බත්කුල මහ නිරිඳු බෙලෙන් නිදුක් නිරෝගී වේවා!



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඔහු ශ්‍රී ලංකාවේ සිටින මහා ගාන්ධර්වයන් දෙතුන් දෙනාගෙන් කෙනෙකි. දිවිමගේ දශක හතක් පියමං කළත් අදටත් සිය මියුරු හඬින් යුග සහ ගායනයෙන් සහෘද රසික පිරිසකට ආමන්ත්‍රණය කරන ඔහු ආචාර්ය වික්ටර් රත්නායකය.

ගීත දහස් ගනණකට මියුරු තනු හා සංගීතයද, එබඳුම සංඛ්‍යාවකට හඬද මුසු කළ ඔහු රටකට කලාතුරකින් බිහිවන අන්දමේ අපූර්වතමයෙකි. ස්වකීය සුගායනයෙන් විචිත්‍රවත් වූ ‘ස’ ප්‍රසංගය දහස් සංඛ්‍යාත වාර ගණනක් පවත්වමින්, වැඩිම වාර ගණනක් පැවැත්වූ ලොව ප්‍රථම ඒක පුද්ගල ගී ප්‍රසංගය බවට වාර්තාගත කළ ඔහු, දිනෙක එය උත්සවශ්‍රීයෙන් අවසන් කළේය.

‘‘දැන් අපි වයසට යන්නේ. වයසට යනකොට දත් වැටෙනවා. එතකොට සිංදු කියන්න අපහසු වෙනවා ඒ නිසා ඊට කලින් ‘ස’ ප්‍රසංගය නතර කරන්න මම තීරණය කළා.’’

ඊට පෙර පැවැත්වූ මාධ්‍ය හමුවකදී වික්ටර් රත්නායකයෝ මා සමඟ කීහ.

එහෙත් සංගීත පිපාසයෙන් ඔත්පල වූ රසිකයෝ. යළිත් ‘ස’ ප්‍රසංගය ඉල්ල ඉල්ලා කරදර කරන්නට වූහ. ඒ සුවහසක් ඉල්ලීම අහක දමන්නට අකමැති වූ අප ගාන්ධර්වයා ‘සරස’ නමින් දෙවැනි ඒක පුද්ගල ප්‍රසංගයකට ආරම්භයක් දෙමින් එය දෙස් විදෙස් රසික පරම්පරාවන් වෙත තිළිණ කළේය.

පැවති හැම ප්‍රසංගයකටම දහස් ගණනින් රසිකයෝ එක් රැස් වූහ. සිය ජනප්‍රියත්වය එදා-මෙදා-සදා කල් රැකගන්නට ඔහු සමත්වූයේය.

‘‘අන්තිමට ‘සරස’ ප්‍රසංගය තිබ්බේ මහනුවරදී. ඊට පස්සේ මාර්තු මාසේ අග තවත් දර්ශන වාර දෙකක් රුහුණු සරසවියේ සහ බත්තරමුල්ලේ අපේ ගම පරිශ්‍රයේ පැවැත්වීමට නියමිතව තිබුනා. නමුත් කොරෝනා වෛරසය හේතුවෙන් ඒ ප්‍රසංග පැවැත් වීමට නොහැකි වුනා. අන්තිමට පැවැති ප්‍රසංගයෙහි වික්ටර් රත්නායකයන් මා එක්ක කියපු කතාවක් මගේ හිතට වද දෙනවා.’’

සරස ප්‍රසංගයේ නිවේදක ලෙස කටයුතු කරන ප්‍රවීණ ගුවන් විදුලි නිවේදක වසන්ත රෝහණ පැවසුවේය.

‘‘එදා වික්ටර් අයියා කිව්වා, මල්ලි මේ ප්‍රසංග ඔක්කොම නතර කරන්න දැන් කාලේ හරි කියලා. නමුත් එදත් ඔහු අපූරුවට වෙනදා වාගෙම ගීත ගායනා කළා....’’

ආචාර්ය වික්ටර් රත්නායක රටක පුරාවෘත්තයක් බඳුය. ඉකුත් දිනවල ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් මුහුණු පොතේ ආශිර්වාදාත්මක සටහන් රැසක් පළවූයේ එනිසාමය.

වික්ටර් රත්නායකට මොකද?

සඳැල්ල රසිකයෝ අපෙන් විමසූහ.

අසනීප තත්වයක් නිසා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන අප ගාන්ධර්වයා මේ වනවිට සුවවෙමින් සිටින බව සඳැල්ල සහෘද රසික පිරිස වෙත දන්වා සිටිනු කැමැත්තෙමු.

‘‘මම, ගිය සතියේ දවසක ඔහු බලන්න ගියා. විශේෂඥ වෛද්‍යවරු හත් දෙනෙක් ඔහුට ප්‍රතිකාර කරනවා. නමුත් මේ මොහොතේ අපි ඔහු බලන්න යන එක ඔහුට කරදරයක්. මේ වෙලාවේ අපි කරන්න ඕනෑ ආධ්‍යාත්මික වශයෙන් ඔහුට ආශිර්වාද කිරීමයි. ඒ වෙනුවෙන් ඉකුත් අඟහරුවාදා සවස අපි බෙල්ලන්විල පන්සලේදි බෝධි පූජාවක් පැවැත්වූවා. එයට කලාකරුවන් ගායක ගායිකාවන් රාශියක් සහභාගී වුණා.... අපි එයට රසික සහභාගිත්වය ලබා ගත්තේ නැහැ රටේ තිබෙන අහිතකර තත්ත්වය නිසා. ඉදිරියටත් අපේ ගාන්ධර්වයාට පූර්ණ සුවය ලැබෙනතෙක් බෝධි පූජා පවත්වලා ආශිර්වාද කිරීම ආදිය කරන්න අපි බලාපොරොත්තු වෙනවා.’’

ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවෙල් සඳැල්ලට පැවසුවේය.

බත්කුල මහ නිරිඳු බෙලෙන් නිදුක් නිරෝගී වේවා.

සූවිසි මුනි ගුණ පින් මහිමෙන් නිරතුරු ආයු වැඩේවා.

අසූ හාර දහසක් දම් තෙද කඳ සෙවණ දෙවා සුරකීවා.

 

ලෙන්ගතු ඔබේ ආශිර්වාදය මෙසේ වික්ටර් රත්නායකයන් වෙත යොමු කරමු.

 

20200531Victor-1 20200531Victor-2