සමාජය තරම් ලොකු සරසවියක් කොහෙවත් නෑ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20201025Roger (4)

පසුගිය දිනවල ප්‍රවීණ රංග ශිල්පී රොජර් සෙනෙවිරත්න, ටෙලි තිරයෙන් අපට හමුවුණේ, සී රජ, රන්බැඳි මිනිස්සු, නිර්මාණ සමගයි. කොණ්ඩදෙනියේ හාමුදුරුවන් ලෙස රන්බැඳි මිනිස්සු නාට්‍යයේ අපූරු චරිතයක් නිරූපණය කළ රොජර් මේ දිනවල ආලින්දයේ සිනමාව හෙවත් ටෙලි තිරය හැඩ කරන්නේ, සුනිල් කොස්තා නිර්මාණය කළ කැන්යු හියර් මී (Can You hear me) ටෙලිමාලාව සමගයි. මෙහි රොජර් රඟපාන චරිතය ගැන බොහෝදෙනා කතා වන්නේ ඔහු ඉදිරිපත් කරන තවත් අපූරු රංග රටාවක් නිසයි.

• රොජර්, කැන් යූ හියර් මී?

යස්, යස් අයි කැන් හියර් යු වෙරි වෙල්.

• මේ කැන් යු හියර් මී, නාට්‍යයේ චරිතය, ගැන කියමු?

මේ චරිතයේ නම මිස්ටර් සූරි. මේක ලස්සන නාට්‍යයක්. 

• සූරි කියන්න ද? කොණ්ඩදෙණියෙ හාමුදුරුවෝ කියන්න ද? රොජර් කියන්න ද?

මම රොජර්නෙ. රොජර් කියන්න.

• අද රොජර්ට, රොජර් ගැන දැනෙන්නෙ කොහොම ද?

ඉතා හොඳයි, ඉතා කාර්යක්ෂමයි, බොහොම පරිස්සමින් වැඩ ටික කරගෙන යනවා.

• මේ Can You hear me ලස්සන නාට්‍යයක් කියලා ඔබ කිව්වා. කොහොම ද ඔබට ඒ නාට්‍යය දැනෙන්නෙ?

සමාජගත නොවිච්ච කතාවක්. හැබැයි සමාජය ඇතුළේ සැරිසරන කතාන්දරයක්. මිනිසුන්ගෙ ජීවිතවල කාටත් නොපෙනෙන පැත්තක්. දියඇල්ලක් වගේ හැඩතල එක්ක ගලා යන අපූරු නාට්‍යයක්.

• නරඹන්නෙකු ලෙස ඔබට මේ නාට්‍යය දැනෙන්නෙ කොහොමද?

අපූරු නිර්මාණයක් කියලා කියන්න පුළුවනි. සුදු ඇඳගෙන කළු නාට්‍යයට පසුව සුනිල් කොස්තා වෙතින් නිර්මාණය වූ තවත් අපූරු නිර්මාණයක්.

• සූරි සහ රොජර් සසඳන්නේ කොහොමද?

අහසට පොළව වගෙයි. රොජර් අහස නම්, සූරි පොළව කියලා කියන්න පුළුවනි. ඒ නිසා සූරි වීම මට පහසුවක් වුණේ, අහසෙ ඉඳලා බිම බැලුවාම මට සියල්ල හොඳින් පෙනෙන නිසයි.

• ඔබ කියැවීමට තදින්ම ඇබ්බැහිවූවෙක්, ඒ පරිචයත් බලපාන්න ඇති නේද?

එහෙමත් කියන්න පුළුවනි. ඒ සියල්ලට වඩා සුනිල් මට ඒ චරිතය ගැන කියාදුන් බොහෝ දේ නිසා පහසුවෙන් චරිතයට ප්‍රවේශ වෙන්න පුළුවන් වුණා. ඒ වගේම එහි නළු නිළි පිරිස මගේම සමස්ත කණ්ඩායම බොහොම පවුලක් වගේ, සිටින කණ්ඩායමක්. එහි නිෂ්පාදක තුමාවත් මතක් කරන්න ඕනෑ. ඇත්තටම වැඩක් කරද්දී, ඒ විදියට කණ්ඩායම් ගතවෙලා වැඩ කළ යුතුයි. ප්‍රතිඵල ලබන්න පුළුවන් එතකොටයි.

• රොජර්, කියන්නෙ වේදිකාව දෙවනත් කරගෙන, වේදිකාවට ජවයක් ගෙන දුන්න චරිතයක්? කෝ අද රොජර් වේදිකාවේ නැහැනෙ?

අද එහි දී මට තියෙන්නෙ කාලය පිළිබඳව වූ ගැටලුවක් විතරයි. නැතුව වේදිකාවට ඇලුම් නොකිරීම නෙවෙයි. ඒක කාලයේ ප්‍රශ්නයක් විතරයි. හැබැයි ඔබට කිවයුතුම දෙයකුත් තියෙනවා.

• ඒ කුමක් ද?

වේදිකා නාට්‍ය නිර්මාණයක් සැළසුම් කරගෙන යනවා. එය ෂේක්ස්පියර්ගෙ කතාවක්. එනම් ජුලියස් සීසර්ගෙ කතාව. මම හිතන්නෙ ඒ කතාව මේ වකවානුවෙ කළ යුතුම කතාවක්. මොකද කිව්වොත් දේශපාලනය ඇතුළේ පිටිපස්සෙන් ඉඳලා නායකයන්ට පිහියෙන් අනින කාලයක් මේ. ඒක නිසා ජුලියස් සීසර් කිරීමේ අරමුණ ඇතිව මේ දිනවල කටයුතු කරන්නෙ.

