මම ආදරණීය මිනිසෙක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය සමයේදී ශ්‍රී ලාංකීය රංගන ක්ෂේත්‍රයට දායාද වූ තවත් සැබෑ දක්ෂයකු ලෙස දිනෙත් ද සිල්වා, තුරුණු රංග ශිල්පියා නම් කිරීමට පුළුවනි. විකාශය වූ සංසාරාරණ්‍ය අසබඩ ටෙලි මාලාවේ ‘ආගන්තුකයා’ චරිතය රඟපෑ දිනෙත්, මේ දිනවල ප්‍රේක්ෂකයා අතරට පැමිණෙන්නේ ‘ෂෙලීනා’ චිත්‍රපටයේ ‘ප්‍රතාප්’ නම් වූ චරිතය සමගයි. වෘත්තියෙන් නිරූපණ ශිල්පියකු හා රංගන ශිල්පියකු ලෙස කටයුතු කරන ‘දිනෙත්’ සමග වූ පිළිසඳරකි මේ.

 

දිනෙත්’ ෂෙලීනා සමග? මේ චරිතය ගැන කියමු.?

මෙම චිත්‍රපටය ත්‍රාසජනක තේමාවක් යටතේ නිර්මාණය වූවක්. පසුගිය කාලයේ කළ චරිතවලට වඩා වෙනස්ම අත්දැකීමක් වේවි. ප්‍රේක්ෂකයන්ට නැවුම් අත්දැකීමක් වේවි. පිටපත කියවද්දීත් මේකෙ තුළ සියුම් චරිත, නිරූපණය කළ හැකි ඉඟි-බිඟි මට හොඳටම දැනුණා. පූජිතගෙ පිටපත. චන්දන එදිරිසිංහගෙ අධ්‍යක්ෂණයක්. මගේ චරිතයේ නම ‘ප්‍රතාප්’. ගුප්ත චරිතයක්. මිනීමැරුමක් වටා ගෙතුණු චරිතයක්. ප්‍රේක්ෂක අවධානය මෙන්ම කුතුහලය රඳවාගෙන ගලා යන චරිතයක්. මට නළුවකු ලෙස වෙනස්ම අත්දැකීමක් ප්‍රේක්ෂකයන්ට දීමට හැකිවුණා. ඒ වගේම මටත් වෙනස්ම අත්දැකීමක්. මේ චරිතය තුළ ආදරය, ජීවිතයේ කඩාවැටීම්, ස්වභාව ධර්මයට අනුගත වී සොබා දහමට ආදරය කරන ස්වභාවය තියෙනවා. තම රාජකාරිය උදෙසා, ජීවිතය කැප කළ චරිතයක් සහ සමාජ අසාධාරණය හමුවේ නැගී සිටින්නා වූ චරිතයක්.

 

මේ චරිතය සහ ඔබගෙ ජීවිතය එක්ක ගත්තාම සමානකම් එහෙම තියෙනව ද?

මගේ ජීවිතයේදීත් මම මහපොළවෙ පයගහලා ඉඳිමින් මිනිස්සු එක්ක ජීවත්වන සරල පුද්ගලයෙක්. අසාධාරණය හමුවේ කතා කිරීමට පසුබට නොවන කෙනෙක්. ඒ නිසා මගේ ජීවිතයට මේ චරිතය මට සමීපයි. ඒ නිසා මේ චරිතය මට දැනෙනවා වැඩියි.

 

සැබෑම දිනෙත් කවු ද?

සැබෑම දිනෙත් අර කිව්වා වගේ මේ චරිතය වෙතින් හමුවෙනවා. යහළු මිත්‍රයින් සිටින, බොහොම සරල නිහතමානී වගේම බොහොම ආදරණීය කෙනෙක්.

 

ඒ ආදරණීය තරුණ රංග ශිල්පියාගේ ‘ආදරය’ මොන වගේ ද?

ආදරය වෙනුවෙන් සැබෑ ආදරයට බෙහෙවින් ගරු කරන, ආදරය කරන කෙනෙක්. මිනිසුන්ට සොබා දහමට එක ලෙස ආදරය කරන කෙනෙක්. ආදරය වෙනුවෙන් අවංකවම උපරිමයෙන් ආදරය කරන කෙනෙක්.

 

කොහොම ද අද දවසේ ඔබගේ ජීවිතය ගලා යන්නෙ?

බොහොම සතුටින් ගෙවී යනවා. විවාහක නිසා බිරිඳ නිසා සතුටින් ගෙවී යනවා. පවුලේ අය නිසාත්, යාළු මිත්‍රයන් නිසා ජීවිතය සතුටින් පිරිලා. පසුගිය කාලයේ කොරෝනා නිසා කඩා වැටුණු අපේ ජීවිත යළි උද්දීපනය වන මොහොතක්. නැවත සාමාන්‍ය තත්ත්වයට රට පත්වෙන නිසාත්, අපේ රටත් නැවුම් මුහුණුවරකින් පටන්ගෙන යන මොහොතක්. පුද්ගලිකව මගේ ජීවිතයත් නැවුම් වෙලා. සතුටක් දැනෙන්නෙ.

 

දිනෙත්, මේ විදියට කලා අංශයට ආවේ නැත්නම්?

