මට ගයාත්‍රි වෙන්නත් බැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ගෙදරට කොටු වෙලා . නොහිතපු දෙයක් තමයි සිද්ධ වුණේ. ලෝකේ සියලුම ජනතාවට මේ කොරෝනා වසංගතය නිසා පීඩා විඳින්න වෙලා.

ඉතින් මේ දවස්වල රසබර කෑම ජාති හදනවා ඇති නේද?

එහෙම කියලත් නැහැ ඉතින්. මට හොඳට උයන්න පුළුවන්. කාලෙකට පස්සේ ගෙදර හැමෝමත් එක්ක ඉන්නවා. තිබුණු කාර්යබහුලත්වයත් එක්ක විවේකයක් ලැබුණා. එහෙමයි කියලා අපි කාටවත් මෙහෙම ගෙදරට වෙලා ඉන්න බැහැ. හැම ප්‍රශ්නයකටම මුහුණ දෙමින් අපි සියලුදෙනාම ඉදිරිය ගැනත් හිතන්න වෙනවා. මමත් මගේ ආදරණීය රසික, රසිකාවියන්ගෙන් ඉල්ලා සිටින්නේ සියලුම සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් ඔබ ගැන හිතමින් සියලුමදෙනා ගැන හිතමින් ආරක්‍ෂාකාරීව වැඩකටයුතු කරන්න කියලා.

ඔබගේ සියලුම ව්‍යාපාර කටයුතුත් අඩාළ වුණා නේද?

ඔව් ඉතින්. රූපලාවණ්‍ය කටයුතු කරන්නම බැරි වාතාවරණයක් උදාවුණා. මගේ සැලොන් තුනක් තිබෙනවා. ඒ සියල්ලගේම පුළුවන් කාලවකවානුවල ආරක්‍ෂාකාරීව වැඩකටයුතු කළා.

කාලෙකට පස්සේ නයනව නැවැත අපට ටෙලිනාට්‍යයකින් දැකගන්න පුළුවන්?

ඔව්. මම කාලෙකට පස්සේ හොඳ නිර්මාණයකට සම්බන්ධ වුණා. සනත් අබේසේකර අධ්‍යක්‍ෂණය කරන ‘මහාවිරු පණ්ඩු’ ටෙලිනාට්‍යයේ සුවිශේෂී චරිතයක් නිරූපණය කරනවා. මහාවිරු පණ්ඩු ටෙලිනාට්‍ය ජනප්‍රියතම ටෙලිනාට්‍යයක් බවට දැන් පත්වෙලා. හොඳ නිර්මාණ නැහැ කියලා බොහෝ දෙනෙක් චෝදනා කළා. එයට හොඳම උදාහරණයක් තමයි ‘මහාවිරු පණ්ඩු’ ටෙලිනාට්‍යය.

ඔබ ඉස්සර වගේ ටෙලිනාට්‍යවල දකින්න නැත්තේ ඇයි?

මෙහෙමයි. එක හේතුවක් තමයි මමත් කියන්නේ හොඳ නිර්මාණ නැති එක. ‘මහාවිරු පණ්ඩු’ කතාව අපි හැමෝම දන්න කතාවක් තමයි. ඒ කතාවට මම ගොඩක් ආශා කළා. ඒ නිසාම මම සම්බන්ධ වුණා. අපේ වටිනාකමට වටිනාකමක් නැතුව ආවට ගියාට මම රඟපාන්න කැමැති නැහැ. දවසක් හරි නිර්මාණයක් වෙනුවෙන් කාලය වැය කරනවානම් එයට වටිනාකමක් තිබිය යුතුයි.

ඒ වටිනාකමට නයනාගේ මුදලත් වැඩියි කියන්නේ ඇත්තද?

ඔව්. ඉතින් නැතුව බැහැනේ. අනෙක අපිට දැන් තරුණ චරිත නිරූපණය කරන්න බැහැ. අපේ මුදලට වඩා නිකම් රඟපාන පිරිස ඕනෑ තරම් ඉන්නවා. එහෙම අය ගත්තාම වෙන්නෙත් නිර්මාණ බංකොළොත් වෙන එක තමයි.

පසුගිය කාලේ නයනත් ‘සාරි ගැටය’කට හසුවුණා නේද?

ජීවන් හඳුන්නෙත්තිගේ ‘සාරි ගැටය’ වේදිකා නාට්‍යයට මම සම්බන්ධ වෙලා හිටියේ. මේ කොරෝනාව නිසා සියලුම දේවල් කඩාවැටුණා.

ඔබේ ආදරණීය පුතණුවන් කලාවට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?

පුතා තවම අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. තවම එහෙම අදහසක් පේන්න නැහැ. එයාගේ හැකියාවෙන් එයාට යන්න මම උදවු කරනවා. නැතුව කිසිම බලපෑමක් මම කරන්නේ නැහැ.

වෘත්තීය මට්ටමින් කලාවේ නියැළෙන්නේ නැද්ද දැන්?

එහෙම කියලා නැහැ. පූර්ණකාලීනව කලාවට සම්බන්ධ වෙන්න බැහැ. මගේ ව්‍යාපාර කටයුතු කරගෙන යනගමන් කලා කටයුතු කරගෙන යන එක හොඳයි කියලා මට හිතිලා තියෙන්නේ.

ඒ කියන්නේ නයනා හොඳ සල්ලිකාරයෙක් වෙන්න ඇති?

අපෝ මොන පිස්සුද. මම එහෙම සල්ලි පොදි බැඳගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. සරලව ජීවත් වෙනකොට හිතට සැහැල්ලුයි.

ගයාත්‍රි වයස් එක්ක ලොකු තරගයක් තියෙනවා කියන්නේ ඇත්තද?

අපෝ අපේ එහෙම කිසිම තරගයක් නැහැ. මට ගයාත්‍රි වෙන්නත් බැහැ. ගයාත්‍රිට නයනා වෙන්නත් බැහැ. එහෙමයි කියලා අපේ මිතුදම නැති වෙලත් නැහැ. අපි හොඳ යෙහෙළියෝ වගේ කතාබහ කරගෙන ඉන්නවා.

නිර්මාණකරණයේ සම්මාන නැති වුණාට දැන් රූපලාවණ්‍ය කටයුතු පැත්තෙන් ඇගැයීමකට ලක්වුණා නේද?

නිර්මාණ පැත්තෙන් සම්මාන ගන්න ඉතින් මම එහෙම රඟපාන්නේ නැහැනේ. රූපලාවණ්‍ය පැත්තෙන් විදේශීය සම්මානයක් ලැබුණා. පසුගිය කාලේ ඒ සම්මාන උළෙලද ලංකාවේ පැවැත්වූණා.

වසන්ත විතාරණගේ

20201119Nayana-1