කෝච්චියෙන් හික්කඩුවෙ ගිහින් ආවේ ඇම්බ්යුලන්ස් එකේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20201120Chameera-2චමීර ලියනගේ... ජීවිතේ කොහොමද?

ආයෙමත් කොවිඩ් ප්‍රශ්නය නිසා අපි මේ දවස්වල ගෙවල්වලට හිරවෙලා ඉන්නවා. ඒ නිසා කරන්න පටන්ගත්තු රූගත කිරීම් අතරමඟ නතරකර දමන්න සිද්ධ වුණා. මාස ගණන් ගෙදරට කොටුවෙලා ඉඳලා ආයෙත් වැඩ ටික පටන්ගත්තු හැටියෙම ආයෙත් කොවිඩ් නිසා අපිට ගෙදරට කොටුවෙන්න සිද්ධ වුණා. හැබැයි ඉතින් කරන්න දෙයක් නැහැ. අපිත් ඒකට අවනත වෙන්න ඕනේ. හොඳටම පරිස්සම් වෙලා ආයෙත් සුපුරුදු වැඩ ටික පටන්ගන්න පුළුවන් විදිහේ වටපිටාවක් එනතුරු අපිත් බලාගෙන ඉන්නවා. 

ජීවිතේ පටන්ගත්තේ කොතැනින්ද?

මගේ ගම කඩවත. මගේ පවුලේ මට අක්කා කෙනෙක්, නංගී කෙනෙක් සහ මල්ලී කෙනෙක් ඉන්නවා. ඉතින් ඒ අයත් එක්ක අම්මා තාත්තා එක්ක තමයි මගේ ජීවිතේ ගෙවෙන්නේ.

ජීවිතේ හීන දැක්කේ කවුරු වෙන්නද?

පුංචි කාලේ ඉඳන් මම රඟපාන්න මාර විදිහට ආසයි. ඒ නිසා ඒ කාලේ ඉදන් නළුවෙක් වෙන හීනයක් මට තිබුණා. ඊටපස්සේ ඕලෙවල් ඉවරවුණු ගමන් මම තරුමංසල වැඩසටහනට සහභාගී වූවා. උසස් පෙළ විභාගයෙන් පස්සේ රංගනයට පූර්ණකාලීනව එකතුවුණා.

ජීවිතේ ලැබුණ ලොකුම දෙය මොකක්ද?

මගේ ජීවිතේ මට ලැබුණු ලොකුම දෙය මගේ අම්මා තාත්තා තමයි. අදටත් මගේ ජීවිතේ ලොකුම හයිය වෙන්නේ ඒ දෙන්නමයි.

ජීවිතේ ආසාවෙන් හිටපු මඟහැරුණු දෙයක් තියෙනවාද?

මගේ ජීවිතේ මඟහැරුණු දෙයක් නැහැ. මට මගේ ජීවිතේ ඕනෑමයි කියලා හිතෙන දෙයක් තියෙනවා නම් ඒක කොහොම හරි ලබාගැනීමේ ආසාව, උනන්දුව මට තියෙනවා. ඒ නිසා ජීවිතේදී ළංකරගන්න බැරිදෙයක් වෙනුවෙන් මම උත්සාහ කරන්නේ නැහැ. හැබැයි ඕනේ කියලා හිතෙන දෙයක් තියෙනවා නම් ඒක මම කොහොම හරි ළංකර ගන්නවා.

තමන් නළුවෙක් කියලා මුලින්ම සිතුණේ කවදාද?

මට තාමත් එහෙම හිතිලා නැහැනේ. දැන් මේ ෆීල්ඩ් එකට ඇවිත් අවුරුදු එකොළහක් වෙනවා. මුලින්ම මම නාට්‍යවල සුළු චරිත රඟපෑවේ. සමහර ඒවාවල මාව නොපෙනන තරම්. හැබැයි ඒ හැම චරිතයකින්ම හැම කොටසකින්ම මම අලුත් දෙයක් ජීවිතයට එකතු කරගත්තා. ජීවිතේ චරිතත් එක්ක ඇවිදලා ඇවිදලා තමයි අද මම මේ එක අඩියක් ඉස්සරහට තියලා තියෙන්නේ. අදටත් මම මේ ක්ෂේත්‍රයේ කූඹියෙක්.

