මම ලියපු මල් මල් සාරිය මගේ පුතා ගයනව දැකලා මට පුදුම හිතුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20201120Duka (2)

ඔහු දුකා ය. දුකා ඔහු ය. ‘දුකා’ කී පමණින් කොයි කාටත් මතක් වෙන්නේ දුක්ගන්නාරාළය. හරියටම කිවහොත් වසන්ත දුක්ගන්නාරාළ ය. ඔහු ඊයේ පෙරේදා සිට පැදුරට වැටී ඇති බැවින් මම ඔහු ඇමතීමි.

‘දුකා පැදුරට වැටුණා කියලා ආරංචි වුණා. ඇත්ත ද ඒ කතාව?’

“කතාව නම් ඇත්ත මචං.”

‘ඒකත් අර කබලෙන් ලිපට වැටුණා වගේ දෙයක් ද?’

“අද රටේ කොරෝනා ව්‍යාප්තිය දරුණු වෙලා. ඒ නිසා හුඟාක් දෙනා කබලෙන් ලිපට වැටෙන්න පුළුවන්. හැබැයි දුකා පැදුරට වැටුණෙ නම් එහෙම නෙමෙයි.”

‘එහෙනම්?’

“දුකා වැටුණෙ රෑ පැදුරට.”

‘පැදුරෙයි රෑ පැදුරෙයි වෙනසක් තියෙනවා ද?’

“අනිවාර්යයෙන්ම. ‘රෑ පැදුර කියන්නෙ’ ස්වර්ණවාහිනියෙන් සිකුරාදා රෑ විකාශය වන පැදුරු සාජ්ජෙ නම. මම පැදුරට වැටුණේ ඒ සාජ්ජය මෙහෙයවන්න.”

‘මං හිතන්නෙ දුකා ආපහු පුංචි තිරේට ආවෙ කාලෙකට පස්සෙ?’

“අවුරුදු දෙකකට විතර පස්සෙ.”

‘ඒ අවුරුදු දෙකේ හැංගිලා ද හිටියෙ?’

“හැංගිලා හිටියෙ නැහැ. හැබැයි පේන්න හිටියෙ අඩුවෙන්.”

‘ඒකට රහසක් ඇති?’

“මෙහෙමයි ස්වර්ණවාහිනියට මෑතකදී ආව සුදේව හෙට්ටිආරච්චියි, රංගනයි තමා මට කතා කළේ සංගීත සාජ්ජේ කරන්න. ඒ ඉල්ලීමට මං එකඟ වුණා.”

‘ඒ කියන්නෙ නොපෙනී හිටියත් දුකාව කට්ටියට මතකයි?’

“ඒක හරි.”

‘දුකා කියන අනන්‍යතාවය මුලින්ම තියපු රූපවාහිනී වැඩසටහන මතක ද?’

“කමතනෙ. ඒ 2005, 2006 වසරවලනෙ.”

‘ඊට පස්සෙ?’

“ගම්බාරේ, සූර ගොවියා, සොඳුරු ආඥාව කියන වැඩසටහන් කළා. කාලෙන් කාලෙට විරාමයන් සහිතව.”

‘ආයෙමත් පැදුර පාගමු. මට කියන්න රෑ පැදුරෙ හැඩරුව?’

“පැදුර නිෂ්පාදනය කරන්නෙ වාසු. එයාට ඕනෑ වුණේ ප්‍රවීණයන් දෙන්නෙකුයි නවීනයන් දෙන්නෙකුයි ගේන්න. ප්‍රවීණයන් ගීත පහ ගානේ කියද්දි නවීනයන් කියන්නෙ දෙක බැගින්. ඔක්කොම සිංදු දාහතරයි.”

‘තෝරගන්න සිංදු?’

“ඔක්කොම පරණ මිහිරි සිංදු. හැමෝම කැමැති සිංදු. විශේෂයෙන් හැත්තෑව අසූව දශකවල ගැයුණු.”

‘ප්‍රවීණයන් ඔවුන්ගෙ සිංදු කියන්නෙ නැද්ද?’

“නෑ... නෑ... ඔක්කොම අනුන්ගෙ සිංදු.”

‘මේ වැඩසටහනේදී දුකා පොඩි රඟපෑමක් කරනවා?’

“ඒක මගෙ අනන්‍යතාවයනෙ. පළවෙනි රෑ පැදුරෙ මං ඇන්දෙ ආරච්චිලාට. එදා පැදුරු සාජ්ජය තිබ්බෙ ආරච්චිලාගෙ ගෙදර.
ඊට පස්සේ දවසක එඩී ජයමාන්නට ඇන්දා. ඒ මනප්පුව ඇඳපු විදිහට. එදා රුක්මණී දේවි සමරු සාජ්ජයක් ද තිබ්බා. එදා කියපු ඔක්කොම සිංදු රුක්මණී ගයපුවා.” 

