ජෝතිපාල සිංදුව නවත්තල තබ්ලා වාදකයට ගහන්න පැන්නා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200628Pilip-(2)

“එදා සරසවි චිත්‍රාගාරයෙ තිබුණේ ජෝතිපාලගෙ ගීතයක් පටිගත කරන්න. රෑ හතට විතර වාදක මණ්ඩලේ ඇවිත් වාදනය පුරුදුවෙන්න පටන් ගත්තා. ජෝතිපාල ආවෙ රෑ එකොළහට විතර. ඔන්න ඉතින් එයා සිංදුව කියනවා.

ඒ කාලෙ දැන් වගේ වාදනය මුලින් පටිගත කරල සිංදුවෙ කෑල්ල කෑල්ල පටිගත කරන ක්‍රමයක් තිබුණේ නෑ. වාදක මණ්ඩලය වාදනය කරද්දී ගායකයත් ගීතය ගායනා කරන්න ඕනෑ. කාටහරි චුට්ටක්වත් වැරදුනොත් මුළු සිංදුවම ආයෙම කියන්න ඕනෑ.

ඔන්න ඉතින් එකොළහට පටන් ගත්තු වැඩේ පාන්දර හතර විතර වෙනකන් ඇදුණා. ජෝතිපාල විසිපස් වතාවකට වැඩිය සිංදුව කියලා දැන් ඉන්නේ මහන්සි පිට.

කොහොම හරි මේ පාරෙන් ඉවර කරමු.

ජෝතිපාල වාදක මණ්ඩලේට කියලා තව පාරක් සිංදුව කියන්න පටන් ගත්තා.

ජෝතිපාල එකපාරටම තබ්ලාව ගහපු මිනිහට ගහන්න පැන්නා.

මොකක්ද යකෝ කළේ? සිංදුව ඉවර කරන්න ඔන්න මෙන්න තියලා උඹ වැඩේ කෑවනෙ.

ජෝතිපාල කිව්වේ කේන්තියෙන්.

එයා සිංදුව කියන්න ආවට මොකද වාදනයේ පුංචි අඩු පාඩුවක් වුණත් එයාගෙ කණට දැනිලා.

ඊට පස්සෙ පැය කාලක් විතර විවේකෙන් ඉඳල තව වතාවක් කියලා තමයි සිංදුව කියාගත්තේ.

අපි ආපහු ගෙදර යනකොට එළිවෙලා.

ජෝතිපාල කොළකැඳ කඩයක් දැකලා එතන බස් එක නතරකරලා බස් එකේ හිටිය හැමෝටම කොළකැඳ අරගෙන දුන්නා. අර තබ්ලාව ගහපු වාදකයටත් එක්ක.

නවසිය හැටනවය අවුරුද්දේදී සිදුවූ මේ සිදුවීම මතකයට නැගුයේ කරුණාරත්න ඩී. පිලිප් ය. ඔහු මේ කියාගෙන ගියේ හත්දින්නත් තරු චිත්‍රපටයේ ගීතයක පටිගත කිරීමකදී වූ රසවත් සිද්ධියකි.

හත්දින්නත් තරු, පතිරාජ එල්.එස්. දයානන්දගේ පළමුවැනි චිත්‍රපට අධ්‍යක්ෂණයයි. එහි දෙබස් මෙන්ම තේමා ගීතයද ලිව්වේ මේ පිලිප් ය.

කොහොමද ඔබට මේ අවස්ථාව ලැබුණේ?

මම පිලිප්ගෙන් ඇසුවෙමි.

මම මුල ඉඳන්ම කතාව කියන්නද? ඔහු ඇසුවේය.

ඒක හොඳයි. කියන්න.

අපේ ගෙදර තිබුණේ කැලණියෙ වරාගොඩ. අපේ ගෙදරට අල්ලපු ගෙදර හිටියෙ මට වඩා අවුරුදු දහයකින් විතර බාල මල්ලි කෙනෙක්.

