හදවතේ කැඩපත මුහුණයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20201124Wathsala (2)අවුරුදු කුමරියක් ලෙසින් කිරුළු පැළඳූ අයෙකුගෙන් ලස්සන ගැන කොතෙක්නම් කතා කරන්න කරුණු තියෙනවාද? හැකියාව, දක්ෂතාව, පෞරුෂය, මේ සියල්ල සමඟ ඇය රූමතියන් අතර රූමතියක් කරවීමට මොණර පිළක් බඳු කොණ්ඩය ද උපකාරි වූ බව නොරහසකි. වත්සලා කල්පනී මධුෂානි 2018 වසරේ දෙරණ අවුරුදු කුමරිය තරගාවලියේ තෙවන ස්ථානය ලබා ගනිමින් ක්ෂේත්‍රයට පැමිණි ඇය අප අද ලස්සන රහස් පිටුව සරසන්නට කැන්දාගෙන ආවෙමු. 

• ඉතිං වත්සලා මේ දවස්වල මොකද කරන්නේ. 

භාරගත්ත වැඩ කිහිපයක් නම් තිබුණා. Lockdown නිසා, ගෙදරටම වෙලා ඉන්නවා. 

• රඟපෑම් කටයුතුවලට අමතරව නිරූපණ ශිල්පිනියක් ලෙසටත් පෙනී සිටිනවාද?

ඔව්. ඇත්තටම රඟපෑම් කටයුතු වලට මම සම්බන්ධ වෙලා තියෙන්නේ සීමිතව. මේ ටිකට Bridal Modelling නම් පනහකට වඩා වැඩි ප්‍රමාණයක් කරලා තියෙනවා. 

• ලස්සන නිසාමද ඔබ ඔය තැන රැඳිලා ඉන්නේ. 

නැහැ. සුන්දරත්වය, ලස්සන කියන්නේ හැකියාව තියෙන කෙනෙකුට ඉදිරියට යන්න ලැබෙන වටිනා දෙයක්. නිරූපන කේෂත්‍රයේ බාහිර සුන්දරත්වය වගේම පෞර්ෂත්වය, ඉදිරිපත් විමේ හැකියාව, වගේ දේවල් තිබිය යුතුයි.
රඟපෑමට නම් දක්ෂතාවය. හැකියාව, පුහුණුව වගේම හැදෑරීමත් අවශ්‍යයි. ඒ නිසා මම පෞද්ගලිකව හිතනව සුන්දර වූ පමණින්, ලස්සන වූ පමණින් කෙනෙකුට ඉස්සරහට යන්න බැරි බව. එහෙම ගියත් එම ගමන තාවකාලිකයි. 

• ලස්සන කියන දේ කාන්තාවකට වැදගත්ද?

ඔව්. සෑම කාන්තාවකටම සුන්දරත්වය කියන දේ වැදගත්. විශේෂයෙන්ම පෞර්ෂත්වය කියන දේ. මෙතනදි මා දක්න්නේ කාන්තාවකගේ හමේ පාට නොවේ. ප්‍රියමනාපව, පිරිසිදුව, පිළිවෙලට. ඉන්නවා නම් කාන්තාවකට ලොකු වටිනාකමක් එකතු වෙනවා. 
අපි හැමෝගේම කුමන හෝ ලස්සනක් තියෙනවා කියලා තමයි මට නම් හිතෙන්නේ.

• කාන්තාවක් බාහිරෙන් පමණක් ලස්සන වෙලා ඇතිද?

නැහැ නේද? අර කියමනක් තියෙන්නේ හදවතේ කැඩපත මුහුණයි කියා. ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය නැතුව තවත් කෙනෙකුව රිදවන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන් නම් අපි ඉබේම වගේ ලස්සන වෙනවා.
බාහිරෙන් ලස්සන වෙන එක හරිම ඉක්මනට කරන්න පුළුවන් දෙයක්. ඒත හදවත පිරිසිදුව තියා ගන්න එක තමයි අමාරු. 

• ලස්සන වෙන්න කියලා හිතලා ගෙදරදි මොනවාද කරන්නේ. 

වතුර ගොඩක් බොනවා. කෑම බීමනම් ලොකුවට පාලනය වෙන් නෑ. කොච්චර කෑවත් මහත් වෙන්නේ නැති වාසනාවක් මට තියෙනවා. ඒක නිසා අමුතුවෙන් ව්‍යායාම කරලා ඇඟ අඩුකර ගන්න අවශ්‍ය වෙන්නෑ. අනිත් දේ තමයි මම හිතලම එළවළු, පළතුරු වැඩිපුර ආහාරයට එක්කර ගන්න එක.
ගස්ලබු, ඇපල්, අඹ, කෙසෙල්, අලිගැට පේර වගේ පළතුරු වලට මම ගොඩක් ආසයි. 
විශේෂයෙන්ම ඇඟේ උෂ්ණ ගතිය නැති කරන එළවළු, පළතුරු හිතලම ආහාරයට ගන්නවා. 
සව්, බාර්ලි, තැඩ්ලින් පුළුවන් හැම වෙලාවකම ගන්නවා. 
කෑම බීම අම්මා අතින්ම පිළියෙල කරලා දෙනවා. ඇත්තම කියනවා නම් මටත් වඩා මගේ ලස්සන ආරක්ෂා කරගන්න ඇය ලොකු උත්සාහයක් ගන්නවා. 

