සංගීතඥයන් දෙදෙනෙක් එකතුවූ මොහොතක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200520Darshana-1

අලුත් ගීතයක් පිළිබඳව අහන්නටවත් නොලැබේ. එහෙත්, එවැනි වාතාවරණයකත් දර්ශන වික්‍රමතුංගගේ යූ ටියුබ් නාලිකාවෙන් අලුත් ගීතයක් අහන්නට ලැබිණි.

පස්දුන් රටින් දුන් දුක අරන්

සමුගමු ඉතිං කළුගං තෙරෙන්

සුළඟේ වෙලී පරමල් පවා

සැමරුම් අපේ අරගෙන ගිහින්

ගීතය ගායනා කර තිබුණේ වර්තමානයේ කැපී පෙනෙන සංගීතඥයකු වන අනුරාධ අබේසිංහය.

 

මොකක්ද මේ සංගීත ශිල්පීන් දෙන්නගෙ ගීතය?

මම අනුරාධගෙන් විමසමි.

අනේ අයියෙ ඕක අද ඊයෙ කළ ගීතයක් නෙවෙයි. මීට අවුරුදු දහනවයකට කලින් කළ ගීතයක්.

 

අවුරුදු දහනවයකට කලින්?

ඔව්නෙ.. ඔන්න එක්තරා කැසට් නිෂ්පාදකයෙක් කිව්වා මට කැසට් එකක් කරමු කියලා. ඒකට මම සිංදු විස්සක් විතර කළා. ඒවයින් පහළොවක විතර සංගීත රචනය මගෙ. අනිත්වා ආචාර්ය රෝහණ වීරසිංහ, විශාරද නිහාල් ගම්හේවා, විශාරද දර්ශන වික්‍රමතුංග යන අය කළේ. නමුත් මේ ගීත එකතුව ඩොල්බි සිස්ටම් එකට කරනවා කිය කියා හිටිය නිසා ටිකෙන් ටික කල්ගියා. කොහොම හරි මේ ගී කැසට් එක කෙරුණෙ නැහැ. ඉතින් අර සිංදුව දර්ශන ළඟ තිබිලා මේ ළඟකදි දාලා තියෙන්නෙ.

 

මේ ගීතය ලියල තියෙන්නෙ ප්‍රසිද්ධ රචකයෙක් නෙවෙයි?

ඔව් තරංග රංහොට් කියල කෙනෙක්නෙ මේ. එයත් තරුණ ශක්තියෙන් මතුවුණු ගී පද රචකයෙක්. දර්ශන තමයි මේ පදමාලාවට තනුව හදලා මට දුන්නෙ.

ඔය ගීත රචකයා ගීතය ලියල තියෙන්නෙ කළුතර ගුරු අභ්‍යාස විද්‍යාලෙ ප්‍රේමයක් ගැන. වැඩි විස්තර නම් මම දන්නෙ නැහැ.

 

දර්ශන වික්‍රමතුංගයි අනුරාධ අබේසිංහයි සමකාලීනයෝ නේද?

ඔව්නෙ. අපි දෙන්නම මතුවෙන්නෙ මලට රේණු කැසට් පටයෙන්නෙ.

 

මලට රේණු?

ඔව් විශාරද නන්දා මාලිනිය මලට රේණු කැසට් පටිය කළේ ආධුනික තනු නිර්මාණ රචකයන්ට අතහිත දෙන්න. ඒ වෙනුවෙන් රට පුරා තනු රචකයන්ගෙන් ලැබුණු සිය ගණනක් ගී තනු අතරින් මගෙ මලට රේණු සේ ගීතයත් දර්ශනගෙ ගිරි සිරසින් ගීතයත් තේරුණා.

 

මතකද හා පුරා දර්ශන හමුවුණු දවස?

මේ ගී තනු පටිගත කළේ ඔහී ස්ටුඩියෝ එකේ. මං දැනන් හිටියෙ නෑ ඔගී එක කොහෙද තියෙන්නෙ කියලා. ඉතින් මම ඔගී ස්ටුඩියෝ එක තියෙන ඉසව්වෙන් බැහැලා ළඟ තිබුණු තේ කඩේකට ගියා. එතන තේ බිබී හිටියා පොඩි කෙට්ටු පිරිමි ළමයෙක්. මං එයාගෙන් තමයි ඇහුවෙ ඔගී ස්ටුඩියෝ එක කොහෙද තියෙන්නෙ කියලා. එතකොට එයා කිව්වා යමු මාත් යන්නෙ ඒකට තමා කියලා.

එදා ඉඳලා දර්ශනයි මමයි හොඳ යාලුවො. හැබැයි මම කැම්පස් ගියාට පස්සෙ මගෙ සංගීත ගමන අඩාල වුණා. ඒ එක්ක දර්ශන ගෙයි මගෙයි මිත්‍රත්වයත් යටගියා.

