සැබෑ ජීවිතේ වීර චරිතයකින් පොලීසියට කොටු වූ විල්සන් කරු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20201201Karu-2පසුගිය සතියේ බොහෝ දෙනා කතා වූ මාතෘකාවක් වූයේ ප්‍රවීණ සටන් අධ්‍යක්ෂකවරයකු සහ නළුවකු වන විල්සන් කරුණාරත්න මහතා කොරෝනා හේතුවෙන් රජයෙන් ලබා දෙන රුපියල් පන්දහසේ සහනාධාර මුදල ගැනීමට යන අතරතුර කිරුළපන පොලීසියේ නිලධාරියකු සමඟ ඇතිකරගත් පටලැවිල්ලය.

ඔහු මුඛ ආවරණය පැළඳ නොසිටීම හේතුවෙන් පොලීසියට ගෙන ගොස් ඇති බව විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබුණි. විවිධ කතා විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ පළවෙද්දී “ඇත්තටම මොකද වුණේ” යනුවෙන් අසන්නට අපි විල්සන් කරුණාරත්න මහතා සොයා ගියෙමු.

“හැමදාම උදේට මම ව්‍යායාම් කරන්න යනවා. එදත් මම ව්‍යායාම් කරන්න ගියා. ගෙදර ඇවිත් මගේ ගෙදර ඉන්න පූසන්ට කෑම කන්න දුන්නා. ටික වෙලාවකින් වෙනදා වගේ මම පාරට ආවා. ඒ වෙලාවේදී අහිංසක මනුස්සයෙක් “අනේ පුතේ මට අර රුපියල් පන්දාහ අරගෙන දෙන්න.. මට පෝලිමේ ඉන්න බැහැ” කියලා කිව්වා.”

විල්සන් කරුණාරත්න කියන පරිදි රුපියල් පන්දහස ගැනීමට ඒ වන විට කිරුළපන ග්‍රාමසේවා කාර්යාලය ඉදිරිපිට දෙසීයක පමණ පෝලිමක් පැවතුණි. ඒ බොහෝ මුහුණු කරුට හොඳට පුරුදුය. ඔහුගේ උපන් ගම කිරුළපනය. ඔහු හැදී වැඩුණේ කිරුළපනේය. ඒ නිසාම ඔහු ඒ අහිංසක කාන්තාවට “එන්න අම්මේ යන්න” යැයි පවසමින් පෝලිමේ ඉදිරියට එක්ක යන්නට සැරසුණේය.

“ඒ වෙලාවේ එක පිරිමි ළමයෙක් “තමුසේ කොහේද යන්නේ” කියලා මගෙන් ඇහුවා. එයාලා හිටියේ සිවිල් පිටයි. ඒ නිසා එයාලා පොලීසියේ රාළහාමිල කියලා ඇත්තටම මම දැනගෙන හිටියේ නැහැ. බොටම් එකකුයි, ටී ෂර්ට් එකකුයි ඇඳගෙනයි හිටියේ. ඒ නිසා මේ පොලීසියෙන් කියලා මම දැනගෙන හිටියේම නැහැ. ඇත්තටම මම හිතුවේ ඒ පිරිමි ළමයින් සල්ලි ගන්න ආපු කට්ටිය කියලා. “මේ අහිංසක මනුස්සයෙක්. ඇවිදගන්නත් බැහැ” කියලා මම කිව්වාම ”ආ.. ඒක අපි බලාගන්නම්. තමුසේ යනවා” කියලා මාව තල්ලු කළා. ඒ වෙලාවේ “මොකද මේ තල්ලු කරන්නේ” කියලා ඇහුවාම “තමුසේගෙ කට වැඩියි” කියලා මාව තල්ලු කරන්න හදද්දී මාත් ඒ පිරිමි ළමයාව තල්ලු කළා. ඇත්තටම ඒ වෙලාවේවත් මම හිතුවේ නැහැ මේ පොලීසියේ රාළහාමි කෙනෙක් කියලා. අවංකවම මම ඇත්ත කියන්නම්. මගේ හිතට ඒ වෙලාවේ ආවේ ලොකු ලජ්ජාවක්.” කරු දේශයට ඒ සිදුවීම පෙළගැස්වූයේ එලෙසිනි.