සමහර විට විදේශ ගත වෙලා ඉඳීවි. වෙන පැතිකඩකට යන්න තිබුණා. ව්‍යාපාර වගේ දේ කරමින් විදෙස් රටක ගෙවෙන්න තිබුණා. ඒත් කලාව නිසා නැවත ලංකාවට ඇවිත් ඒ ගමන වෙනස් වුණා. දිගින් දිගටම කලාවට සම්බන්ධ නොවුවා නම් විදේශයක ඉන්න තිබුණා.

 

බිරිඳගෙන් ලැබෙන ප්‍රතිචාර මොන වගේද?

බොහෝම හොඳයි. සෑම නිර්මාණයක් පිටුපස එයා ඉන්නවා. මේ දේවල් කරද්දී මානසික නිදහස හරි වැදගත්. ඇය නිබඳ සහායක් ලබාදෙනවා. එය මට ලොකු ශක්තියක්.

 

ඇයගෙ නම?

අරෝෂා සිතාරි පතිරණ.

 

ඇය මොනවද කරන්නෙ?

ගෘහණියක්.

 

ඒ ප්‍රේමය ගැන කෙටියෙන් කියමු?

සිව් වසරක කාලයක් ගතවුණා. බොහොම සතුටින් ගත වෙනවා. ඉදිරියත් ඒ විදියට ගත කිරීම තමයි බලාපොරොත්තුව.

 

අද දිනෙත්ගෙ ප්‍රධාන වූ වෘත්තිය?

රංගන ක්ෂේත්‍රය තමයි. ඉදිරියේදී සුළු සුළු විදියට ව්‍යාපාර කටයුතු වලටත් සම්බන්ධ වේවි. දැනට රංගනය හා නිරූපණය.

 

මේ චරිතය ගැන ඔබ බොහොම සතුටින් කතා කළානේ. රූගත කරද්දී මුහුණ දුන් සිදුවීම් තියෙනව ද?

අපි ඉතා සතුටින් පුංචි පවුලක් වගේ ඔක්කෝම කට්ටිය එකතු වෙලා. රූගත කිරීම් කළා. රංගන ක්ෂේත්‍රයට අලුත් නිළියක් වන අමන්දා සිල්වා, එතකොට අනුජ් රණසිංහ සහ නිර්මාණ දෙපෙළ ඇතුළු පිරිස එක්ක හොඳ නිර්මාණයක් අපට දායා ද කරන්න පුළුවන් වුණා.

 

කොහොමද ප්‍රතිචාර?

බොහෝම හොඳ ප්‍රතිචාර. කොරෝනා පීඩනයෙන් මිදිලා, මේ තේමාව වෙනස්ම අත්දැකීමක් ප්‍රේක්ෂකයා විඳින බව පෙනෙනවා. වෙනස් අත්දැකීමක් කියලා බොහෝදෙනා ප්‍රකාශ කරනවා. ලංකාව පුරා හොඳින් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද තිරගත වෙනවා.

 

ප්‍රතාප්’ ගැන ගෙදර බිරිඳගෙ ප්‍රතිචාර කොහොමද?

ඇය බොහෝම සතුටු වෙනවා. රූපගත කරද්දි පවා ඇය සහභාගි වුණා. නැරඹූ මුල්ම දවසේ ඇය බොහෝම සතුටු වුණා. හොඳම සුබ පැතුම ඇයගෙන්.

 

කොහොමද ඉදිරි නිර්මාණ මොනව ද?

නොවැම්බර් මාසයේ, බොහෝදෙනා ආසාවෙන් බලා හිටපු, මාත් ආසාවෙන් බලාන හිටපු සත්‍ය කතාවක් ඇසුරින් කළ හිතුමතේ ජීවිතේ චිත්‍රපටය. ඊට පසුව ‘කන්දක් සේ මා’ චිත්‍රපටය තිරගත වීමට නියමිතයි. අද්මිරාල් සරත් වීරසේකරගෙ දෙවැනි චිත්‍රපටය වන ‘ශ්‍රී සිද්ධා’ චිත්‍රපටය ළඟදීම විකාශයට නියමිතයි.

 

දිනෙත්’ මේ හැර ඔබ තව වෙන මොනවටද දක්ෂ?

අංගම්පොර සටන් කලාව ගැන හැදෑරුවා. ඒ හැර අශ්ව ධාවනයට, කඩු හරඹ වැනි සටන් කලා යම්තාක් දුරකට ප්‍රගුණ කළා. ඒවාට දක්ෂයි කියලා කියන්න පුළුවන්.

 

කෙටියෙන්ම කියන්න, ජීවිතය ගැන කොහොමද විග්‍රහ කරන්නෙ?

ජීවිතය දහමට අනුව නම් දුකක්. මිනිස්සු ලෙස ඉපදිලා ජීවත්වන කෙටි කාලයේ දී, රටට ලෝකයට අර්ථවත් විදියට, සොබා දහමට සුළඟට, පොළවට, ඥාති පිරිවරට, යහළු මිත්‍රයන්ට එකිනෙකාට ගරු කරමින්, උදවු උපකාර කරමින් ජීවත්වීම සහ හරි අවබෝධයකින් ජීවත් වුනොත්, මනුෂ්‍යයන් ලෙස ජීවත් වූ ජීවිතය පොළවට බරක් නොවේවි.

 

සඳුන් ගමගේ

20200910Dinith (2) 20200910Dinith (1)