නපුරු චරිත වලින් මිදෙන්න බැරිවුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දශක ගණනාවක් වේදිකාව සහ පුංචි තිරය තුළ සිය රංගන ප්‍රතිභාවන් ඒකාලෝක කරමින් ප්‍රේක්ෂක හදවත දිනාගත් ඇය ශ්‍රියානි මහවත්ත අද අපි කතාබහ තුළින් මුණ ගැහෙන්න සිතුවා. ඇයගේ රුව දුටු ගමන් ඕනෑම කෙනෙකුගේ මතකය යන්නේ වෙළෙඳ දැන්වීම්වලට. වසර කිහිපයක්ම කලාකටයුතු වලින් දකින්නට නොලැබුණත් වෙළෙඳ දැන්වීම් වලින් ඉඳහිට හෝ දකින්නට ලැබුණ ඇයව දිගු නිහැඬියාවකින් පසුව රන්තිලිවැව ටෙලි නාට්‍ය හරහා ඔන්න මේ දිනවල පුංචි තිරයෙන් මුණ ගැහෙනවා.

 

20200628Shriyani-(1)

රන්තිලි වැව ටෙලි නාට්‍යයත් එක්ක ඔබ ප්‍රේක්ෂකාගාරයට සමීප වෙන්නේ බොහොම කාලෙකට පස්සේ?

ඇත්තටම  ඔව්. මම ටෙලියක රඟපාන්නේ අවුරුදු දෙකහමාරකට විතර පස්සේ. මට රන්තිලිවැව ටෙලි නාට්‍ය එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ අහම්බෙන්. ඉස්සර වැඩ කරපු කෙනෙක් තමයි මෙහි අධ්‍යයක්ෂ චනික පෙරේරාට මම ගැන කියලා තිබුණේ. කාලෙකට පස්සේ හම්බවුණ නිර්මාණයක් නිසා මේ වලව්වේ රෙදි අපුල්ලන රෙදි නැන්දගේ චරිතය මම භාරගත්තේ හරිම ආසාවෙන්. මේ චරිතය ඇතුළේ මට කරන්න යමක් තියේවි කියලා මම හිතුවා.

 

ශ්‍රියානි මහවත්ත කිව්වම ඒකාලේ ටෙලි නාට්‍ය වල නිතර දකින්නට ලැබුණු මව්වරුන්ගේ සහ වැඩිහිටි චරිත වලින් ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත චරිතයක්

මුලින්ම 87, 88 කාලෙදි තමයි මට ටෙලි නාට්‍ය වලට එන්න අවස්ථාව උදාවෙන්නේ. ඒ K.H.පෙරේරා මහතාගේ ‘ගමන’ ටෙලි නාට්‍යයෙන්. ඒ ටෙලි නාට්‍යයේ මම කළේ හරිම නපුරු චරිතයක්. මට මතකයි ඒ කාලේ චරිතේ නපුරු නිසා ප්‍රේක්ෂකයෝ මට බැනලා ලියුම් එවලා තිබුණා. ඊට පස්සේ රිදී රේඛා, රිදී සීනු වගේ ටෙලි නාට්‍ය ගණනාවක රඟපාන්න මට අවස්ථාව ලැබුණා. ඒ කාලේ විකාශණය වුණු හැම ටෙලියකම වගේ සුළු චරිතයක් හරි මම කළා. K.W. පෙරේරා මහත්තයා, විජය ධර්මශ්‍රී, ලක්ෂ්මන් පුෂ්පකුමාර මට කලා ජිවිතේ ඉදිරියට යන්න ඒකාලේ ගොඩාක් ගුරුහරුකම් දුන්න අධ්‍යක්ෂවරු.හැබැයි මගේ කලා ජීවිතේ උපත සිදුවන්නේ 1984 දී ඒ වේදිකාවෙන්.

 

ඒ වේදිකාවට දැන් ආයුබෝවන් කියලද?

වේදිකාව ගැන කියනකොට මට මතක් වෙන්නේ මගේ අතීතය. පාසල් කාලේ ඉඳලම පාසල් වේදිකා නාට්‍ය වලට මම දායක වුණා. හැබැයි කවදාවත් නිළියක් වෙන්න පුළුවන් වේවි කියලා හිතුවේ නැහැ. ඇත්තම කියනවානම් ඒ කාලේ රඟපෑමේ උණක් මට තිබුණා. තරුණ කාලේ චිත්‍රපටියක් හරි, වේදිකා නාට්‍යයක් හරි බලලා ගෙදර ආවාම ඒ චරිත කණ්ණාඩිය ඉස්සරහට ගිහින් රඟපෑමේ පිස්සුවක් තිබුණා. කොහොම හරි ‘ගැලවුම්කාරයෝ’ වේදිකා නාට්‍යයෙන් කලාවට ගොඩ වෙච්ච මම ඊට පස්සේ වේදිකා නාට්‍ය 50, 60 විතර එකදිගට රඟපෑවා. මම තරුණ වුණාට මට හරි ආසාවක් තිබුණා මව්වරුන්ගේ චරිත කරන්න. මගේ පෙනුමට මට ඇත්තටම මව්වරුන්ගේ චරිත, වැඩිහිටි චරිත හරියට ලැබුණා. ඇත්තටම මම රඟපාපු නිර්මාණ අතරින් එක ඉත්තක මල් වේදිකා නාට්‍යයේ විතරයි තරුණියකගේ චරිතයක් රගපෑවේ රඟපාපු අනෙක් සියලු චරිත වැඩිහිටි චරිත. ඉතින්.... ආයේ වේදිකාවට ගොඩ වෙන්න ආසයි. හොඳ නිර්මාණයක් ලැබුණොත් බලමුකෝ.

