වතුර බීම වැඩි නිසා ජලනි කියලා නමක් වැටිලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200625Apsara-1සිරස ටී.වී. හිත අද්දර බලන අයට නම් අප්සරා මැණික්ව අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නෑ. ඇගේ හැඩකාරකම් ගැන වගේම දක්ෂතා ගැනත් ප්‍රේක්ෂක ඔබ හොඳින් දන්නවා. නිවේදිකාවක් ලෙසින් ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබන සුන්දර ඇයව අපි අද ලස්සන රහස් පිටුව හැඩකරන්න තෝරා ගත්තෙමු.

 

වැඩසටහන අවසානයේ කීදෙනෙක් කතා කරලා අහනවාද ලස්සන වෙන්න මොනවාද කරන්නේ කියලා.

ගොඩක් ඇමතුම් එනවා. ඒ විස්තර අහන හැමෝටම මම ලස්සනට ඉන්න කරන දේවල් කියනවා. මම පාවිච්චි කරන Face Wash එකේ ඉඳලා කිනවා. මම හරිම ආසයි මම වගේම අනිත් කාන්තාවනුත් ලස්සනට ඉන්නවාට. ඒ නිසා ලෝභකමක් නැතුව ලස්සනට ඉන්න රහස කියනවා.

 

හිත අද්දර වැඩසටහනට ඉහළ ප්‍රතිචාරයක් ලැබෙන්නේ ඔබේ සුන්දරත්වය නිසාද දක්ෂතාවය නිසාද?

හැකියාව, දක්ෂතාවය, නිරතුරුවම දැනුම සොයා යන කරුණුවලට මා සතු සුන්දරත්වයත් හේතුවක් කියලයි මට හිතෙන්නේ.

 

කාන්තාවක් සුන්දරව ලස්සනට ඉන්න එක වැදගත්ද?

ඔව්. කාන්තාවකට ලස්සන කියන්නේ ආභරණයක් කියලයි මට පෞද්ගලිකව හිතෙන්නේ. උපතින් ලැබුණ සුන්දරත්වයක් සෑම කාන්තාවක්ම සතුයි. ඒ සුන්දරත්වය හඳුනාගෙන එය ඔප්නංවා ගැනීමයි කළ යුත්තේ. ඒ සඳහා විශාල මුදලක් වැය කරන්න අවශ්‍ය නෑ. අංක එකට තිබිය යුත්තේ පිළිවෙල සහ පිරිසිදුකම. අව්‍යාජව හදවතින්ම හිනාවිය හැකි නම් අපි දන්නේම නැතුව ලේ පිරිසිදු වෙලා හම පවා ලස්සන වෙනවා. බාහිර ලස්සන වගේම ඇතුළතින් හදවතින්ම ලස්සන වීමත් කාන්තාවකට අත්‍යවශ්‍යයි කියා හිතනවා.

හදවතින් ලස්සන වෙන්න මොනවාද කරන්නේ

පළමු දේ තමයි තමන්ට තමන් ආදරය කරන තත්ත්වයට හිත හදා ගන්න එක. ඊර්ෂ්‍යාව, තණ්හාව හිතින් අයින් කරලා, අනෙකාගේ සතුටකදි ජයග්‍රහනයකදි හදවතින්ම සතුටු වෙන්න පුළුවන් නම්, අවංකව, නිහතමානිව ජීවත් විය හැකිනම්, සිතුවිලි සුන්දරව තබා ගැනීම ගැටලුවක් වන්නේ නැහැ.

 

ඔබ සුන්දරව ඉපදුණේ

පෙර පිං මහිමයක් නිසා වෙන්න ඇති කියලා හිතෙනවා. ඒ හැමදේටම වඩා මට හිතෙනවා මම යහපත් විදිහට ජීවත් වෙන එකේ ප්‍රතිඵල මේ ආත්මයේදීම ලැබෙනවා කියලා.

 

ලස්සනට ඉන්න මොනවාද කරන්නේ

අංක එක වතුර බොන එක. මම දවසකට වතුර ලීටර් 5-6ක් බොනවා. කොච්චර වතුර බොනවාද කියනවා නම් මට Office එකේ අය කියන්නේ ‘ජලනි’ කියලා.

ඊට අමතරව තැඹිලි බොන්නත් මම හරිම ආසයි.

කෑම බීම වලින් නම් ලොකුවට පරිස්සම් වෙන්නෑ. හැබැයි ඇඟ පොඩ්ඩක් මහත් වෙනකොට ඩයට් කරද්දි නම් ඉතිං කෑම බීම ගන්නේ හොඳට හිතලයි.

