විශාල ලියුම් කන්දරාවක් ලැබෙන්න ගත්තා. විවාහ යෝජනා පවා එන්න ගත්තා. සමහරු අදටත් දුරකථනයෙන් කතා කරනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200730Manike-(1)

මම රංගනයට, ගායනයට, නර්තනයට මුලින්ම සම්බන්ධ වුණේ පාසල් අවධියේදී. ඒ කාලේ මම පාසලේ ජනප්‍රිය චරිතයක්. බොහෝ දෙනා මගේ හැකියාවන් හඳුනාගෙන හිටියා. ඒ කාලේ මම පාරේ යද්දී වැඩිහිටියෝ මගේ ඔළුව අතගානවා. මුහුණ අතගානවා. ඒ කාලේ පාසලේ සාහිත්‍ය සංගමයේදී මට අනිවාර්යයෙන්ම සින්දු, කවි ගයන්න අවස්ථා ලැබෙනවා. මම කවි ගායනා කරද්දී හැමෝම නිදහස්ව අහගෙන ඉන්නවා. පාසලත් එක්ක මිහිරි මතකයන් ගොන්නක් මට තියෙන්නේ. ඒ යුගයේ ලැබුණු සතුට කියලා නිම කරන්න බැහැ”

 

පාසල් යුගයේදී ඇයගේ කුසලතාවන් පෙන්නුම් කළ මිහිරි මතකය සේම පාසලේදී ඇය පෙන්නුම් කළ දක්ෂතාව නිසා දැරියක ලෙස ලබාගත් ආදරය ඇය මතක් කළේ එලෙසිනි.

 

ඇය සිය දක්ෂතාව පාසල් වේදිකාවෙන් හමාර නොකර ඉදිරිය වෙනුවෙන් ඔපමට්ටම් කරගන්නියක් විය. ඇය හා හා පුරා කියා ප්‍රසිද්ධ වේදිකාවට පය තියන්නට සුදුසු හැදෑරීම් පසුබිමක් ගොඩනඟන්නට වූයේ පදනම ශක්තිමත් නම් යා හැකි මඟද ශක්තිමත්ව ගොඩනඟා ගන්නට හැකිය යන්න, ඉවෙන් මෙන් වැටහුණු නිසාද විය හැකිය.

 

මම ධම්ම ජාගොඩ මහත්මයා මෙහෙයවපු රංග ශිල්ප ශාලිකාවේ නාට්‍යකරණය පිළිබඳ පාඨමාලාවකට සම්බන්ධ වුණා. ධම්ම ජාගොඩ මහත්මයා මට ගීතයක කොටසක් ගායනා කරන්න කියලා එය අහගෙන ඉඳලා කියපු දෙයක් අදටත් මට මතකයි. ඔහු මට කිවුවා “මම කාවවත් මුරුංගා අත්තේ තියන්නේ නැහැ. පාඨමාලාවේ මාස හය හරියට කර ගත්තොත් මැණිකේ ලංකාවට නැතිවම බැරි නිළියක් වෙනවා” කියලා.

 

ඇය ධම්ම ජාගොඩයන් කියූ පරිද්දෙන්ම ලංකාවේ වේදිකාවට, පුංචි තිරයට නැතිවම බැරි නිළියක් බවට පත්විය.

 

ප්‍රසිද්ධ වේදිකාවේ මනමේ, සිංහබාහු, වෙස්සන්තර, මහාසාර, ලෝමහංස, දික්තල කාලගෝල ඇතුළු අති විශාල නාට්‍ය ගණනාවකට ඇයගේ රංගනය, ගායනය එකතු වූයේ ඒ සෑම නාට්‍යයක් පාසාම ඇය පෙන්නුම් කළ රංගන ප්‍රතිභාවය ප්‍රේක්ෂකයන් දිනාගන්නා තරමට තියුණු වූ නිසාවෙනි.

 

මට මතකයි අපි ඒ කාලේ, ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ නාට්‍යයක් කරද්දී පුදුම සෙනඟක් ඉන්නේ. ශාලාව පිරෙන්න ප්‍රේක්ෂකයෝ ඉන්නවා. අත්පොළසන් දෙනවා. නාට්‍ය ඉවරවෙලා වේදිකාවෙන් බහිද්දී හැමෝම අපිට සුබ පතනවා.