 

K.W. පෙරේරා මහත්තයාගේ ‘ගමන’ ටෙලි නාට්‍යයෙන් පටන්ගත් ගමනට එක පාරට මොකද වුණේ?

ටෙලි නිර්මාණ තුළින් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වේගන එද්දි මගේ ජිවිතේ හිටි හැටියේම කඩාගෙන වැටුණා. ඒ 1988 දී වේදිකා නාට්‍යයක පුහුණුවීම් ඉවර වෙලා ගෙදර යද්දී පිටකොටුව මල්වත්ත පාරෙදි බෝම්බයකට අහුවෙලා මාව දරුණු ලෙස අනතුරකට ලක්වුණා. බෝම්බ ප්‍රහාරයෙන් මගේ කොන්ද ප්‍රදේශයට දැඩි ලෙස හානි සිදුවුණා. මාස ගණනක් මාව ඇඳකට කරලා තිබුණ කාලේ මානසිකව මම ගොඩාක් කඩා වැටුනා. ඒ වෙලාවේ K.W. පෙරේරා මහත්මය, මගේ සුවදුක් බලන්න ඇවිල්ලා කිව්වා කිසිම දේකට බය වෙන්න එපා. සනීප වෙලා ආයෙම රඟපාන්න පුළුවන් මගේ ‘ප්‍රමාද වැඩියි’ අලුත්ම ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය දෙන්න ඉන්නේ ඔයාට කියලා මගේ හිත හරියට හැදුවා. ‘ප්‍රමාද වැඩියි’ ටෙලි නාට්‍යයේ රූගතකිරිම් වලට මාව එක්ක ගෙන යද්දී මගේ තුවාලවත් සුවවෙලා තිබුණේ නැහැ. ඊට පස්සේ මට දිගටම රඟපාන්න චරිත ලැබුණා. ඒ හැම චරිතයක්ම නපුරු චරිත. පස්සේ පස්සේ මාව නපුරු චරිතවලට කොටු වෙන්න ගත්තා. ලැබුණු ටෙලි නාට්‍යය ගොඩාක් ඒවා මම ප්‍රතික්ෂේප කළා. මට ඕන වුණා නපුරු චරිතවලින් මිදෙන්න.

20200628Shriyani-(2)

නපුරු චරිතවලින් මිදෙන්න හැදුවට තාමත් මිදෙන්න බෑ නේද?

අයියෝ ඒකනේ. වසර කිහිපයකට පස්සෙත් රන්තිලි වැවේ ටෙලි නාට්‍යයේ ලැබුණෙත් නපුරු චරිතයක්. කාලෙකට පස්සේ රඟපාපු නිසා ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. වැඩි හරියක් ඉතින් දෝෂාරෝපණ තමයි. මම නපුරු චරිත කළාට සැබෑ ජිවිතේ ඇත්තටම මම නපුරු සැරපරුෂ කෙනෙක් නෙමෙයි.

 

දීර්ඝකාලයක් කලාව තුළ තමන්ටම කියලා මේ කැමරාකාචය ඇතුලේ තැනක් ගොඩනගාගත්ත ඔබ පසුගිය කාලේ ඇයි කලාවෙන් ඈත්වුණේ?

මගේ රංගන ජිවිතේ පටන්ගත්තේ 1984 වර්ෂයේදී දැන් මගේ කලා ජිවිතේට අවුරුදු 36 ක් වෙනවා. පසුගිය කාලේ මට හිතුනා නිවාඩුවක් ගන්න ඕන කියලා. මගේ පුතාලා දෙන්නෙක් ඉන්නේ විදේශගතවෙලා. එයාලගේ ගෙවල් වල මාස කිහිපයකට ගිහින් දරුවොත් එක්ක ඉඳලා එන්න ඕන. ඉතින් ඒ දේවල් එක්ක මම පසුගිය කාලෙම වැඩකටයුතු භාරගත්තේ නැහැ. ඒත් පුළුවන් වෙලාවට වෙළෙඳ දැන්වීම් කිහිපයකට නම් දායක වෙන්න ලැබුණා. මේ දවස්වල මම ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරගෙන යනවා. දැන් නම් දිගටම කලා කටයුතු වලට දායක වෙන්න හිතාගෙන ඉන්නවා.

 

ජීවිතේ ගැන අද මොකද හිතෙන්නේ?

ජීවිතේ ඉතින් සුන්දරව ගලාගෙන ආවේ නැහැ. කරදර බාධක, හැලහැප්පීම්, එක්ක මේ ආපු ගමන ගැන අද මට දුක්වෙන්න කිසිම කාරණයක් නැහැ. මගේ දරුවෝ තුන්දෙනාම විවාහකයි. ඒ අය සමාජයේ හොඳ තැන්වල ඉන්නවා. අම්මා කෙනෙක් විදිහට මම තෘප්තිමත්. දැන් මම මුණුපුරු මිනිපිරියන් 7 දෙනෙකුගේ මිත්තනියක්. ජීවිතේ අද මම නිදහසේ විඳිනවා. කලාවටත් හැකි උපරිමයෙන් මම දායක වෙලා තියෙනවා. කලාවෙන් ඈත් වෙන්නේ නැහැ. හැකි අයුරින් දිගටම කලාවට මගේ දායකත්වය ලබාදෙනවා.

 

නදීශා අතුකෝරළ