එයාට පාඩම් කියල දෙන්න මම එහෙ ගෙදර යනවා. එතකොට එයා නාට්‍ය ගැන කවි ගැන එහෙම මගෙන් අහනවා.

මටත් හරි ආසයි නාට්‍යයක් කරන්න. දවසක් දා ඒ මල්ලි කිව්වා.

ඒ වෙද්දී අපේ තිබුණා සමස්ත ලංකා එක්සත් ශිෂ්‍ය පෙරමුණ කියලා සංවිධානයක්. ඒකෙ සභාපති මම.

මිනිත්තු දහයක විතර නාට්‍යයක් හදාගන්න. අපේ ප්‍රසංගෙ තියෙන දාට ඒකත් පෙන්නමු. මම ඒ මල්ලිට කිව්වා.

ඒ නාට්‍යය බොරැල්ලෙ වයිඑම්බීඒ එකේදි පෙන්නුවෙ අපේ ශිෂ්‍ය පෙරමුණේ වාර්ෂික උත්සවේ දවසෙ. විමල් කුමාර් ද කොස්තා එහෙම ඒ නාට්‍යයෙන් තමයි වේදිකාවට ආවෙ.

අර මල්ලි තමයි පතිරාජ එල්.එස්. දයානන්ද කියලා පස්සෙ කාලෙක ජනප්‍රිය චිත්‍රපටකරුවෙක් වුණේ.

ඔය කොයි කාලෙ විතරද? මගෙන් ප්‍රශ්නයකි.

නවසිය හැටදෙකේ විතර.

ඊට පස්සේ?

1969දී විතර මේ පතී ආරම්භ කරනවා චිත්‍රපටියක්. ඒකෙ නම හත්දින්නත් තරු. එයා මට බාරදෙනවා චිත්‍රපටියෙ දෙබස් රචනයත් තේමා ගීතයත්.

පියෙවි මිනිස් ලොව

සැබෑකමින් මිදී

දේව ලියන් ළඟ

නිවි නිවී දැල්වෙන

හත් දින්නත් තරු...

 

මේ ගීතය සුමේධ හේවාපතිරණගෙ සංගීතයට ගායනා කළේ සුජාතා අත්තනායක. මේ ගීතය එකල අතිශයින් ජනප්‍රියත්වයට පත්වූයේය. එනිසාම තව තවත් ගීත රචනා කරන්නැයි ඇරියුම් පිලිප්ට ලැබිණි.

සෙලීනාගේ වලව්ව චිත්‍රපටයට මං ලිව්වා සම්පත් පිරීතිරී කියලා ගීතයක්. ඒක ගායනා කළේ අමරදේවයන්.

එතකොට සෙලීනාගෙ වලව්වටම මං ලියපු තවත් ගීතයක් ඩබ්ලිව්. ප්‍රේමරත්නත් ශ්‍රීමතී තිලකරත්නත් ගායනා කළා.

පෙණ පිඬු නංවන ගංගාවෝ

චංචල දෑසක ඉඟි පෑවෝ

මින්දද හීයෙන් බේරේදෝ

මංගල යෝගේ...

ඒ ගීතය පටන් ගන්නේ එහෙම.

ඩෙන්සිල් අබේවර්ධනගෙ විසිහතර පැය චිත්‍රපටයට මං ලියපු ගීතය ගායනා කළේ මිල්ටන් මල්ලවආරච්චි. සෝමවීර බෝපිටියගෙ නිවන් දක්නා ජාති දක්වා චිත්‍රපටයට මං ලියපු ගීතයකුත් මිල්ටන් ගැයුවේ. ජෝතිපාලයි, ලතා වල්පොලයි ගායනා කරපු අන්තිම සිංදුව ලිව්වෙත් මම. ඒ සඳවතීගෙ කතාව කියන චිත්‍රපටයට. මේකත් පතීගෙ චිත්‍රපටයක්. හැබැයි ඒ චිත්‍රපටියෙ වැඩ අවසන් කරගන්න බැරිවුණු නිසා ඒ ගීතයත් කොහේදෝ හැංගුණා.