 

දික්තල කාලගෝල නාට්‍යයේ මම ගස්සගෙන වේදිකාවට එද්දී ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර හරිම සුන්දරයි. මම දශක තුනක් පුරාවට වේදිකාවේ දික්තලා වුණා. සරච්චන්ද්‍ර මහත්මයාගේ ලෝමහංස නාට්‍යයේදී මිහිරි ගායනාව අහලා නන්දා මාලනිය, අමරදේව මහත්තයා, කාලෝ ෆොන්සේකා මහත්මයා වගේම විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු දක්වපු ප්‍රතිචාරය හරිම විශිෂ්ටයි. සරච්චන්ද්‍ර මහත්මයා කියන්නෙත් අපිට හරි ආදරයෙන් සලකපු, දක්ෂතාවට ගරු කළ කෙනෙක්.”

 

බොහෝ දෙනෙක් මැණිකේ අත්තනායකව හැඳින්වූයේ වේදිකාවේ ගිනි සිළුව ලෙසිනි. වේදිකාව තුළ දිදුලන හඬක් හිමි ශිල්පිනියක ලෙස ඇය බොහෝ දෙනාගේ ආදරයට, ගෞරවයට පාත්‍ර විය. වේදිකාවේ කළ ඉදිරිපත් කිරීම්වලට ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන ඇය මතක් කළේ නිහතමානීවය.

 

මම වේදිකාවේ කළ රංගනයට, ගායනයට ප්‍රේක්ෂකයන්ගේ වචනවලින් ලැබුණු ප්‍රතිචාර බොහෝමයි. මගේ හඬ අමතක නොවන හඬක් කියලා. බොහෝ දෙනා මට කියලා තියෙනවා. මැණිකේ නෙමෙයි ඔබ මැණිකක් කියලා ප්‍රේක්ෂකයන් කිව්වා. ක්ෂේත්‍රයේ අය කිව්වා. අපේ නාට්‍ය ගැඹුරින් රස වින්ද ඒ අයගෙන් ලැබුණු ප්‍රතිචාර අපිට හරියට වටිනවා. අපි කරපු නිර්මාණවල ප්‍රේක්ෂකයන්ට අරගෙන යන්න දෙයක් තිබුණා. ‘කැලණි පාලම’ වගේ නාට්‍ය කරද්දී නරඹන්නන් ඔල්වරසන් දෙද්දී අපිට රංගනය ඉදිරිපත් කරන්න විනාඩි දෙක, තුන නිශ්ශබ්ද වෙලා ඉන්න සිද්ධ වෙලා තියෙනවා. එයාලා අත්පුඩි ගහනකල්, හිනාවෙනකල් අපි නිශ්ශබ්දව ඉන්නවා.

 

මම කැලණි පාලම නාට්‍ය අවුරුදු තිහකට අධික කාලයක් රඟපෑවා. ඒ නාට්‍ය එක්ක රට වටේ ගියා. ඒ කාලේ යාපනේ විතරයි අපි නොගියේ. රටේ හැම තැනකදීම අපේ රංගනයට ලැබුණු ප්‍රතිචාර විශිෂ්ටයි. සමහර ප්‍රේක්ෂකයෝ ආසන පිරිලා නිසා ටිකට් අරගෙන ශාලාවට ඇවිත් හිටගෙන නාට්‍ය බැලුවා. ඒ කාලේ තිබ්බ ප්‍රේක්ෂක ප්‍රතිචාර දැන් කිසිම කෙනෙක්ට ලැබෙනවා කියලා හිතන්න බැහැ. අපිට ඒ කාලේ ලැබුණු ප්‍රතිචාර මගේ හදවතේ, මනසේ රැඳිලා තියෙනවා. නින්දට යනකොට පවා ඒ දේවල් මතක් වෙද්දි සතුටක්, තෘප්තියක් හිතට දැනෙන්නේ.”