 

අපිත් කැමතියි ඩයට් ප්ලෑන් එක ගැන දැන ගන්න.

මම කරන්නේ Keto Diet Plan එක. ඒක මුළු ලෝකයේම ප්‍රසිද්ධ Diet Plan එකක්. දින 21ක් එය කළ යුතුයි. Diet Plan එකට අනුව උදේට කන්නේ අලිගැටපේර ගෙඩියක්. ඊට අමතරව කජු, රටකජු, ආමන්ඩ් වගේ දේවල් කනවා. දවල්ට බිත්තර ඔම්ලට් එකක් හෝ තැම්බූ මාළු පෙත්තක් එක්ක එළවළු තම්බා කනවා. රෑ කෑමටත් එළවළු සලාදයක්, තම්බාගත් එළවළු හෝ බිත්තර ගන්නවා. ඒ අතරතුර එන බඩ ගින්නට පළතුරු හෝ නට්ස් වර්ග පාවිච්චි කරනවා. බත් පොඩ්ඩක්වත් ඒ දින 21 දි ගන්නේ නෑ. ප්‍රෝටීනුයි, මේදයයි විතරයි ඒ ප්ලෑන් එකට අනුව ගන්නේ. මට නම් මේ Diet Plan එකෙන් ප්‍රතිඵල ලැබී තිබෙනවා.

 

සමේ වර්ණය ලස්සනට තබා ගන්න මොනවද කරන්නේ

විවාහයට සූදානම් වෙද්දී ලස්සන ගැන ගොඩක් හිතන කාලයක්නේ. ඒ කාලේදි මම උදේටයි, හවසටයි තැඹිලි ගොඩි 2ක් බිව්වා. ඊට අමතරව නෙල්ලි රසකිඳ තම්බා බිව්වා. කොත්තමල්ලි, බෙලිමල්, කැරට් යුෂ, සව් කැඳ හදලා බිව්වා. මේ හැමදේකින්ම ශරීරයේ උෂ්ණත්වය පාලනය වෙලා, ලේ පිරිසිදු වෙලා, හම ලස්සන වෙනවා. දැනටත් මම මෙවැනි දේවල් භාවිතා කරනවා.

 

ඇඟේ හැඩය ලස්සනට ක්‍රමානුකූලව තියා ගන්න මොනවාද කරන්නේ

හැමදාම හවසට සිංදු දාගෙන නටනවා. එය කායිකව මෙන්ම මානසිකව හොඳ ව්‍යායාමයක්. හිතත් සතුටු වෙනවා. ලේත් පිරිසිදු වෙනවා. ඇඟත් කෙට්ටු වෙනවා.

 

ඔබ මුහුණ බොහොම සුන්දරව තියාගන්නවා නේද?

ඔව්. මම හැමදාම උදේට මුහුණට සත්කාරයක් කරනවා. උදෑසන අවදි වෙලා මුහුණ දාන්න පුළුවන් ප්‍රමාණයේ බෝල් එකකට අයිස් කැටයයි, අයිස් වතුරයි දාලා ටික වේලාවක් තියලා එම අයිස් වතුරේ මුහුණ තත්ත්පර 30ක් තබා සිටිනවා. ආයේ එළියට අරං තත්ත්පර 30ක් විතර ඉඳලා ආයේ අයිස් වතුරේ මුහුණ තත්පර 30ක් විතර තියාගෙන ඉන්නවා. එලෙස හතර පස් වතාවක් කරනවා. මේ අයිස් සත්කාරයෙන් මුහුණේ මාංශ පේශිවලට ලැබනෙ රුධිර සංසරණය වැඩිවෙලා මුහුණට හරිම දීප්තිමත් පෙනුමක් ලැබෙනවා. ඒ වගේම විඩාබර ගතිය නැතිවී ගොස් නැවුම් බවක්, ප්‍රබෝධමත් බවක් ලැබෙනවා. සම එල්ලා වැටීම පාලනය වෙනවා. මම මේ අයිස් සත්කාරය දැක්කේ කත්‍රිනා කයිෆ්ගේ යූ ටියුබ් එකේ.

 

සම පැහැපත් වෙන්න ගෙදරදි ආලේප කරන්නේ මොනවාද?

ම්... කන පලතුරු හැම එකක්ම වගේ මූණේ ගානවා. අලිගැටපේර, ගස්ලබු, කැරට් යුෂ, පිපිඥ්ඥා යුෂ වගේ දේවල් මම නිතර මුහුණේ ආලේප කරනවා. සාමාන්‍ය දිනවලදී දෛනිකව මම නිරෝගීකම ආරක්ෂා කර ගන්නත්, ස්වාභාවික පෙනුම ආරක්ෂා කර ගන්නත් කියලා හිතලා අලිගැට පේර ගෙඩියක් කනවා. (සීනි නොදා) අලිගැටපේර කියන්නේ හරිම ගුණදායක පලතුරක්. ලෝකයේ එම පලතුර හඳුන්වන්නේ Golden food කියලා.