• මොණර පිළක් වගේ ලස්සන කොණ්ඩය රැකගන්න මොනවාද කරන්නේ. 

ඉස්සර නම් අම්මා ගෙදරම හදපු ඖෂධීය තෙල් වර්ගයක් දාලා හොඳට සාත්තු කරනවා. දැන් නම් ඔළුවට තෙල් දාගෙන ඉන්න ලොකු වෙලාවක් නැති නිසා කෝමාරිකා මිශ්‍ර තෙල් වර්ගයක් ඉදහිට පාවිච්චි කරනවා. 

• සමේ පැහැය ලස්සනට තියා ගන්න නිවසේදීම කර ගන්න දේවල් මොනවාද?

හම පිරිසිදුව තියා ගන්න එක තමයි ප්‍රධානම දේ. ඊට අමතරව නිවාඩුවක් ලැබුණ වෙලාවට කලාතුරකින් යෝගට් එකකට, කහකුඩු ස්වල්පයක් මිශ්‍ර කරලා ආලේප කරනවා. වැඩිපුර අව්වේ ෂූටින් කරපු දවසට කෝමාරිකා මදය මුහුණේ සහ ගෙලේ ආලේප කරනවා. 

• Bridal Modelling පනහක් විතර කරලා තියෙනවා කිව්වාට ඔබ අත්තටම Bridal කෙනෙක් වෙන්නේ කවදාද?

ඒකට නම් ටික දවසක් යයි. 

• සුන්දරත්වය නිසාම කෙනෙක් ඔබව තෝරා ගන්නවාට කැමතිද?

නැහැ. රූපයට, හැකියාවට නොවේ. මටම ගොඩක් ආදරය කරන මාව තේරුම් ගන්න කෙනෙක් මට ලැබිලා තියෙනවා. 

• රූපයෙන් ලස්සන වෙලා උපදින්නේ කුමක් නිසාද?

මම පුංචි කාලේ ඉඳලා අහලා තියෙනවා ගිය ආත්මේ ගොඩක් පිං කරපු නිසා තමයි මේ ආත්මේ ලස්සනට උපදින්නේ කියලා. 
ඊට අමතරව වාසනාවත් බලපාන්න ඇති කියලා විශ්වාස කරනවා.

• ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව. 

මම මේ ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව මගේ අම්මා. ඇය තරම් හදවතින් ලස්සන කෙනෙක් මෙන්ම, මතුපිටින් ලස්සන කෙනෙකු මට තවමත් මුණ ගැහිලා නෑ. 

• ලස්සන කියන්නේ ආඩම්බර විය යුතු කාරණයක්ද?

නැහැ. ලස්සන කියන්නේ තමන්ට ආත්ම අභිමානයක් ලැබෙන දෙයක් විනා වෙන කෙනෙකුට තමන්ගේ බලය පෙන්වන්න හෝ වෙන කෙනෙක් පහත් කොට සිතන්න පෙළඹෙන දෙයක් නොවේ. 
වර්තමානයේ බොහෝ ලස්සන අය ඒ අයට වඩා සුන්දරත්වයෙන් අඩු අය පහළට දැමීමේ මෙවලමක් විදිහට පාවිච්චි කරනවා. 
ඒකනම් නොවිය යුතු දෙයක්. මේ ලෝකේ ඉන්න හැමෝම ලස්සනයි. හැමෝටම මොනවා හරි දක්ෂතාවක් තියෙනවා. ඒ නිසා වෙන අයව රූපය නිසා පාගන්න හදන්න අවශ්‍ය නෑ. 

• සමේ පාට සුදු වූ පමණින් ලස්සනයි. කියා ඔබත් විශ්වාස කරනවාද?

නැහැ. කළු හම තියෙන ගොඩක් ලස්සන අයත් ඕනැ තරම් ලෝකයේ ඉන්නවා. සමේ පාටින් කෙනෙකුගේ සුන්දරත්වය මනින්න බැහැයි කියලයි මගේ නම් අදහස. 

• විලාසිතා කිරීමේදී සැළකිලිමත්ද?

ඔව්. මම ටිකක් උස නිසා උසට ගැලපෙන විදිහට විලාසිතා තෝරා ගන්නවා. ඇඟ නිරාවරණ වෙච්ච ඇඳුම් වලට නම් මම කොහොමත් කැමති නෑ. 
සරළ බවයි, චාම් බව, පහසුව, මේ කියන දේවල් ගැන නම් විලාසිතාවක් කිරීමේදී හොයලා බලනවාමයි. 

• ඇඟට වඩාත් ගැලපෙන පාට

කහ පාට, රෝස පාට වගේ ලා පාට වලට මම ගොඩක් ආසයි. 

• හැමදාම සතුටින් ඉන්න මොනවාද කරන්න ඕනේ. 

පිළිවෙල, පිරිසිදුකම අංක එක. ඊට අමතරව හිත සතුටින් ඉන්නවා නම් අපි ඉබේ ලස්සන වෙනවා. 

 

අසුන්තා එදිරිසූරිය / ඡායාරූප: සජීව ලක්ෂාන්

20201124Wathsala (4) 20201124Wathsala (6) 20201124Wathsala (7) 20201124Wathsala (8) 20201124Wathsala (9)