මම ගෙදරට ‘ෆේල්’ චරිතයක් ඒත් බිරිඳගෙන් සමාව ලැබෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කලා ක්ෂේත්‍රයේදී ඕල් රවුන්ඩර්ස්ලා හෙවත්, සෑම අංශයකින්ම දස්කම්, දක්වන ශිල්පීන් අපට හමුවන්නෙ කලාතුරකින්. ‘‘චරිත් අබේසිංහ’’ ඒ වගේ චරිතයක්. රැඟුම, ගැයුම, වැයුම, අධ්‍යක්‍ෂණය, නිෂ්පාදනය, මේ කොයිදේත් ඔහුට ඔට්ටුය. ගැමුණු මහරජ, (හිරු) සංසාරන්‍යය අසබඩ (ITN) ස්වර්ණවාහිනියේ විකාශය වන අමාලියා සහ රැස් (සිරස) නාට්‍ය සමග මේ දිනවල අප හමුවට එන මේ දක්‍ෂයා එක්ක, සඳැල්ල කළ පිළසඳරකි මේ.

 

20200628Charith-(1)චරිත් මේ දිනවල මොනවගේ කටයුතුවල ද නිරතවෙලා ඉන්නෙ?

නාමල් ජයසිංහ එක්ක කළ ‘සත්‍යා’ ටෙලි මාලාව විකාශයට සූදානම් වෙනවා. ලබන මාසය වනවිට එය ප්‍රේක්‍ෂකයින්ට නැරඹිය හැකි වේවි. ඊට අමතරව තවත් අලුත් නිර්මාණයකට ලැහැස්ති වෙනවා. එය නම් කරලා තියෙන්නෙ ‘‘තාදි’’ කියලයි.

 

ඔබ අධ්‍යක්‍ෂණය කළ ගැමුණු මහරජ දීර්ඝ කාලයක් තිස්සේ ‘හිරු’ ටී.වී. ඔස්සේ විකාශය වෙනවා. මොකද හිතන්නෙ ඒ ගැන?

මෙහි තව අදියර දෙකක් මට ඉවර කරන්න තියෙනවා. දෙවැනි කොටසේ මම කරන්න හිටපු එක කළේ නැහැ. ඉතින් අපි ඉදිරි කොටස් නරඹලාම අදහසකට එමු.

 

ගැමුණු මහරජ නාට්‍යයේ, අධ්‍යක්‍ෂණය වගේම රංගනය එක්ක ඔබ එහි ගීත ගායනයටත් එක්ව සිටිනවා. එකම නිර්මාණයක මේ විදියට දායකත්වය ලබාදීම අපහසු නැද්ද? කොහොමද මේ පසුබිම හදාගත්තෙ?

කලාවට පැමිණි ගමන ගැන කත කළොත්, මම මේ ගමන පටන් ගත්තෙ ගුවන් විදුලියේ ළමා පිටියෙන්. එදා සිට ගත්තොත්, වසර තිහක්ම ගත කරලා තියෙන්නෙ කලාවෙ. ඒ පළපුරුද්ද එක්ක ලබා ගත්ත අත්දැකීම් ඔස්සේ මේ විදියට කටයුතු කිරීම එච්චර අසීරු දෙයක් නෙවෙයි. ඒත් එකඅතකට ඒක එච්චර හොඳ දෙයකුත් නෙවෙයි. අංශ කීපයක් බදා ගත්තාම, මානසික සුවයට එය බාධාවක් වෙනවා. ඒත් කරන වැඩේ එක්ක මම දුරස්ථ නැහැ. ඒක විඳිමින් ඒ කටයුත්ත කළාම, පීඩනයක් දැනෙන්නෙ නැහැ. ඒ හැරත් ගායනය කියන්නෙ මගේ විනෝදාංශයක්, එදා කණ්ඩායම් සංගීතය එක්ක කටයුතු කරද්දී, ගැයුම වගේම වාදනයත් කළා. කාලය තිබෙනවා නම්, හරියට කරන දේ කරනවා නම්, ඇත්තටම අංශ කීපයක නිරතවීම ප්‍රශ්නයක් නෙවෙයි. මේ වෘත්තිය එක්ක කාර්ය බහුලවන අවස්ථා වගේම, සමහර අවස්ථාවල කිසිම වැඩක් නොකර සිටින අවස්ථාද තියෙනවා. අපි කවුරුත් නොහිතපු විදියට පහුගිය කාලයේදී මේ වසංගතය එක්ක සිදු වුණේ එවැනි දෙයක්