ඔහු කියන පරිදි ඒ මොහොතේ හිතට ආවේ ලජ්ජාවකි. දන්නා හඳුනන මුහුණු ඉදිරියේ, වරදක් නොකරපු තමන්ට නොපෙනෙන ඉලන්දාරියකුගෙන් එවැනි ප්‍රතිචාරයක් ලැබෙද්දී ඔහුට ලජ්ජාවක් ඇතිවිය. අවසානයේදී කරුට පොලිස් නිලධාරියකුට පහරදීමට තැත් කිරීම හේතුවෙන් කිරුළපන පොලීසියට යාමට සිදුවිය. එයට තවත් හේතුවක් ද විය. කරුට නිසි පරිදි මුඛ ආවරණය පැළඳ සිටීමට ද ඒ මොහොතේ අමතක වී තිබීමය. පොලිස් නිලධාරීන් ඒ පිළිබඳව ද මතක් කරද්දී කරු විගසින් නිසි පරිදි මුඛ ආවරණය පැළඳ ගත්තේය.

“මම ගෙදර ඉඳිද්දී පොලීසියේ මහත්තුරු දෙන්නෙක් ඇවිත් “කරු අයියා.. අපි පොලීසියට යමු” කියලා කිව්වා. ඒ වෙලාවෙම මම පොලීසියට ගියා. ඇත්තටම කිරුළපන පොලීසියේ මහත්තුරුන්ට මම ගොඩක් ගෞරව කරනවා. මගේ ජීවිතේට මම පොලීසියේ රැයක් ගත කළේ එදාමයි. මට ඒ ගැන දුකයි. මම දැනගෙන කරපු වරදක් නොවේ. ඕ.අයි.සී. මහත්තයා පවා මම ළඟට ඇවිත් “මොකද කරු මේ..” කියලා ඇහැව්වා. “ඒක තමයි සර්. මම ඒ රාළහාමිලාව හැඳුනුවේ නැහැ. එහෙම අඳුරගත්තා නම් මම එහෙම කරන්නෙම නැහැ. සිවිල් පිටනේ හිටියේ” කියලා කිව්වා.”

“කිරුළපන අවුරුදු ගාණක් මම වෙසක් කූඩුවක් ගහනවා. ලක්ෂ ගණන් මිනිස්සු ඒක නරඹනවා. ඒක විවෘත කරන්නත් ගෙන්වන්නේ පොලීසියේ ලොකු මහත්තයාවයි. ඒ තරමටම මම පොලීසියේ මහත්තුරු එක්ක හරිම හිතවත්.” ඔහු පවසයි.
කරු පවසන පරිදි කිරුළපන පොලීසියේදී ඔහුට කිසිම නිලධාරියකු අතවත් තබා නැත. පොලිස් නිලධාරීන් පොලීසියේදී තමා සමඟ සුහදව කතාබහ කළ බව ඔහු කියයි. කිරුළපන පොලීසියත්, කරු ජීවත්වන නිවෙසත් අතර වැඩි දුරක් නැත. නිතරම මොවුහු මුණගැසෙති. ඇතැම් පොලිස් නිලධාරීන් තමන් සමඟ ඔවුන්ගේ ජංගම දුරකථනයෙන් ඡායාරෑප ගන්නා බවද කරු පවසයි. නමුත් නොදැන කළ වරදට තමාට කිරුළපන පොලීසියේ රැයක් ගත කරන්නට සිදු වූ බව ඔහු කියයි.

කිරුළපන උපන් කරුට පොලීසියේ රැයක් ගතකිරීමෙන් පසුව ඇප ලැබුණි. ඒ ඇප තබන ලද්දේ කරුට ආදරය කරන සැන්ඩෝ හැරිස් කලාකරුවා විසිනි.

