මම තරම් චොකලට් කෑ කෙනෙක් තවත් ඇත්ද මන්දා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අපි සත්තුන්ට බෙහෙත් කරන්නෙ නෑ. මිනිසුන්ට විතරයි බෙහෙත් කරන්නෙ.

මිනිසුන්ට විතරක් බෙහෙත් කරනවා නම්, ඇයි මහ ලොකුවට මේකෙ ඇනිමල් ක්ලිනික් කියලා බෝඩ් ගහගෙන ඉන්නෙ?

ඔය හුරතලයට ඇතිකරන පූසන්ට, ගිරවුන්ට, මයිනන්ට වගේ විතරයි, බෙහෙත් කරන්නෙ?

එතකොට ඌරා කියන්නෙ ඇනිමල් ගණයට අයිති සතෙක් නෙවෙයි ද?

මෙම දෙබස් ඇතුළත් වෙන්නෙ අසංක සායක්කාර නාට්‍ය නිර්මාණ වේදියාගේ ‘ඌරෝ අතර පෝක්’ නාට්‍ය නිර්මාණයේය. මෙය ශ්‍රී ලාංකික වේදිකාවට දායාද වූ හරි වෙනස් නාට්‍ය නිර්මාණයක් ලෙස සඳහන් කළ හැකියි. සමස්ත නාට්‍ය ගලා යන්නෙ චරිත ද්විත්වයක් සමග පමණය. එහි එක් චරිතයක්, එනම් කාන්තාව හෙවත්, කතාවේ හැටියට ඊරියකගේ චරිතය රඟපාන්නේ සම්මානනීය රංග වේදිනියක වන නිල්මිණි සිගේරාය. නැවතත් අපූරු රංගනයක යෙදෙන මේ ප්‍රවීන ශිල්පිනිය සමග ‘ඌරෝ අතර පෝක්’ චරිතයට සාපේක්ෂව අපි පිළිසඳරකට එක්වෙමු.

 

ඌරෝ අතර පෝක්’ නාට්‍යයට සම්බන්ධ වූ හැටි මුලින්ම විස්තර කරමු?

සාමාන්‍යයෙන් මම නාට්‍ය නරඹන කෙනෙක්. ඒත් අසංක සායක්කාරගෙ නාට්‍ය නරඹලා තිබුණෙ නැහැ. කොහොමහරි අසන්ධිමිත්තා චිත්‍රපටයේ පසු කතිකාවක දී අසංක සායක්කාර, ඉතා අගනා අර්ථ දැක්වීමක් කළා. මට මුලින්ම එයාගෙ කුසලතාවයන් ගැන පැහැදීමක් ඇතිවුණේ එදා. පසුව එයා මට කිව්වෙ ‘ඌරෙක් ලෙඩවෙලා’ කියලා නාට්‍යයක් කරනවා කියලයි. එහි චරිත දෙකක් විතරයි තියෙන්නෙ කියලත් කිව්වා. අනෙක් චරිතය රඟපාන්නෙ සමිත සුදීෂ්වර රංග ශිල්පියා කියලත් කිව්වා. මෙහි චරිත ද්විත්වයක් විතරයි තිබෙන්නෙ. එහි කාන්තා චරිතය රඟපාන්න මට පුළුවන්ද කියලත් ඇහුවා.

ඇයි මාව මේ වගේ නාට්‍යයකට මාව තෝරාගත්තෙ කියන හැඟීමකුත් මට ඒ වෙලාවෙ ඇතිවුණා. ඒ වගේම, වසර 9 කින් විතර වේදිකා නාට්‍යයක රඟපාලා තිබුණෙත් නැහැ. ඒ නිසා, මම කැමති වුණා. ප්‍රධානම හේතුව වේදිකාගත කිරීමට දින යොදාගෙන තිබීමයි. සීමිත දින ගණනක දී නාට්‍යය වෙන නිසා මම හා කිව්වා. හැබැයි කාලයකට පසුව මේ වගේ නාට්‍ය රඟපාන නිසා රිහසල් කරද්දී මාව හොඳ මදි වගේ නම්, කරුණාකරලා වෙන කෙනෙක් ගන්න කියලත් මම අසංකට කිව්වා.

‘මේකට මම කැමතියි, ඒත් මගේ වයස සහ වේදිකාවට අවශ්‍ය ජවය නැත්නම්, කිසි ප්‍රශ්නයක් නැහැ. වෙන කෙනෙක් ගන්න කියලා තමයි මම කිව්වෙ. ඒ කොන්දේසි උඩ තමයි නාට්‍යයට මම සම්බන්ධ වුණේ.

 

කතාව මූලික කරගෙන තිබෙන්නෙ?

ඊරියකට හැදෙන බඩේ අමාරුවක්. ඒක හොඳ කරගන්නට සෑම තැනකටම යනවා. එහිදී මිනිස්සු ඌරෝ වගේ කටයුතු කරන්නෙ කියන විදියෙ අදහසක් තමයි ප්‍රකාශ වෙන්නෙ. කොහොම වුණත්, බලන කෙනාගේ දැක්ම අනුව, බුද්ධිය අනුව වටහා ගන්න පුළුවන් වේවි.