‘කොහොම ද ප්‍රතිචාර?’

“පුදුම සහගතයි. මොකද අපි බලාපොරොත්තු වුණේ අවුරුදු හතලිහ පැනපු අය පැදුරට එකතු වෙයි කියලා. ඒත් අවුරුදු විස්සෙ කොල්ලො කෙල්ලොත් පැදුරට කැමැතියි කියලා ප්‍රතිචාර දක්වලා තිබ්බා මුහුණුපොතෙන් එහෙම. ඒ කියන්නෙ තරුණ ළමයිනුත් හැත්තෑව දශකයේ ගීවලට කැමැතියි.”

‘කොහොම ද අලුත් පරපුර සම්බන්ධ කරගන්නෙ?’

“ලස්සනට සිංදු කියන්න පුළුවන් අලුත් පරපුරක් අපිට ඉන්නවා. පහුගිය වැඩසටහන්වලට ඒ නව පරපුරේ හැබෑ දක්ෂයො අපි ගෙනාවා. ගයාන් ගුණවර්ධන, නිපුනි නයනතාරා වගේ. ඉදිරියේ සනුක වික්‍රමසිංහ එහෙමත් එන්න නියමිතයි.
මේ වෙද්දි හුඟාක් නවකයො එයාලා ගයපු ආදර්ශ ගීතත් එක්ක ඉල්ලීම් කරලා තියෙනවා රෑ පැදුරෙ ඉඩක් දෙන්න කියලා. ඒ නිසා ඒකෙ ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ.” 

‘කොහොම ද දැන් රාළ ක්‍රියේෂන්ස්?’

“හොඳින් කෙරෙනවා. ඒකනෙ මගෙ ව්‍යාපාරය. සිංදු කරනවා, දැන්වීම් කරනවා. කොහොම හරි දිගටම වැඩ.”

‘අලුතින්ම කළ සිංදුවක් ගැන මතක් කරමු ද?’

“ඒක බොහොම රසකතාවක්. දවසක් සහන් රන්වල ට්‍රැක් එකක් හදාගෙන ආවා. ඇවිත් මට දීලා කියනවා මේකට සිංදුවක් ලියලා දෙන්න කියලා. අලුත් කෙල්ලෙකුට කියලත් කිව්වා. ඉතින් මම ලිව්වා ‘මල් මල් සාරිය’ කියලා සිංදුවක්. 
‘මේක මරු දුකා කීය ද උඹේ ගණන’ සිංදුව අහලා සතුටු වුණු සහන් ඇහුවා.
‘මම කොහොමද බං උඹට ගණන් කියන්නෙ’ මං ඇහුවා.
‘හරි මම උඹට මේකෙ සල්ලි තව සති දෙකකින් ගෙනත් දෙන්නම්’ කියලා සහන් ගියා.
ඔන්න ඊට දවස් දහතුනකට පස්සෙ සිරසෙ ජීවිතයට ඉඩදෙන්න කියන වැඩසටහනට මගේ පුතා ගියා. මමත් ඉතින් පුතා එක්ක ගියා. එයා සිංදුවක් කියන්න ලෑස්තිය. මට ඇහුණෙ කනට පුරුදු මෙලඩියක්. මෙන්න ඊළඟට කොල්ලා කියනවා මල් මල් සාරිය කියලා.
මට අදහගන්න බැරි වුණා. ඇස් දෙකට කඳුළුත් පිරුණා. මම එච්චර කාලෙකට එක එකාට සිංදු ලිව්වට මගෙ පුතාට සිංදු ලියලා නැහැනෙ. ඉතින් මගෙ වයිෆ් තමා සහන්ට කියලා ඔය වැඩේ කරලා තියෙන්නෙ.
එදා රෑ සහන් කතා කරලා අහනවා ‘දුකා උඹේ මල් මල් සාරියට කීයක් ඕනෑ ද’ කියලා. 
ඒක නම් මාර සර්ප්‍රයිස් එකක්.”

‘පුතාගෙ නම එහෙම?’

“සඳලිඳු”

‘සඳලිඳුවත් රෑ පැදුරට ගෙන්නවා ද?’

“බලමු බලමු.”

දුකා හිනැහේ.

නම ‘දුකා’ වුවත් ඔහු සතුටින් සිටින බැවින් මට දුකක් නොදැනේ.

ශාන්ත කුමාර විතාන

20201120Duka (1) 20201120Duka (3) 20201120Duka (4) 20201120Duka (5) 20201120Duka (6)