විල්සන් කරුණාරත්න සිනමාවට අවතීර්ණ වූයේ 1974 වසරේදීය. එතැන් සිට සිනමාවේ සක්විති ගාමිණී ෆොන්සේකාගේ සිට සිනමා වීරවරයන්ගේ පිටුපස ඉන්නා දුෂ්ඨයාගේ චරිතය අපූරුවට රඟපෑ කරු පොලීසියේ රැයක් ගතකොට නිදහස් වන මොහොතේ සැන්ඩෝට, රන්ජන්ට අමතරව කිසිදු ප්‍රවීණ නළු නිළියකු කරු ගැන සොයා බලා නැත. අඩුම තරමේ දුරකථන ඇමැතුමක් දී “මොකක්ද කරු අයියේ වුණේ” කියා ආසා හෝ නැත. ඒ ගැන අද කරු කතා කරන්නේ මහත් කලකිරීමෙනි.
“මට පොලීසියේදී කවුරුවත් අත තිබ්බෙවත් නැහැ. පහුවදා සැන්ඩෝ ඇප දීලා මාව එළියට ගත්තා. දැන් ඒකේ නඩුව ලබන අවුරුද්දේ පෙබරවාරි තියෙනවා. මොනව කරන්නද? නොදැන කරපු දේට අන්තිමට මට නඩුවකටත් ඉන්න සිද්ධ වුණා. මට රන්ජන් විතරක් කතා කරලා මොකක්ද කරු අයියේ වෙන්න ඕනෙ කියලා ඇහුවා. එච්චරයි.”

මේ සිදුවීමත් සමඟ විල්සන් කරුණාරත්නට “ඉන්න හිටින්න තැනක් නැහැ. ආදායමක් නැහැ” යනුවෙන් විවිධ සමාජ මාධ්‍ය වෙබ්අඩවි පළ කර තිබුණි. එවැනි වෙබ්අඩවි ගැන කරුට ඇත්තේ පසුතැවිල්ලකි. ලජ්ජාවකි. කලකිරීමකි.

“මට තට්ටු හතරක බිල්ඩින් එකක් කිරුළපන තියෙනවා. ඒ හැම එකක්ම මම කුලියට දීලයි තියෙන්නේ. ඒක තියෙන්නේ කිරුළපනේ පාර අයිනෙමයි. මට එහෙම සල්ලි අහේනියක් නැහැ. මේ මම ඉන්න විදිහ. මම උපන්නේ කිරුළපනේ. ජීවත් වෙන්නේ අදටත් ඒ ගමෙයි. මට කකුල් දෙකේ සෙරෙප්පු දෙකක් නැතිව වුණත් මේ කිරුළපනේ ඇවිදින්න පුළුවන්. මට දැන් වයස අවුරුදු හැත්තෑ අටක්. ඉතින් තනිකඩ ජීවිතයක් ගෙනියන මම මේ රැවුල කළු කරන්න ඕනෙද? ඔය නාට්‍යයකට, චිත්‍රපටයකට ඕන වුණොත් මම රැවුල ඒ චරිතයට ඕන විදිහට වෙනස් කර ගන්නවා. ඒ හැර සුදුවෙන රැවුල හැමවෙලේම මම කළු කරන්නේ නැහැ. මම බොහොම සරල මනුස්සයෙක්.”