 

දැන් දෙන්නම දිගට හරහට ගී තනු හදනවා.

මමත් ටිකක් කරනවා. ඒත් දර්ශන තරම් නම් මම දක්ෂ නැහැ. එයා ගීත දහයක් හදනකොට මං හදන්නෙ එකයි.

 

ඒ වුණාට අනුරාධ, දර්ශනට වැඩියෙන් ගීත ගායනා කරනවා.

පහුගිය කාලෙ ගීත ටිකක් නම් ගායනා කළා. වෛද්‍ය ඊෂ්මා සමරසිංහ එක්ක ආසිරි කුසුම් වැසි, දේවිකා චතුරානි එක්ක සුදු හඳුන් වගේ යුග ගීත වගයකුත් ඉවුරු දෑලේ හැපි හැපී, වගේ ගී කිහිපයකුත් ගායනා කරල තියෙනවා. හැබැයි තාම ගීත මහ ගොඩක් නැහැ.

 

මේ කළුතර ගුරු විදුහල් ප්‍රේම ගීතය ගැන දර්ශන වික්‍රමතුංග ගෙන් නොඇසුවොත් අඩුවකි. ගීතය හඹස් පෙට්ටියෙන් එළියට ගෙන ජනගත කර ඇත්තේ ඔහුය.

අනුරාධ අබේසිංහ සංගීත ලෝකයට එන්නෙම ගායකයෙක් විදිහට. ඔහු තුරුණු ශක්ති පළමු වටයෙන් ඉස්මතු වුණේ. ඔහුට ලැබුණෙ තුන්වැනි තැන. දන්නවනෙ පළමු ස්ථානය ශෂිකා නිසංසලා දෙවැනි ස්ථානය කාංචනා.

ඉතින් අනුරාධට තියෙන්නෙ බොහොම මිහිරි හඬක්. ඒ හඬෙන් වැඩගත්තා මදි කියල තමයි මට නම් හිතෙන්නෙ.

ඔය අවුරුදු දහඅටකට විස්සකට විතර කලින් මම එයාට ගීත දෙකක් හැදුවා. ඒ ගීත හැදුවෙත්. අපූරු විදිහකට.

තුරුණු ශක්ති ගී පද රචනා තරඟයෙන් හොඳම ගී පද රචනා එකතු කරලා, අපේ සුනිල් ආර්. ගමගේ පොතක් හැදුවා. ඒ ගීත තෝරද්දි එතුමා අපිටත් කතා කළා. පද මාලාව විතරක් නෙමෙයි ඒකට සංගීතය නිර්මාණය කරන්න පුළුවන්ද කියලා බලන්නත් ඕනෑ නිසා. ඉතින් ඒ ගී පොත මගෙ ළඟ තිබුණා. ඒකෙන් තමයි එදා මම මේ ගීතය තෝරගත්තෙ.

මම මේ ගී පදමාලාවට තනුව හැදුවෙ ක්ලැරන්ස් විජේවර්ධනගෙ ගීත ශෛලියට. ඒ හැඩේට ක්ලැරන්ස්ගෙ සංගීත ශෛලියට අනුරාධගෙ හඬ එකතුවුණාම ජනප්‍රිය ගීතයක් බිහිවෙයි කියලමයි මම හිතුවෙ. මොකද අනුරාධගෙ හඬ පෝසත්.

ගීතය හැදුවෙ 2002 දී විතර. ඒ කාලෙ මේ ගීතය ඉස්මතු වුණා නම් අද අනුරාධ ඉන්න තැන වෙනස් වෙන්නත් තිබුණා.

 

මේ ගීතය හඹස් පෙට්ටියෙන් තෝරල ගත්තෙ කොහොමද?

මේ දවස්වල ගීත කෙරුණෙම නැහැනෙ. ගීත රෙකෝඩ් කරන්න, වොයිස් කරන්න තරම් වාතාවරණයකුත් අද නෑනෙ. ඉතින් මම සමාධිට කිව්වා, කරපු පරණ සිංදු තියෙනව නම් හොයලා බලලා චැනල් එකට දාන්න කියලා. එහෙමයි මේ සිංදුව ඉස්මතු වුණේ.

දැන් පුංචි ප්‍රශ්නයක් මතුවේ. ඒ සමාධි ගැනය.

සමාධි යනු දර්ශනගේ ප්‍රිය බිරිඳය. දර්ශනගේ යූ ටියුබ් නාලිකාවට එක් කරන ගීතවල විෂුවල් නිර්මාණය කරන්නේ ඇයයි. ඔහුගේ යූ ටියුබ් නාලිකාව බලා කියාගන්නේද ඇයයි.

 

ශකුවි