කරුණාරත්න ඩී. පිලිප් සිය මතකය අවුස්සයි.

තව අපූරු සිද්ධියක් වුණා ජෝඩු වළලු චිත්‍රපටයේදී. මං ලියපු ගීතයක් තිබුණා,

පරක් තෙරක් නැති ජීවන අහසේ

සිතුවිලි තුරු පත් සැරිසරණා

ඉමක් කොනක් නැති මිහිතලයේ

පිය සටහන් මැකුණා... කියලා.

මේ ගීතය ගායනා කළේ අමරදේව. එතුමා දවසක් මට එන්න කිව්වා.

පිලිප්, මේ ගීතයෙ තියෙන පව්බර උරමත රන්දා කියන වචන කියාගන්න අපහසුයි. අපි ඒකට වෙන වචනයක් යොදමුද කියලා මගෙන් ඇහුවා.

කමක් නෑ. සුදුසු වචනයක් යොදන්න. මං කිව්වා.

ඊට පස්සේ අමරදේවයන් ටික වෙලාවක් ගීතය එක්ක ඔට්ටු වුණා.

කමක් නෑ පිලිප්, අපි මේ වචන ටිකම කියමු. මේකම තමා ගැලපෙන වචන ටික.

ඊට පස්සේ අමරදේවයන් මං ලියපු ගීතය කිසිම වෙනසක් නැතුව ගායනා කළා.

කරුණාරත්න ඩී. පිලිප් මේ සිනමා ආගමනයට අමතරව වේදිකාවේදීද හපන්කම් දැක්වූ කාලයක් තිබිණි. ඔහු අතින් වේදිකා නාට්‍ය තුනක් නිර්මාණය විණි.

අතරමං වූවෝ, පෙත්තප්පු රූං රූං සහ උඩහගෙදර රත්තරං යනුවෙනි.

ඔය උඩහගෙදර රත්තරං නාට්‍යය කරද්දිත් අපූරු වැඩක් වුණා. මේකේ ප්‍රධාන චරිතය රඟපාපු නළුවාට, නාට්‍යය පෙන්නන දවසෙ එන්න බැරිවුණා. මම මාර කරදරේකට වැටුණේ. නිහාල් සිල්වා මේ නාට්‍යයේ රඟපෑවේ පුංචි චරිතයක්. සොල්දාදුවෙක්ගෙ චරිතයක්.

නිහාල් මගෙ ළඟට ආවා.

බයවෙන්න එපා. මේන් රෝල් එක මම කරන්නම්. නිහාල් කිව්වා.

ඔයා කොහොමද ඒක කරන්නේ. නිහාල් ඔයා මේ දෙබස්වත් දන්නවද?

ඒ ඔක්කොම මට කටපාඩම්. මාස දෙකක් තිස්සේ මම මෙතන ඒ චරිතය දැක්කනෙ. මං කරන්නම්. නිහාල් කිව්වා.

අන්තිමේදී මම නිහාල්ට වැඩේ බාර දුන්නා. මිනිහ පුදුම ලස්සනකට ඒ චරිතෙ කළා. මං පුදුම වෙලා බලන් හිටියෙ. අන්න නළුවො.

කරුණාරත්න ඩී. පිලිප් නම පත්තරවලටද අමුත්තක් නොවේ. ඒ ඔහු එකල කෙටිකතාකරුවකු ලෙසද ජනප්‍රිය චරිතයක් වූ බැවිනි. එනිසාම ඔහුගේ මතක රිදී තිරයෙන් පත්තර පිටුවටද විහිදෙයි.

කරුණාරත්න ඩී. පිලිප් පත්තරවලට ලියන්නට පටන් ගත්තේ පාසල් වියේදීමය. මුලින් මුලින් ළමා පිටුවලට පුංචි පුංචි නිර්මාණ ලියූ ඔහු පසුව ලොකු ලොකු සඟරාවලටද ලිපි සැපයුවේය.