 

ඇය ශෛලිගත සේම ස්වාභාවිත නාට්‍ය යන එකකට එකක් වෙනස් වේදිකා නාට්‍ය රැසකට සිය රංගනය මුහු කළා. ඒ නිසාම ඇයට විවිධ ප්‍රේක්ෂක කොට්ඨාසයන්හි ආදරය හිමි විය.

 

මම ඒ කාලේ ඉඳන් මගේ රංගනය ගැන පළවුණු ලිපි එකතු කළා. මගේ මෙට්ටේ යට තාමත් ඒවා තියෙනවා. කැලණි පාලමේ රූපවතී සහ සමුද්‍රදේවි කියන්නේ දෙන්නෙක්. හැමෝම මම ඒ කළ රංගනයන් අගය කළා. ඒ වගේ ප්‍රතිචාර ලැබුණු යුගයක් ආයේ එන එකක් නැහැ. ඒ ලැබුණු ප්‍රතිචාර මම මියෙනතුරු සතුටින් වින්දනය කරනවා. මම විඳින්නේ නිහතමානි ආඩම්බරයක්. අදටත් කොහෙට ගියත් ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර අඩුවෙලා නැහැ.”

 

ඇය ප්‍රේක්ෂක ප්‍රතිචාර වින්දනය කරන සෙනෙහෙවන්තියකි. ඇය අතීතය හා බැඳී ආ ඒ මතක එකිනෙක ලෙහා බැලුවේද ඒ සෙනෙහෙවන්තකම පෙන්වමිනි. වේදිකාවට සේම පුංචි තිරයටද ඇය නැතිවම බැරි රංගන ශිල්පිනියක විය. පළිඟු මැණිකේ නිර්මාණයෙන් ඇය බොහෝ දෙනා අතර තව තවත් ජනප්‍රියත්වයට පත්විය. ඇය පළිඟු මැණිකේට කළ සාධාරණය නිසාම ප්‍රේක්ෂකයන්ට ඇය පළිඟු මැණිකේ ලෙසින් දශක ගණනාවක් පුරා මතකයේ රන්දන්නට හැකියාව ලැබිණි.

 

පළිඟු මැණිකේ තුළින් මම එළියට ආවට පස්සේ මට මහා විශාල ලියුම් කන්දරාවක් ලැබෙන්න ගත්තා. විවාහ යෝජනා පවා එන්න ගත්තා. සමහරු අදටත් දුරකථනයෙන් කතා කරලා පළිඟු මැණිකේ වැනි නිර්මාණවල මම කළ රංගනය අගය කරනවා. සමහරු මගේ වේදිකා නාට්‍ය පහළොස් වතාව, දහ අට වතාව බැලුවා කියලා කතා කරලා කියනවා. මම ටෙලි නාට්‍ය දෙසීයක විතර රඟපාලා තියෙනවා. මම රඟපාපු එක ටෙලි නාට්‍යයක්වත් අසාර්ථක වුණේ නැහැ. සමහර නාට්‍ය මට අමතක වුණත් ප්‍රේක්ෂකයෝ මට කතා කරලා කියනවා අහවල් නාට්‍යයේ ඔබේ චරිතයට අපි කැමැතියි කියලා. එවැනි ප්‍රතිචාර ලැබෙද්දී සතුටක් දැනෙන්නේ. මනෝ මන්දිර, තට්ටු ගෙවල්, මල් කැකුළක් වැනි බොහෝ නාට්‍යවලට ප්‍රේක්ෂකයෝ ආදරය කළා”

 

මැණිකේ අත්තනායක සිනමාවටද සිය රංගනය මුහු කළාය. දුවට මවක මිස, වරදට දඬුවම්, සුරබිදෙන, ධවල පුෂ්පය ඇතුළු චිත්‍රපට පනහකට අධික සංඛ්‍යාවකට ඇගේ රංගනය එක්වී තිබිණි. මෑත යුගයේ ඇය රංගනයෙන් සම්බන්ධ වූ ‘වන්ෂොට්’ වැනි සිනමා නිර්මාණ වෙනුවෙන්ද බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ඇයට ලැබී තිබිණි.

