මල්,ගල් දෙකම ආශිර්වාදයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200924Falen (2)

දෙරණ ඩ්‍රීම් ස්ටාර් තාරකා පෙළහරේ නව වන අදියරේ තවත් ගායන තරුවක් පසුගියදා කිරුළු දරන්නට සමත් වුණා. ලක්‍ෂයකට අධික තරගකරුවන් සංඛ්‍යාවක් අතුරින් අවසන් මහා රාත්‍රියේ මෙවර ගායනා කිරුළට හිමිකම් කීවේ කළුතර ප්‍රදේශයෙන් තරග වැදුණු ෆැලන් ඇන්ඩ්‍රියා.

වසර ගණනාවක් පුරාවට ගායන තරු හිමිකම් කියූ මෙම කිරුළට ප්‍රථමයෙන්ම ගායිකාවක් හිමිකම් කීවේ තෙවන අදියරේ උපේක්‍ෂා නිර්මාණි සිහින තාරකාවියයි. ඇයගෙන් පසු ඉතාම තියුණු තරගයකින් දෙරණ ඩ්‍රීම් ස්ටාර් කිරුළ මෙවර ගායන තාරකාවියකට හිමිවූයේ වරස 6කට පසුව වීම ද සුවිශේෂත්වයකි. එදා විචිත්‍රවත් වූ අවසන් මහා රාත්‍රියේ දිනාගත් කිරුළේ සතුට ෆැලන් අපිත් සමඟ බෙදාහදා ගත්තේ මෙලෙසිනි.

 

ඩ්‍රීම් ස්ටාර් තරග ඉතිහාසයේ කාන්තාවකට කිරුළ ලැබූ දෙවැනි අවස්ථාව මේ. මොන වගේ හැඟීමක් ද ඔබට දැනෙන්නේ?

“ඒ සතුට මට කියලා නිම කරන්න බැහැ. ප්‍රේක්‍ෂක ආදරය මැද්දේ මට මේ කිරුළ දිනාගන්න පුළුවන් වුණු එක ගැන මට තියෙන්නේ නිහතමානී සතුටක්. ආධුනික තරගකාරියක්, ආධුනික ගායිකාවක් විදිහට මේ ලැබුණු ජයග්‍රහණය මට ලොකු ආශිර්වාදයක්. නුවන්දිකා අක්කටයි, මටයි ලොකු බලාපොරොත්තුවක් තිබුණා මේ අදියරේ කොහොම හරි කිරුළ තරගකාරිනියක් සතු කරගන්න එක. මේ කිරුළ වෙනුවෙන් ගොඩාක් කැපවීම් කළා. නිදි නැති රැයවල් වගේම පෙර පුහුණුවීම් සහිත ඉතාම දුෂ්කර ගමනකට පස්සේ. මගේත්, ප්‍රේක්‍ෂකයන්ගෙත් සිහින ඵල දැරුවා. මේ වේදිකාවෙන් ෆැලන් කියලා කෙනෙක් බිහිවුණේ ප්‍රේක්‍ෂක ඔබ නිසා. මට ඒ ප්‍රේක්‍ෂක ජනතාව කවදාවත් අමතක වුණේ නැහැ. කොයිතරම් දුෂ්කර කාර්යයක් වුණත් මානසික වෙහෙසට පත්වුණත් අවසාන ප්‍රතිඵලය හරිම සුන්දර අත්දැකීමක්. එහි කොටස්කරුවන් වූ ප්‍රේක්‍ෂක සියලුම දෙනාට හිස නමා මම ආචාර කරනවා වගේම සුබ පැතුම්, මඩ පාරවල්, අපහාස, ඒ හැම දෙයක්ම මේ මාවතට පිවිසෙන්න මට ශක්තියක්, ආශිර්වාදයක් වුණා.”

 

ෆැලන්ගේ පාසල සහ ෆැලන් කියන ගායිකාවට පාර කැපෙන තැන කොතැන ද?

“මගේ පාසල බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය. පුංචි කාලේ පාසලේදී පවා මගේ ජීවිතේ ගෙවුණේ සංගීතය එක්ක. මගේ පවුලේ කලාවට සම්බන්ධ කිසිම කෙනෙක් නැහැ. ඒත් මගේ අම්මටයි, තාත්තටයි ගායන හැකියාවක් තියෙනවා. ඒ ආභාෂය මටත් පිහිටන්න ඇති කියලා තමයි මම හිතන්නේ. හැකියාව තිබුණ නිසා ගායිකාවක් වෙන්න පුංචි කාලේ ඉඳලා මම හීන දැක්කා. උසස් පෙළින් පස්සේ මම රැකියාවකට යොමු වුණා. එත් සංගීතය තමයි මට හරියන්නේ කියලා හැම වෙලේම මට හිතුණා. කවදාවත් රියැලිටියකට මම ඉදිරිපත් වෙලත් නැහැ. ඒත් ඩ්‍රීම් ස්ටාර් තරගාවලියෙ සිටි රවී රොයිස්ටර්ගේ සංගීත සංයෝජනය, ගායන විලාසය ගැන මම උනන්දුවෙන් හිටියා. ඒ නිර්මාණ දැකලා තමයි මේ තරගාවලියට මට අයදුම් කරන්න හිතුණේ. මේ රියැලිටියට මම අයදුම් කළේ එක රැයකින් ජනප්‍රිය වීමේ අරමුණින් නෙමෙයි. බුද්ධික අයියා, තිවංක, රවි අයියා මේ අයගෙන් තරගාවලිය ගැන තොරතුරු දැන ගත්තා. ඒත් කිරුළ අතට ගන්න හීනයක් මට තිබුණේ නැහැ. තරගයට යන්න ආසාවක් විතරයි මට තිබුණේ.”

