සැබෑවටම ලස්සන වෙන්න ඕනෑ හදවතින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200521Dinupa-1පුංචි ගායිකාවක් ලෙසින් ස්වරණවාහිනී හපන් පැදුරෙන් ඔබ හඳුනා ගත් ඇය අද වන විට රූපවාහිනිය, සිනමාව පමණක් නොව වේදිකාවෙන්ද තම රංගන කෞෂල්‍යය පෙන්වන දක්ෂ රංගන ශිල්පිනියක් වේ. එමෙන්ම ගායනය මෙන්ම  නර්තනය ප්‍රගුණ කළ නව පරපුරේ ප්‍රාසාංගික කලා ශිල්පිනියක් ලෙසටද ඇයව හඳුන්වා දිය හැක. ඇය නමින් දිනුපා කෝදාගොඩය. ලස්සන රහස් පිටුව සරසන්නට ඇයව අපි ආදරයෙන් කැන්දා ගත්තෙමු.

 

 තරුණ බවේ රහස කුමක්ද?

මම හිතන්නේ නම් මට උපතින් ලැබුණ පෙනුම වෙනස් නොකර උපතින් ලැබුණ බාහිර සුන්දරත්වය ඒ ලෙසම ආරක්ෂා කර ගැනීම. ශරීරයට කොණ්‍ඩයට මුහුණට හමට වද දීලා සුන්දරත්වයක් ලබා ගන්න උත්සාහ නොකළ නිසා වෙන්න ඇති මගේ වයසත් එතරම් පේන්නේ නැත්තේ.

 

 බාහිරව ලස්සන වෙන්න මිනිස්සු බොහෝ දේ කරනවා නේද? ඔබ එවැනි දේවල්වලට අකමැතිද?

මා විශ්වාස කරනවා බොරුවෙන් ළඟා කර ගන්නා සුන්දරත්වය ඉතාම තාවකාලිකයි කියා. අද වන විට සුදු වීම ලස්සන වීම කියලා හිතන බොහෝ දෙනෙක් හම සුදු කිරීමට විවිධ ක්‍රම භාවිතා කරනවා. ඇතැම් යුවතින් ඇහි පිහාටුවේ ඉඳලා බාහිරව හැඩ කරලා සුන්දරත්වයක් ගොඩ නගා ගැනීමට උත්සාහ කළත් ඇත්තටම සැබෑ ස්වරූපයේදි ඔවුන් බාහිරෙන් කොතනද සිටින්නේ කියා දන්නේ ඔවුන් විතරයි. එම නිසා සැබෑවටම අපි ලස්සන වෙන්න ඕනේ. සුන්දර වෙන්න ඕනේ හදවතින්. නැතහොත් සිතුවිලි වලින්.

 

 කාන්තාවක් සුන්දරව සිටිය යුතුයි කියා ඔබ විශ්වාස කරනවාද?

මම හිතන්නේ කාන්තාව පමණක් නොවේ පිරිමියාත් මේ ලෝකේ හැමෝමත් ලස්සනට ඉන්න ඕනේ. මනුස්සයා කියන වචනය ඇහෙනකොටම අපට දැනෙන්නෙ සුන්දර කෙනෙක්. මනසින් උසස් කෙනෙක් විදිහටනේ. සෑම විටම මානුෂිකව හදවතින් සුන්දර වීමට උත්සාහ කරන්නේ නම් බාහිරෙන් සුන්දර වෙනවා කියන දේ ගැටලුවක්. අභියෝගයක් වන්නේ නැහැ.

 

 ඔබේ තරුණ පෙනුම ආරක්ෂා කරන්න මොනවාද කරන්නේ කියලා දැන ගන්න කැමතියි.