 

මම මුල් කාලේ ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පීන්, ශිල්පිනියන් එක්ක රඟපෑවා. මට ගාමිණී ෆොන්සේකා මහත්මයා එක්ක විතරයි රඟපාන්න බැරි වුණේ. මට 1987 දී කලාසූරි සම්මානය ලැබුණා. මුල් යුගයේ මට ලැබුණු ගෞරවය, ආදරය මට අදටත් ලැබෙන එක සතුටක්. රිදී නිම්නය චිත්‍රපටයේ ‘ප්‍රභා’ චරිතයෙන් මම ගොඩාක් ජනප්‍රිය වුණා. මංගල තෑග්ග, මැණික් මාලිගා, වරදට දඬුවම් වගේ මම රඟපාපු බොහෝ චිත්‍රපටත් ජනප්‍රියත්වයට පත්වුණා. පරණ චිත්‍රපට දැන් විකාශය වෙද්දි වුණත් ‘මම එදා වගේමයි’ කියලා බොහෝ දෙනෙක් කතා කරලා කියනවා. අපි ඉස්සර වාණිජ අගයම විතරක් හිතලා නෙමෙයි වැඩ කළේ. සුළු මුදලකට තෘප්තිය වෙනුවෙන් අපි නිර්මාණ කළා. ඒ කළ නිර්මාණවලට ලැබෙන ප්‍රතිචාර මුදලට ගන්න බැහැ.”

 

ඇය තමන්ට ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර, වින්දනය කරමින් තව තවත් හදගැස්මේ කතාබහ තුළ දිගහැරියා.

 

අපිව ප්‍රේක්ෂකයන් ආදරය කරන නිර්මාණ තුළට ගෙන ආපු අධ්‍යක්ෂවරුන්වත් මේ වෙලාවේ මතක් කළ යුතුයි. ඔවුන් තමයි අපිට මේ ගමන එන්න උදවු කළේ. අපිට මුල අමතක කරලා ජීවත් වෙන්න බැහැ. අදටත් මට ප්‍රේක්ෂකයන්ගේ ආදරය ලැබෙන්නේ ඔවුන් කළ නිර්මාණ නිසා. මට මතකයි අපි කැලණි පාලම නාට්‍ය අරගෙන ඕස්ට්‍රේලියාවට ගියා. ඒ වගේම පහුගිය වසරේ ඇමෙරිකාවේ සංචාරයකට ගියා. නාට්‍ය ගීත ප්‍රසංගයක් එරට තැන් අටක විතර කළා. ඉතාම හොඳ ප්‍රතිචාර ඒවාටත් ලැබුණේ. පිටරටවලට ගියාම සමහරු තමන් අතේ තියෙන දේවල් පවා අපිට තෑගි කරලා තියෙනවා. අපි ප්‍රසංගයට එනකල් බලාගෙන ඉඳලා ප්‍රේක්ෂකයෝ තෑගි බෝග දීලා, පින්තූර ගත්තා. මට මුල් යුගයේ තිබුණ ජනප්‍රියත්වය තවම තියෙනවා.”

 

මැණිකේ අත්තනායක වේදිකා, නිර්මාණ හැත්තෑවකට අධික සංඛ්‍යාවකිනුත් චිත්‍රපට පනහකට අධික සංඛ්‍යාවකිනුත් ටෙලි නාට්‍ය දෙසීයකට අධික සංඛ්‍යාවකිනුත් දශක හතරක් පුරා ප්‍රේක්ෂකයන් හමුවට විත් ලබාගත්, එක් රැස් කරගත් අපූර්ව රසික මතකයන්ට ඇය ලබා දෙන්නේ අතිවිශාල අගයකි. ඇය කී හැම වචනයක් පාසාම ඒ අගය රැඳී තිබිණි.

 

මට ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර මාව ජීවත් කරවනවා. අපි මුදලට වඩා කලාවට ආදරයෙන් වැඩ කළේ. ඒ නිසා මම ආදරෙන් කළ දේවල්වලට ලැබුණු ප්‍රතිචාර මට හැමදාමත් අගෙයි.”

 

ඇයගේ ඒ වචන තුළ අපූර්ව රසික මතකයන් ඇත්තටම ඇයට අගේ බව දැනෙනු නොඅනුමානයි.

 

තිළිණි කෞශල්‍යා විජේසිංහ

20200730Manike-(2) 20200730Manike-(3)