 

ඔබ අධ්‍යක්‍ෂණය කරමින්, ඔබ රඟපාන නාට්‍යයක, ඔබව අධ්‍යක්‍ෂණය කරන්නෙ කවුද?

නිර්මාණය පුරාවට මම විතරක් පෙනී සිටින්නෙ නැහැනෙ. ඒ නිසා ලැබෙන විරාමයේදී, මට මාව අධ්‍යක්‍ෂණය කර ගන්න පුළුවනි. ඒ හැරත් අද තියෙන තාක්‍ෂණය එක්ක, රූගත කළ කොටස් නැරඹීමට පුළුවනි. එවිට අඩුපාඩු හඳාගන්න පුළුවනි. ඒ වගේම සහාය අධ්‍යක්‍ෂකගේ සහ කැමරා අධ්‍යක්‍ෂකගේ සහයෝගය එහිදී ලැබෙනවා.

 

නිර්මාණයකදී අධ්‍යක්‍ෂණය, රැඟුම, ගැයුම සහ නිෂ්පාදනය එක්ක දායකවන ඔබ අනෙක් පිරිස හසුරුවා ගන්නෙ කොහොමද?

ඒක තමයි අපට තියෙන අභියෝගය, වගේම අපි බාරගත යුතු අභියෝගය. සමූහයක්, කණ්ඩායමක් එක්ක කටයුතු කරද්දී, හිතවත්කම්, සහ නම්‍යශීලිත්වය වගේම හැමෝම එක්ක සුහදත්වය තිබිය යුතුයි. එකිනෙකාට ගරු කළ යුතුයි. නමුත් අපි අංග සම්පූර්ණ මිනිස්සු නෙවෙයිනෙ. ඒ නිසා සමහර අවස්ථාවලදී කේන්ති යන වෙලාවල් තියෙනවා. ඒත් පළපුරුද්ද එක්ක දැන් ඒ කේන්ති ස්වභාවය නොඑන තරම්.

 

මේ නිර්මාණකරුවා, නිෂ්පාදකවරයා, රංගන ශිල්පියා, ගායන ශිල්පියා, ගෙදරට මොන වගේ චරිතයක්ද?

මේ වැඩත් එක්ක නිතරම කාර්ය බහුල වන නිසා, මම හිතන්නෙ විටෙක මම ගෙදරට ෆේල් චරිතයක්. ගෙදරට ගොඩාක්ම සාර්ථක නොවෙන්න පුළුවන්. මොකද කිව්වොත් මේ වැඩවලට තරම් ගෙදර වැඩවලට දායක නොවන නිසා.

 

බිරිඳ ඒ ගැන මොකද කියන්නෙ?

මම හිතන්නෙ, එයාට මගේ වැඩ රාජකාරි ගැන අදහසක් තියෙනවා. ඒ නිසා මාව වටහාගෙන ඉන්නෙ. ඒ නිසා එයාගෙන් ඊට සමාව ලැබෙනවා. ඒත් මම බොහෝ වෙලාවට උත්සාහ ගන්නවා. මගේ වැඩවලට බිරිඳවත් දායක කරවා ගන්න. නැත්නම් ගෙදරම ඉන්නකොට එයාලටත් එපා වෙනවනෙ.

 

මේ විදියට විවෘතව අදහස් දක්වන චරිත් අබේසිංහ කොහොම චරිතයක් කියලද හිතන්නෙ?