මම මට ගොඩාක් ආදරෙයි. ඒ වගේම නිරවුල් මනස ගැන ලොකු අවබෝධයකින් ඉන්නේ. ඒ නිසා මනස සතුටින් තියන්න වගේම ශරීර සෞඛ්‍ය යහපත් අයුරින් පවත්වා ගන්න හැමවිටම මම උත්සාහ කරනවා. දෛනික ජීවිතයේදී නිරෝගිකම ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කරන ප්‍රධාන දේ තමයි වතුර ගොඩක් බොන එක. පළතුරු කන්නත් මම ගොඩක් ආසයි. දුරියන් හැරෙන්න ඕනෑම පළතුරක් මම කනවා. ශරීරයේ පෙනුම නිසි අයුරින් තියා ගන්න දෛනිකව යෝග ව්‍යායාම්හි නිරත වීමට කෙසේ හෝ උත්සහ කරනවා. නර්තන කටයුතුවලත් නිරතුරුවම නිරත වෙන නිසා මට ශරීරයේ හැඩය ක්‍රමානුකූලව තියා ගන්න හැකි වී තිබෙනවා. ශරීරයේ බර වැඩි වෙනවාට මම කොහොමත් කැමැති නැහැ. බර වැඩි වුණාම තමාටම අපහසුවක් දැනෙන නිසා මම එයට පොඩ්ඩක්වත් කැමැති නැහැ.

 

 විලාසිතා කරන්න කැමතිද?

ඔව්. අැඟේ හැඩයට වයසට සහභාගිවන තැනට අනුව විලාසිතා කරනවා.

 ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව

ලස්සන කාන්තාවන් නම් ගොඩක් දැකලා තියෙනවා.

 

ඔබ සුන්දරව සැරසුන දවස

ලස්සනට ඇඳ පළඳින හැම දවසකම වගේ ගොඩක් අය මම ලස්සනයි කියා අගය කරනවා. මනාලියක් ලෙසට සැරසුන දිනයත් සුන්දර මතකයක් ලෙසින් හදවතේ හැමදාසම තියෙනවා.

 

 කෙනෙක් ඔබ ළඟට ඇවිත් ඔබ ගොඩක් ලස්සනයි කියා කිව්වොත්.

හිතට ලොකු සතුටක් වගේම ආත්ම අභිමානයක් ලැබෙනවා. ලස්සනයි කියන වචනය අහන්න මේ ලෝකයේ කවුරුත් කැමතියි.

 

සුන්දර පෙනුමක් කෙනෙකුට ලැබෙන්නේ

මම හිතන්නේ පෙර සසරේ කරපු පිං නිසා වෙන්න ඇති. එහෙම ලැබුණ සුන්දරත්වය, ප්‍රියමනාප බව හැමදාම තියා ගන්න නම් මනසින් අපි නිරතුරුවම ලස්සන විය යුතුයි. එයයි මා දන්න දේ.

 

ඔබ ක්ෂේත්‍රයේ රැඳී සිටින්නේ සුන්දරත්වය නිසාද?

නැහැ. දක්ෂතාවය කැපවීම හැදෑරීම උත්සහය උනන්දුව කියන මේ සියල්ලෙම එකතුවකින්. රූමත් බව නිසාම නොවේ. නමුත් රූමත් බව නිසා ප්‍රමුඛතා ලැබුණු අවස්ථා එමටයි.

 

කෙනෙක් ලස්සන වූ පමණින් ඉදිරියට යා හැකිද?

එම කරුණ පුද්ගලයා මත වෙනස් වන දෙයක්. ගොඩක් ලස්සන කෙනෙක් ජීවිතය වරද්දා ගනිද්දි. එතරම් සුන්දර නැති කෙනෙක් ජීවිතය තම උනන්දුවෙන් උත්සාහයේ දියුණුව කරා ගෙන යා හැකියි. එම නිසා මා විශ්වාස කරනවා රූපය ආභරණයක් කර ගන්නවා විනා ආයුධයක් කර ගැනීම අනවශ්‍ය දෙයක්.

 

සුන්දරව සිටීමට කාලයක් තිබෙනවාද?

නැහැ අපි මේ ලෝකයෙන් සමුගන්නකම්ම සුන්දරව සිටීම වැදගත්. අනිත් දේ තමයි මම දැන් මවක්. බිරිඳක් මම දැන් ලස්සනට ඉන්න ඕනේ නෑ කියලා හිතන්න හොඳම නෑ අපි අපිට ආදරේ කළොත් තමයි තව කෙනෙකුටත් ආදරේ කරන්න පුළුවන්. ඒ නිසා කාර්ය බහුල ජීවිතයේ පුංචි ඉඩක් සොයා ගෙන තමන්ගේ බාහිර සුන්දරත්වය ආරක්ෂා කර ගන්න වගේම අභ්‍යන්තරව සුන්දර වීමටත් නිරතුරුව උත්සහ ගැනීම ඉතාම වැදගත්.

අසුන්තා එදිරිසූරිය

20200521Dinupa-2 20200521Dinupa-3