චමීර අද ඉන්න තැනට එන්න ජීවිතේ දුක් වින්දද?

ඇත්තටම දැනුත් දුකක්නේ විඳින්නේ. අනිවාර්යයෙන්ම දුක වින්දා. අදටත් ඒ දුක විඳිනවා. මගේ පවුලේ කවුරුවත්ම කලාවට සම්බන්ධ නැහැ. මට කිසිම නෑදෑයෙක් හිතවතෙක්ගේ මඟ පෙන්වීමක් මේ කලාවට එන්න තිබුණේ නැහැ. කලාවත් ඒකක සම්බන්ධකමක් ඇතිකරවන්න මට කිසිම හිතවතෙක් හිටියේ නැහැ. ඉතින් කොහොම හරි කලාවට ඇවිත්, මගේ හැකියාව පෙන්වලා මගේ උත්සාහයෙන් ආපු ගමනක් තමයි මේක.

කොහොම හරි අඩිය තියපු ක්ෂේත්‍රය අතහැරලා යන්න, මේක ගැන කලකිරුණු අවස්ථා ජීවිතේ තිබිලා නැද්ද?

මේ ක්ෂේත්‍රයේ ඉඳිද්දී කලකිරීම නම් ඕනතරම් ඇතිවෙලා තියෙනවා. ඒත් ඒවා ගැන මම එච්චර හිතන්නේ නැහැ. එහෙම පසුතැවෙන එක, හිතෙන එක එච්චර තේරුමක් නැහැ. ඇත්තටම ඒක වැඩක් නැහැ. මගේ ගමන කොහොමහරි යනවා. මම කාටවත් වැරුද්දක් කරන්නේ නැහැ. කාගෙවත් දෙයක් බලෙන් ලබාගන්නේ නැහැ. ඉතින් තමන් ගමන යද්දී කවුරු මොනවා කිව්වත්, කවුරු මොනවා කළත් ඒක මට අදාළම නැහැ. කොහොමත් මම නිහඬව මගේ පාඩුවේ ඉන්න කෙනෙක්. කාගේවත් දෙයක් මම හොයන්නේ නැහැ. හැබැයි මම ගහන ගේම කොහොම හරි ගහනවා.

පාසැලෙන් හෝ නිවසෙත් චමීර කරපු දඟවැඩකට ලැබුණු දඬුවම මතකද?

ඉස්කෝලේදී මේ දඟවැඩ ඕනතරම් කරලා තියෙනවා. මට තාම මතකයි ඉස්කෝලේදී උසස් පෙළ කරන කාලේදී අපි ක්ලාස් කට් කරලා යාළුවෝ එක්ක කෝච්චියේ හික්කඩුවට ගියා. ඒ ගිහින් හොඳට බිව්වා. හික්කඩුවට කෝච්චියේ ගිහින් අපි ආවේ ඇම්බියුලන්ස් එකෙන්. හික්කඩුවේදී අපි හොඳටම බිව්වා. අන්තිමට අපිට අමාරුවෙලා අහල පහල අය ඇම්බියුලන්ස් එකෙන් කරාපිටිය රෝහලට එක්කගෙන ගියා. ඊටපස්සේ ඉස්පිරිතාලෙන් මාව අම්මලා ගෙදර එක්කගෙන ආවා. ඒ කාලේ තාත්තා රට ගිහින්. මුලින්ම අම්මා ගැහුවා. ඊටපස්සේ අයියා ගැහුවා. ඔක්කොමලා මට ගැහුවා. ඒක නම් අමතක වෙන්නේ නැහැ.

ජීවිතේ මුල්ම වතාවට මත්පැන් පානය කළේ කොයි කාලේදීද?

ඒකත් ඉස්කෝලේ යන කාලේදීම තමයි සාමාන්‍ය පෙළ කරන කාලේදී යාළුවෝ එක්ක ටිකක් බිව්වා. හැබැයි පුරුදු නැතිකම නිසාම හිතුවේවත් නැති තරමට ඒ පොඩි ෂොට් එක වැඩිවුණා. ඇත්තටම ඒ වෙද්දි අපේ ඇඟ ඒවාට පුරුදු නැති නිසා එදා මාර අමාරුවක වැටුණේ. පුරුදු උන් යක්කු වගේ බිව්වා. අපි එකක් බීලා වැටිලා හිටියා. සිගරුට් එකක් මුලින්ම බිව්වෙත් ඔය කාලේදීම තමයි.