• සාමාන්‍යයෙන් නළුවකු, නිතරම බුලත්විට එහෙම කන්නෙ නැහැ, ඒත් ඔබ නිතරම බුලත්විටක් හපාගෙන, සිටින සම්ප්‍රදායෙන් එහාට ගිය චරිතයක්? ඒ

ඔබගේ නිර්ව්‍යාජකම ද? බුලත්විට කාලා පොළවේ පයගහලා සිටීමේ කැමැත්ත ද?
කොහොමටත් මම එහෙමනෙ. විටක් කාලා හොඳට දත් මැද්දාම දත් ටික සුදුවෙනවා. ඊට පස්සෙ, ඕනෑම චරිතයකට මම ඔට්ටුයි. කොහොමටත් බුලත්විටක් කෑම අවුරුදු හතලිස් ගණනක් තිස්සේ මම කරන දෙයක්නෙ.

• ඒ වගේම අහුවෙන අහුවෙන දේ වවන්නත් පුරුදු වෙලා?

ඔව්, ඒකත් බොහොම ආසාවෙන් කරන්නෙ. වගාවට අමතරව බොන්සායි පැළත් හදනවා, ඊට අමතරව දැන් බොන්සායි පෝච්චිත් හදන්න පටන් ගත්තා.

• මේ කාලයේදී රටට සමාජයට ඔබට විශේෂයෙන් කියන්න පුළුවන් දේ මොකක්ද?

පරිස්සම් වෙන්න. මුළු ලෝකෙම මහා වසංගතයක් නිසා පීඩා විඳින මේ කාලයේ බොහෝම පරිස්සම් වෙන්න. මීට වඩා තවත් භයානක වසංගත ලෙඩ රෝග ඉදිරියේ ඒවි. එන්න තියෙන කරදරකාරී වාතාවරණය නිර්මාණය වෙමින් පවතිනවා. ඒක නිසා, ලෝකයේ සියලුම මිනිසුන් වගේම, විශේෂයෙන්ම ලෝකය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයන් ඉතා පරිස්සමින් තමන්ගෙ දරු දැරියන් රැකබලා ගනිමින් ඉන්න කියන ඉල්ලීමයි මට කියන්න තියෙන්නෙ. ඒ වගේම ඒ ළමුනට ලෝකය ගැන අවබෝධය ලබා දීමට කටයුතු කරන්න.

• රොජර්ට සමාජය ගැන මේ හැඟීම් දැනීම් ඇතිවෙන්නෙ පොත් කියැවීම නිසාම ද?

මෙහෙමනෙ, මම විශ්වවිද්‍යාලයකට ගිය මිනිහෙක් නෙවෙයිනෙ. හැබැයි ඉතින් ලෝකයේ තියෙන මහා විශාලම විශ්වවිද්‍යාලයෙන් ජීවිතය හදාරපු කෙනෙක්. ඒ කියන්නෙ සමාජය. සමාජය තරම් ලොකු සරසවියක් ලෝකයේ කොහේවත් නැහැනෙ. සරසවි සහතික මට නැතිවුණාට, සෑම අවබෝධයක්ම සමාජයෙන් ලබාගත්ත මිනිහෙක් මම. හඹාගෙන ගිහිල්ලා ඉගෙනගත්ත එකෙක්. ඒක මම ඉස්සරහටත් කරනවා. මැරෙනකල්ම කරනවා.

• ඒ සියලු හඹායාම් අතරේ තවදුරටත් රංග ශිල්පියෙක් ද?

එහෙම වෙන්න එපායැ. රංගනයේ හයිය ශක්තිය සමාජගත කළ යුතුමයි.

• එතැනින් එහාට, තවදුරටත් දේශපාලනය කරන්නෙ නැද්ද? මොකද ඔබ අතීතයේ දේශපාලන චරිතයක්?

ඒ චරිතය ඉන්නවා. ඉස්සරහටත් ඉන්නවා. මිනිසුන් වෙනුවෙන් දේශපාලනයෙන් ඔවුන් බලාපොරොත්තු වන දේ ඉටුකරන්න බැඳී සිටින චරිතයක්. මම පොළවෙ පය ගහගෙන දේශපාලනය කරන කාර්යක්ෂම චරිතයක්. ඒ හැර මයික් එක බදාගෙන විතරක් දේශපාලනය කරන චරිතයක් නෙවෙයි.

• ඒ කියන්නෙ පාර්ලිමේන්තු යාමේ අදහසකුත් ඔබට තියෙනවා?

මීට කලින් යන්න අවස්ථාව තිබුණා. ඒත් හිටපු තැන්වලින් මට ඒකට ඉඩක් ලබාදුන්නෙ නැහැ. නැත්නම් මීට වඩා වැඩ කරන්න තිබුණා.

• දැන් වැඩ කරන්න බැරි ද?

දැනුත් මම වැඩ කරනවා. එහෙම ලෙහෙසියෙන් අත්හැරලා දාන මිනිහෙක් නෙවෙයි මම.

• දේශපාලනයට ගිය නිසා ක්ෂේත්‍රයේදී ඔබ වර්ග වුණා ද?

කාටවත් මාව එපා වුණේ නැහැ. මොකද දේශපාලනයට මම කලාකරුවා වික්කෙ නැහැ. ඒ නිසා කවුරුවත් මාව බැහැර කළේ නැහැ. 

• Can You hear me සූරිගෙ දෙබස් කාණ්ඩයකින්ම මේ සටහනට සමුදෙමු?

මිම්ඤෑව්

 

සඳුන් ගමගේ

20201025Roger (5)