 

විනිශ්චය මණ්ඩලයෙන් ෆැලන්ට හොඳ අනාවැකි පළවුණා. ඒත් ෆැලන්ට අවසානය තෙක් එන්න විශ්වාසයක් තිබුණා ද?

“දවසක් විනිශ්චය මණ්ඩලය දීපු විනිශ්චයක් එක්ක මේ කිරුළට මට යන්න පුළුවන් කියන විශ්වාසය ඇති වුණා. තරගාවලිය පුරාම මට හොඳ විනිශ්චයක් ලැබුණා. ඒ එක් දිනයකදී තිදෙනාම කිව්වා මේ ක්ෂේත්‍රයේ එහාට ජාත්‍යන්තරයට යන්න පුළුවන් තරම් හැකියාවක් මගේ ගායනයෙන් පෙන්නුම් කරනවා කියලා. ඒක මගේ හිතට වැදුණා වගේම එදා මට කිරුළ ගැන විශ්වාසයක් ඇති කළා.”

 

ෆැලන් දැන් සංගීත ජීවිතේ එක පඩියක් නැගලා ඉවරයි. දිනාගත්ත කිරුළට සාධාරණයක් කරන්න සූදානම් ද?

“ජනතා පරමාධිපත්‍යයෙන් දිනාගත්ත මේ කිරුළ ගැන මට ලොකු වගකීමක් තියෙනවා. මාව බිහිකරපු වේදිකාව, මගේ ඩ්‍රීම් ස්ටාර් සහෝදර සහෝදරියන්, මගේ දෙමාපියෝ මගේ රටට ආඩම්බරයක් ගේන්න මේ ක්ෂේත්‍රයෙත් මගේ රට ජාත්‍යන්තරයට ගෙනියන්න තමයි මගේ එකම බලාපොරොත්තුව. තනියම ගොඩ යන්න ආත්මාර්ථකාමී පර්මාර්ථයක් මට නැහැ. මම දිනපු වේලාවේ මගේ අම්මා කිව්වේ ඔයා මේ රටේ මොනවා දිනුවත් මුල නම් අමතක කරන්න එපා පුතේ කියලා. ගිහාන් මගේ සහෝදරයා, නුවන්දිකා අක්කි අපි තුන්දෙනාම දිනුවේ අවසන් මහා තරගයට තේරුණ දවසේ. මේ කිරුළ මම ගෙදර ගෙනාවට අපි තුන්දෙනාම ඩ්‍රීම් ස්ටාර් කිරුළ දිනලා ඉවරයි.”

 

ඔබ අනුකරණය කරන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් ඉන්නවා ද?

“මම කිසිම කෙනෙක්ව අනුකරණය කරන්නේ නෑ. මට අරයා වෙන්න ඕන, මෙයා වෙන්න ඕන කියලා අදහසකුත් නැහැ. ආධුනිකයෙක් විදිහට ප්‍රවීණයන්ගෙන් ගත හැකි දේවල් මම ජීවිතයට ගන්නවා. පුංචි කාලේ ඉඳලා හඬකට ආදරේ කරා නම් ඒ සුජාතා අත්තනායක මහත්මියගේ හඬට. වර්තමාන පරපුරේ හඬකට ආදරේ කළා නම් ඒ උමාරා, උමාරියා සහෝදරියන් දෙපළට තමයි.”

 

ඩ්‍රීම් ස්ටාර් කිරුළට හිමිකම් කියන්න ගීත ගායනා හැකියාව පමණක් තිබීම ප්‍රමාණවත් ද?

“නැහැ. මම හිතන්නේ දක්‍ෂතාව වගේම වාසනාවත් තියෙන්න ඕන. අවසන් තිදෙනා අතරට මගේ නම කියවෙද්දී මට හිතාගන්න බැරිවුණා. කිරුළ එදා ලැබුණත්, නොලැබුණත් ෆැලන් ඊට පසුදා ඉඳලාම ලාංකේය ප්‍රේක්ෂකයන් ඉදිරියේ ඉන්නවා කියන අධිෂ්ඨානයෙන් තමයි මම හිටියේ. ඒ විශ්වාසය ඉදිරියටත් මගේ රසිකයන්ට මම ලබා දෙනවා.”

 

ෆැලන්ගේ පවුලේ තොරතුරු ටිකකුත් කියමු?

“මගේ ගම කළුතර. මගේ පියා පෞද්ගලික ආයතනයක සේවය කරනවා. මගේ අම්මා ඉංග්‍රීසි ගුරුවරියක්. මට නංගිලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නාම කොතලාවල ආරක්‍ෂක ඇකඩමියේ උපාධිය හදාරනවා.”

 

නදීශා අතුකෝරළ

20200924Falen (1) 20200924Falen (3) 20200924Falen (4)