 

පැය එකහමාරක් මේ නාට්‍ය රංග ගත වෙනවා. මුළු කාලය පුරාම ඔබ සෙසු චරිතය සමග රංගනයේ යෙදෙනවා. කොහොමද පැය එකහමාර කාලයේදී, දෙබස් මතක තියාගන්නේ?

ඒකම තමයි මට බය තිබුණෙ. කොහොමටත් දෙබස් කියන එක සහාය ලබාගෙන කරන්න මම කැමති නැහැ. එදා වසර ගණනාවකට පෙරදි කළ ‘විකෘති’ නාට්‍යයේ දෙබස් අදටත් මට මතකයි. අනෙක ප්‍රොම්ප්ට් කරද්දි කරන්න අමාරුයි මට. මේ චරිතය කරද්දි මට සමිතගෙන් ලැබුණු සහයෝගය ඉතා ඉහළයි. එයා ඉතාම දක්ෂ ලෙස රඟපාන නිසා අඩු තරමේ ඒ ළඟටවත් කිට්ටු වෙන්න ඇත්නම් කියලා මම හිතුවා. එයා එයාගෙ චරිතයෙ එක්වර චරිත 12 ක් රඟපානවා. එය හරි අපූරු රංගනයක්. දක්ෂයෙක් වගේම හොඳ මනුෂ්‍යයෙක්. මේ නාට්‍යයේ කණ්ඩායම මගේ වැඩිහිටිකමට හරියට ගරු කළා. ඒ සියල්ල එක්ක මට මේ චරිතයට බද්ධ වෙන්න පුළුවන් වුණේ, දෙබස් එක් පෙළකින් පෙළකට, වචනයෙන් වචනයට චරිත ද්විත්වය පුරා ගලා යාමයි. ඒ කාලයේ යුනිවර්සිටි යන්නවත් මම මෙච්චර පාඩම් කළේ නැහැ.

 

ඔබ වෘත්තියෙන් ගුරුවරියක්, මේ වගේ නාමයක් එක්ක පෑහීම ගැන කොහොමද හිතුවෙ?

අසන්ධිමිත්තා කරද්දි පවා මම චරිතය ගැන තමයි සැළකිලිමත් වුණේ. මෙහිදීත් එහෙමයි. අනෙක් අය ප්‍රශ්න නගන තරමේ චරිතයක්නෙ මම අසන්ධිමිත්තා රඟපෑවෙ. මෙහිදීත් ඒ වගේ තමයි. ඒ වගේම මගේ පෙනුමට ගැලපෙන විදියට මේ චරිතයට මාව තෝරා ගන්න ඇති.

 

කොහොම වුණත්, මේ වගේ සංකීර්ණ චරිතයක් බාරගෙන සිටි ඔබ, මෙම නාට්‍යයේ පසුගිය සතියේ රඟ දැක්වූ දර්ශනයට පෙර ලොකු අකරතැබ්බකට මුහුණ දුන්නා නේද?

පාසල් රාජකාරි නිමාවී එනකොට මගේ කකුල පෙරළිලා ආබාධයකට ලක්වුණා. එය ටිකක් බරපතළ තත්ත්වයක් කිව්වොත් හරි. මට මතක් වුණේ එක පාරටම නාට්‍යය? කොහොම හරි පත්තුවක් දාලා බැලුවා. හරි ගියේ නැහැ. පසුව බටහිර වෙදකම කරලා, ඒ වෙනුවෙන් සෑහෙන වියදම් දරලා සෑහෙන වීර්යයක් අරගෙන කොහොම හරි දර්ශනයට සහභාගි වුණා. වේදනා නාශක එන්නත් පවා ගන්න සිද්ධ වුණා.

 

නිල්මිණි මේ විදියට හරි අපූරු රංග ශිල්පිනියක වී සිටින, ඔබගෙ ජීවිතය කොහොමද?

ජීවිතය සතුටින්. හැමදාම මම එහෙමනෙ. මගේ වෘත්තිය ගුරු වෘත්තිය. මේ විදියට රංගනයේ යෙදෙන්නෙ කලාවෙන් ලැබෙන ආස්වාදය වෙනුවෙන්. මම වඩාත් තෘප්තියක් ලබන්නෙ දරුවනට උගන්වලා ගුරුවරියක කියන වෘත්තියට මම හරි ආසයි.

 

වතාවක ඔබ අප සමග පිළිසඳරක දී කිව්වෙ, වඩාත් ස්ථුල වුණේ ඒ දිනවල ඔබ චොකලට් බොහෝමයක් කෑ නිසා කියලා. අදටත් එහෙමද?

අද නම් ඒ පුරුද්ද ටිකක් අඩුකරලා. ඇත්තම කිව්වොත් මම හිතන්නෙ මම තරම් චොකලට් කාපු කෙනෙක් තවත් නැතිද මන්දා? ඉස්සර සංචාරයකට ගියත්, මම විලාසිතා ගන්න ගියේ නැහැ. චොකලට් ගොන්නක් අරගෙන ගෙදර ආවේ. ඒ තරමටම චොකලට් කෑවා. දැන් නම් ඒක අඩුකරලා තියෙන්නෙ.

 

සඳුන් ගමගේ

20200910Nilmini (3) 20200910Nilmini (2) 20200910Nilmini (1)