කුඩා කාලයේ ඉඳලම යම්කිසි තැනකට එන්න ඕනෑය කියන ආත්ම විශ්වාසයක් තිබූ කෙනෙක්. සමාජයට යම්කිසි කර්තව්‍යයක් කරන, රටට වැඩදායී කියන කාරණාවේදී ඒ අරමුණ කරා යන ගමනක් තමයි මේ. ඊට එන බාධක ඇත්නම්, ඒවාට මුහුණ දෙමින්, අවසාන ඉලක්කය කරා යන කෙනෙක්. ඒ වෙනුවෙන් උත්තේජනය වෙන චරිතයක්. ඒක මට තනිවම යන්න බැහැ. මා වටා සිටින අයගෙ කැපවීමත්, කැපකිරීමත් අවශ්‍යයි. එහෙම වුණාම ඒ අරමුණ කරා යන්න පුළුවනි.

 

කාලයකදී අරමුණක් තිබුණ නේද දේශපාලනයට ඒමට?

මම කතා බහ කරන සහ අදහස් දක්වන විදියත් එක්ක, මිනිස්සු හිතුවෙ මම දේශපාලනයට ඒවි කියලයි. ඒත් දේශපාලනයට ඒමට මගේ කිසිම කැමැත්තක් නැහැ. ඉදිරියේදීත් එහෙම නොවේවි. නමුත් කලාකරුවකු ලෙස මගේ මතවාදයක් තිබෙනවා. එය ජනතාවාදී දැක්මක්. ඒ මතය තුළ මම නිතරම ඉන්නවා. එහිදී පක්‍ෂ පාට මට අදාළ නැහැ. සෑම පක්‍ෂයකම ඉහළ තලවල සිට පහළ ස්ථරය දක්වා වූ හිතවත් අයත් සිටිනවා. ඔවුන් කරන්නෙ ඔවුන්ගෙ දේශපාලනය. ඒ අනුව ඔවුන් කරන දේ සම්බන්ධව අපට විවේචනය කරන්න පුළුවන් වෙන්න ඕනෑ. ඒ වගේම අප කරන කලාවේ දේ ගැනත් විවේචනය කරන්න පුළුවන් වෙන්නට ඕනෑ. දේශපාලනයට ඒමේ කිසිම බලාපොරොත්තුවක් මට නැතුවා වගේම, අහසින් කඩා පාත් වුණා වගේ නළු - නිළියන් මේ දේශපාලනයට කඩා පාත්වීම මම අනුමත කරන්නෙත් නැහැ.

 

ඔබ කියන්නෙ, කලාකරුවන් දේශපාලනයට නො ආ යුතුයි කියලද?

අහසින් කඩාපාත් වුණා වගේ නළු නිළියන් දේශපාලනයට පාත්වීම ගැන ඇත්තටම මට තියෙන්නෙ දැඩි විවේචනයක්. හැබැයි ඒක මගේ මතයයි. මා එහෙම කියන්නෙ හේතුවක් ඇතිවයි. නළු නිළියන්, කලාකරුවන් දේශපාලනයට ඒම නිසා මේ ක්ෂේත්‍රයම හෑල්ලුවට, බාල්දුවට ලක්වෙනවා. අද පවතින ස්වභාවය එක්ක බැලුවාම දේශපාලනඥයාට සමාජයේ තියෙන්නෙ, නළුවාට වඩා පල්ලෙහා තැනක්. එහෙමයි කියලා නළුවාටත් ලොකු තැනකුත් නැහැ. හැබැයි දේශපාලනඥයාගේ තැනට නළුවකු වැටෙනවා කියන්නෙ ඒ සංහතියම පල්ලෙහාට ඇද දැමීමක්. අතීතයේ සිට දේශපාලනයට ආ නළු නිළියන් බොහෝ අය කළ කී දේ දිහා බලද්දී පෙනී යන්නෙ මේ දේශපාලනය අපට ගැලපෙන තැනැක් නෙමෙයි. ලංකාවේ සෑම කෙනෙක්ම අනාගත්ත, හාස්‍යයට ලක්වෙච්ච පරිසරයක්නෙ තියෙන්නෙ. ඒක තමයි ඇත්ත. ඒ නිසා ඕක තේරුම් ගන්න ඕනෑ දේශපාලනයට යන අපේ අයත්.

 

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ

20200628Charith-(2)