 

සුදු වෙන්න ආසාවක් ඔබටත් තියෙනවාද?

ලැබිලා තියෙන හමේ පාට ලස්සනට තියා ගන්න නිරතුරුවම උත්සහ ගන්නවා. ඒ හැරෙන්න සුදු වීම ලස්සන වීම කියන මතයේ මම නෑ. කළු සමක්, තලෙලු සමක් වුණත් ලස්සනට තියා ගන්න පුළුවන්.

 

විවාහයෙන් පස්සේ කාන්තාවක් සුන්දරව සිටිය යුතුද?

ඔව් අනිවාර්යෙන්ම. හැම පිරිමියෙක්ම කෑ ගහලා නොකිව්වට තමන්ගේ බිරිඳ ලස්සනයි කියලා බාහිර අයගෙන් අහන්න, ඇයව ලස්සනට දකින්න ඔහු හරිම ආසයි. වාසනාවකට මට, මටත් වඩා මගේ සුන්දරත්වය ගැන හිතන ස්වාමියෙක් ලැබිලා තියෙනවා. ඔහු නිරතුරුවම මගේ සුන්දරත්වය අගය කරනවා. සුන්දරත්වය රැකගන්න අවශ්‍ය දේවල් අරං දෙනවා. ඔහු පදිංචිවෙලා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. රාජකාරි කටයුතු නිසා මම දැනට ඉන්නේ ලංකාවේ.

 

ඕස්ට්‍රේලියාවේ කාන්තාවෝ ගොඩක් ලස්සනද?

ඔව්. ඉටිරූප වගේ සමහර අය. හම දිලිසෙන කහපාටක්. හරිම ලස්සනයි.

 

ඔවුන් මොනවාද ලස්සන වෙන්න කරන්නේ

ඒ රටේ මිනිස්සුන්ගේ ආහාර රටාව තුළ තෙල්, මිරිස් නැති නිසා ඔවුන්ගේ හම හරිම ලස්සනට තියා ගන්න වගේම ඇඟේ හැඩය ක්‍රමානුකූලව තියා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඊට අමතරව රටේ පවතින හිරු නොපායන කාලගුණයත් ඔවුන්ගේ සුන්දරත්වයට ආශිර්වාදයක්. අනිත් දේ තමයි ඔවුන් හැමෝම ඉන්නේ හරිම සතුටින්. සීමා මායිම් නෑ. ලොකු බැඳීම් නෑ. අනෙකාට ගෞරව කිරීම, පිළිගැනීම හරිම ඉහළයි. මානුෂික ගුණාංගවලින් පිරිලා. හැමෝම ඉන්නේ හිනාවෙලා. මම දැක්ක අනිත් දේ තමයි ඔවුන්ගේ සුන්දරත්වය රැක ගන්න ඉවහල් වන්නේ නිතරම නැවුම් එළවළු, පළතුරු කන නිසා.

ඒ රටේ මගේ යාළුවෝ කිහිප දෙනෙක් ඉන්නවා. ඔවුන් සමේ තෙතමනය ආරක්ෂා කර ගන්නත්, සම පැහැපත් වෙන්නත් Virgin Coconut oil පාවිච්චි කරනවා. ඒ රටේ ඉද්දි මමත් ඒ දේවල් අත්හදා බැලුවා.

නමුත් හිරු එළිය ගොඩක් තියෙන නිසා ලංකාවේදි ඒ සත්කාරය කරන්න බැහැ. රාත්‍රියට වර්ජින් කොකනට් Oil සමට පාවිච්චි කරන එක ගොඩක් හොඳයි.

 

ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව

ලෝකයේ ගොඩක් ලස්සන කාන්තාවන් දැකලා තියෙනවා. ඒ අතරේ මම හරිම ආසයි මධුරි ඩික්සිත්ගේ සුන්දරත්වයට.

 

ලස්සන වෙන්න මුදල් ඕනේද?

නැහැ. පිරිසිදු, පිළිවෙලට ඉන්න, හිත පිරිසිදු තියා ගන්න, හදවතින්ම හිනාවෙලා ඉන්න, සතුටින් ජීවත් වෙන්න සල්ලි ඕනේ නෑ. මේ හැමදේම එකතුවකුයි අපිව සුන්දරව තියන්නේ.

අසුන්තා එදිරිසූරිය