එකල රසබර මතක ද බොහෝය. මේ ඉන් එක් සිදුවීමකි.

ස්කෝල යන කාලෙ, ස්කෝලෙ ඉවරවෙලා ගෙදර යන්න බස් එකට නගින්නෙ අද සුගතදාස ස්ටේඩියම් එක තියෙන තැනින්. 1958 දි විතර එතැන තිබුණෙ කුණු කන්දක්. මම බස් හෝල්ට් එකේ ඉන්න හුඟාක් දවස්වලට පාරෙන් එහා පැත්තෙ තිබුණු මුද්‍රණාලයෙ, ලස්සන තරුණයෙක් ලියන කියන වැඩ කර කර ඉන්නවා. එයා සමහරදාට කඩදාසියක් දිහා බලාගෙන කියවනවයි, මොනවද ලියනවයි මමත් හුඟාක් ආශාවෙන් ඒ දිහා බලා හිටියා.

එක දවසක් ඒ තරුණයා මට කතා කළා.

මා දැකලා තියෙනවා ඔයා හුඟක් වෙලාවට මගෙ දිහා බලාගෙන ඉන්නවා. මම මේ කතා කලේ ඒ මොකද අහන්න’’

එයා මගෙන් ඇහුවා.

ඔව්... ඔයා මොනවද කරන්නෙ කියල බලාගෙන හිටියෙ.

මේ කරන්නෙ සඟරාවක්. රිදී තිරය කියන චිත්‍රපටි සඟරාව.

එහෙම කියලා එයා මට සඟරාවක් දුන්නා.

ආස ද පොත් පත් කියවන්න.

ඔව්... ලියන්නත් ආසයි... දැනුත් ජතනා පත්තරේ කුමාර මණ්ඩපයට එහෙමත් ලියනවා...

එහෙනම් ඔය සඟරාව බලලා ගැලපෙන විදිහෙ ලිපියක් ලියලා දෙන්න. හොඳ නම් දාලා දෙන්නම්.

ඒ තරුණයා කිව්වා.

ඔයා කව්ද?

අන්තිමේදි මං ඇහුවා.

මම ඩීමන් ආනන්ද.

මට අදහගන්නත් බැරිවුණා.

මේ තරම් ප්‍රසිද්ධ මනුස්සයෙක්ද මේ කතා කර කර ලියන්න උදව් කරන්නෙ කියලා කල්පනා කළා. මං එදා ගෙදර ගියේ පුදුමයෙන්. ඊට පස්සෙ මම පරණ චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් කතා කරන විදිහට ලිපියක් ලියලා දුන්නා. ඒක සඟරාවෙ බොහොම ලස්සනට පළ කරල දුන්නා.

ඔය විදිහට රිදී තිරය සඟරාව පළකරනකම්ම මගෙ ලිපියකුත් පල කළා.

රස කතා ගොඩකි.

ඔය තරම් චිත්‍රපට ගීත ලියපු ඔබ චිත්‍රපට ගීත කලාවෙන් ඈත් වුණේ කොහොමද?

විමතියට පත් මම ඇසීමි.

ඊට පස්සේ එක එක්කෙනා චිත්‍රපට ගී ලියන්න පටන් ගත්තනෙ. මම කාගෙවත් පස්සෙන් ගියෙත් නෑනෙ. ඒකෙන් මට චිත්‍රපටි මිස් වුණා.

ඔහු සිනාසුණේ සැහැල්ලුවෙනි. ඉකුත්දා ජීවන ගමනේ අවුරුදු අසූව පසු කළ කරුණාරත්න ඩී. පිලිප් සමුගන්නට මත්තෙන් මෙසේද කීවේය.

මම මේ දවස්වල ඒ අතීත මතක පොතක ලියාගෙන යනවා.

ශාන්ත කුමාර විතාන