ජීවිතේ මුලින්ම ගැහැනු ළමයෙකුට හිත ගියේ කොයි කාලේදීද?

මගේ මුල්ම ප්‍රේමය දහම් පාසැල් ප්‍රේමයක්. ඒ දවස්වල අතක් අල්ලනවා කියන්නෙත් මාරම දෙයක්නේ. මට තාම මතකයි මම ඒ ගැහැනු ළමයාගේ මුලින්ම අත ඇල්ලුවේ මල් වට්ටිය අරගෙන යද්දියි. අනිත් අය හිතුවේ මල්වට්ටියට අත ගහනවා කියලයි. හැබැයි එයාගේ අත ඇල්ලුවා කියලා දන්නේ එයයි මමයි විතරයි. අපි අවුරුද්දක් විතර ආදරය කළා.

ඒ ආදරය අහිමි වුණාට පස්සේ දෙන්නා වෙන්වුණාට පස්සේ හිත හදාගත්තේ කොහොමද?

ඒ කාලේදී නම් ඒ අහිමිවීම හරි දුකක්. හැබැයි ඒ දුකේ ඇලිලා ඉන්නවාට වඩා ඒක අමතක කරල ජීවත්වෙලා ඉන්න එක තමයි හොඳ. අවුරුද්දක් විතර ආදරය කරපු ඒ ගැහුනු ළමයා දාලා යද්දී දුකක් දැනුණා. මට හොඳ යාළුවෝ පිරිසක් හිටියා. ඒ නිසා ඒ අය මාත් එක්ක ඒ දුක බෙදාගත්තා.

ජීවිතේ කරන්න ආසාවෙන් ඉන්න, තාමත් නොලැබුණ චරිතයක් තියෙනවාද?

මට හරි ආසයි යුද හමුදාවේ සොල්දාදුවෙකුගේ චරිතයක් කරන්න. මම හමුදා කොල්ලන්ට හරි ආසයි. ඒ පෙනුමට, මම හරි ආසයි. ඉතින් එවැනි චරිතයකට මම හරි ආසයි.

හැබෑ කරගත්තු හීන ජීවිතේ තියෙනවාද?

ඔව්... හැබෑ කරගත්ත හදපු හීනය හැබෑ වෙන්න දවස ළඟයි.

ජීවිතේ හැරවුම කොතැනද?

ධනුෂ්ක රත්නායක කියන සැබෑ මනුස්සයා මුණගැහීම මගේ ජීවිතේ හැරවුම වුණා. ධනුෂ්ක අයියාගේ නාට්‍යයක ප්‍රධාන චරිතය ලැබීමම ලොකු දෙයක්. ධනුෂ්ක අයියා මාව විශ්වාස කරලා මට ඒ අවස්ථාව ලබල දුන්නා. ඒ නාට්‍යයේ නම දාම් ළඟදීම ඒක විකාශනය වේවි. මාව නළුවෙක් කරන්න, තරුවක් කරන්න ධනුෂ්ක අයියා ලොකු වෙහෙසක් ගත්තා. මම හිතන්නේ ධනුෂ්ක අයියාගේ වෙස් හරහා මාව වෙනස් චරිතයක් කළා.

තමන් කරපු නැති වැරුද්දකට මිනිස්සු චෝදනා කරලා තියෙනවාද?

ඔව්... වැරුද්දක් කරලා නැත්නම්, මම ඒකට සම්බන්ධ නැත්නම් ඔයා ඕක හරියට හෙයල බලලා මට කියන්න කියලා විතරයි මම කියන්නේ. ඊට එහා මම කිසිම දෙයක් කියන්නේවත්, කරන්නේවත් නැහැ. මට ඒක අදාළ නැහැ.

ජීවිතේ ඊළඟට තියෙන බලාපොරොත්තු මොනවාද?

චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න හරි ආසයි. ඒ දවස එනකම් මම බලාගෙන ඉන්නවා.

දිශානි ජයමාලි කරුණාරත්න /   සේයාරූ සුමුදු හේවාපතිරණ

20201120Chameera-1