුණු කර ගන්න පුහුණුව, හැදෑරීම අත්‍යවශ්‍යයි. ඒ හැමදේම එක්ක ප්‍රියමනාප බව, සුන්දර බවත් මගේ සංගීත ගමන සාර්ථක වෙන්න බලපෑවා කියා මම විශ්වාස කරනවා.

 

 කාන්තාවකට ලස්සන වැදගත්ද?

ඔව් ඇත්තටම ගැහැණු පිරිමි කියන වර්ග දෙක අතරේ කාන්තාවට සුවිශේෂි තැනක් හිමිවන්නේ ඇගේ සුන්දරත්වය නිසායි. මෙහිදී මා විශ්වාස කරන්නෑ කාන්තාවකගේ මතු පිටින් දකින පැහැය මුහුණේ ලස්සන හෝ හම සුදු වූ පමණින් කාන්තාවක් ලස්සනයි කියා. කාන්තාවක් ලස්සන වෙන්න ඕනේ සෞඛ්‍ය පුරුදු ගොඩක් එක්ක. පළමු දේ තමයි පිරිසිදු කම. දෙවැන්න පිළිවෙල. මේ දෙකම අනුගමනය කරනවානම් ප්‍රියමනාප බවක් ඇතිකර ගැනීම ගැටලුවක් වන්නේ නැහැ. අනිත් දේ තමයි හිත පිරිසිදු නම් අපි ඉබේම ලස්සන වෙනවා. මේ පුංචි පුංචි දේවල් ටික දෛනිකව ජීවිතයට එක්කර ගත්තොත් ලස්සන වෙන එක අභියෝගයක් වෙන්නේ නැහැ.

 

 ඔබේ සුන්දර බව ආරක්ෂා කර ගන්න මොනවද කරන්නේ.

ප්‍රධානම දේ තමයි, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට පුරුදුවෙලා ඉන්න එක. වතුර වැඩිපුර බොනවා වගේම ශරීරයට හිතකර කෑම බීම ගැනීම ඉන් ප්‍රධානයි. අනික් දේ තමයි එළවළු, පළතුරු, පලාවර්ග දෛනික වැඩිපුර ලබාගැනීම. මම බත්නම් ආහාරයට එක්කර ගන්නේ හරිම අඩුවෙන්. මේ සියලු දේ එක්ක ව්‍යායාම කිරීමත් මගේ දින චර්යාවේ කොටසක්. සතියකට දින හතරක් ජිම් එකේ ව්‍යායාම කරනවා. සති අන්තයේ දිනක වෝකින් පාක් එකේ පැය එකහමාරක් විතර ඇවිදිනවා.

 

 හිසකෙස් වල වර්ධනයට මෙන්ම පෝෂණයට මොනවාගේ සත්කාරයක්ද කෙරෙන්නේ.

නිවාඩු දිනවලදී ඔලිව් ඔයිල්වලට විටමින් ඊ කරලක් හෝ දෙකක් දාලා. හොඳට හිසේ ගල්වලා මසාජ් කරලා සෝදා හරිනවා. එය හිසකෙස් සඳහා හොඳ සත්කාරයක්.

 

සමේ ආරක්ෂාව වෙනුවෙන් නිවසේදී කර ගන්න සත්කාරයක්.

ම්... යෝගට් ගොඩක් හිතකර නිසා ඉඳහිට වේලාවක් ලැබුණොත් යෝගට් එකක් සමේ ගල්වනවා. තවත් ඉඳහිට කරන ප්‍රතිකාරයක් තමයි කෝමාරිකා මදය මුහුණේ අත්වල ආලේප කරන එක. මෙම ස්වභාවික සත්කාරයෙන් සමට තෙතමනයක් වගේම, සිසිල් බවකුත් ලැබෙනවා.

 

 විලාසිතා කිරීමේදී සැලකිලිමත්ද?

ඔව්. කාලයෙන් කාලයට එන මෝස්තර නම් කරන්නෑ. ඒත් මට ගැලපෙන, මම සහභාගි වෙන තැනට ගැලපෙන විදිහට විලාසිතා කරනවා. සරල චාම් විලාසිතාවලට මම ගොඩක් කැමැතියි.

 

 බොහෝ කාන්තාවෝ තවත් කාන්තාවක් ලස්සනයි කියලා කියන්න කැමති නැහැ. ඔබත් එහෙමද?

අපෝ නෑ. මං ආසයි මට වඩා වෙන කෙනෙක් ලස්සන වෙලා ඉන්නවා දකින්න.

 

 ඇතැම් කාන්තාවෝ පෙනුමෙන් ගොඩක් ලස්සනයි. ඒත් හදවතින් එතරම් ලස්සන නැති තරම්.

ඔව් එවැනි බොහෝ අය මටත් හමු වී තිබෙනවා. කොච්චර මතුපිටින් ලස්සන වුණත්, හදවතින් කිලිටු අදහස් තියෙන අයව ආශ්‍රය කරන්න කැමති නැහැ.

 

 ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව

ම්.... ගොඩක් කාන්තාවෝ දැකලා තියෙනවා. ඒ නිසා එක්කෙනෙක් නම් කරන්න බෑ.

 

 ඔබ ලස්සන වෙලා ඉපදිලා තියෙන්නේ.

මම බෞද්ධ කෙනෙක් විදිහට විශ්වාස කරනවා. ලස්සන වෙලා ඉපදෙන්න ගොඩක් පිං කරලා තියෙන්න ඕනේ වගේම නිරෝගීව අංග සම්පූර්ණව ඉපදෙන්නෙ පෙර ආත්මවල මහා විශාල පිනක් කරලා තියෙන්න ඕනේ.

 

 ජීවිතේ සතුටින් ඉන්න මොකද කරන්නේ.

ලද දෙයින් සතුටු වෙන්න පුළුවන්නම්, ජීවිතයේ සතුට රඳවා ගන්න එක ගැටලුවක් වෙන්නෑ.

 

 මේ වෙලාවේ එකම ප්‍රාර්ථනය කුමක්ද?

අපේ රටේ වගේම ලෝකයේ සෑම රටකම පැතිරී තිබෙන කොරෝනා වසංගතය තුරන් වෙලා සෑම දෙනාටම නිරෝගීකම ලැබෙන්නෙ කියලා.

 

අසුන්තා එදිරිසූරිය

20200406Chethana-2