සැබැවින්ම විල්සන් කරුණාරත්න වෙනුවෙන් ඇතැමුන් මුහුණුපොතේ, සමාජ මාධ්‍යවල තැබූ බොහෝ සටහන්වල සත්‍යතාවයක් නැත. කිරුළපන නගරයේ ඇති තට්ටු හතරේ ගොඩනැගිල්ලෙන් ඔහුට මාස්පතා කුලී ලැබේ. ඔහු තනිකඩයෙකි. උපන් ගම වූ කිරුළපනේම ඔහුගේ සහෝදර සහෝදරියන් පස් දෙනෙක් ජීවත් වෙති. ඔහුගේ වැඩිමහල් සහෝදරයකු නැගණියන් දෙදෙනකු සහ බාල සහෝදරයන් දෙදෙනකු සෑම දිනකම ඔහුට තුන්වේලටම කෑම ලබා දෙන්නේ ද මේ සහෝදර සහෝදරියන්ගේ නිවෙස්වලිනි. ඔවුන්ගේ දරුවන් ද කරු ගැන නිතර සොයා බලති. මේ නිසාම කරු පවසන පරිදි ඔහු ජීවිතේ තනි වී නැත. ඔවුන් කොතෙක් කතා කළ ද කරු ඒ කිසිවකුගේ නිවෙසේ නතර වන්නට නම් යන්නේ නැත. අවුරුදු ගාණක් තිස්සේ තමන් තනිව ජීවත් වූ තමන්ගේ කාමරයේ ඔහු අදටත් නිදහසේ ජීවත් වෙයි. ඔහුගේ තනිය මකන්නේ පූසන් දාහතර දෙනෙකි.

කරුට තම සහෝදරියන්ගේ නිවෙස්වලින් තුන්වේලටම කෑම ලැබුණද, ඔහුගේ දිනචර්යාවේ සෑම උදෑසනකම මේ සතුන් වෙනුවෙන් කෑම පිළියෙල කිරීමේ වෙලාවක් වෙන් වී තිබේ. සෑම දිනකම උදෑසනම ව්‍යායාම් කොට නිවෙසට එන කරු තම කාමරයේ පිටුපස කොටසේ විශාල වළඳක මේ අහිංසක සතුන් වෙනුවෙන් කෑම පිසින්නේය. ඒ සතුන් වෙනුවෙන් මාළු, මස් ගැනීමට කරු කිරුළපන වෙළෙඳසලට දිනපතා යයි. මෙම බළලුන් දාහතර දෙනාට අමතරව මහපාරේ යන සුනඛයන් කිහිප දෙනෙක් ද දැන් පුරුද්දට මෙන් කරුගෙන් කෑම කන්නට එති. රූගත කිරීමක් නිසා හෝ වෙන යම් කටයුත්තක් නිසා හෝ නිවෙසින් පිටතට යාමට සිදුවුණු දිනවලදී කරු කිරුළපන හෝටලයකට මුදල් ගෙවා බත් පාර්සල් කිහිපයක් මේ අසරණ සතුන් වෙනුවෙන් ලබා දෙන්නට කටයුතු සලස්වයි. කිරුළපන නගරයේදී අනුන්ට අතපා ජීවත්වන දරුවන්ට, අහිංසකයන්ට ඇතැම් දිනවලදී කරු තම වියදමින් කෑම පාර්සල් මිලදී ගෙන දෙනු කිරැළපන වැසියන්ට නම් නුහුරු අත්දැකීමක් නොවේ. සිංහල සිනමාවේ සටන් නළුවා වූවාට, දුෂ්ටයා වූවාට අද කිරුළපන වැසියන්ට කරු දුෂ්ටයකු නොවේ.

කොවිඩ්-19 ආ පළමු වතාවේදී රන්ජන් රාමනායක මහ රෑ සැන්ඩෝ හැරිස්ගේ නිවෙසට පැමිණ “කරු අයියා ඉන්නේ කොහෙද?” යැයි අසා තිබිණි. සැන්ඩෝ, රන්ජන්ව කරුගේ කාමරයට ගෙන ගොස් කාමරයේ දොරට තට්ටු කළේය. ඒ මොහොතේ දී කරු තද නින්දේය. දෙවරක්, තෙවරක් දොරට තට්ටු කිරීමෙන් කරුගේ කාමරයේ දොර ඇරුණි. ඒ වන විටත් රන්ජන් රාමනායක කරු දිනපතා සතුන්ට ආහාර ලබාදෙන බව දැන සිටියේය. ඒ නිසාම මේ සතුන්ට රන්ජන් හාල් උර කිහිපයක් ලබා දුන්නේය. “මේ මොකද මේ” කරු ඇසුවේ පුදුමයෙනි. “නෑ අයියා.. ඔයා සත්තු ටිකට කන්න දෙන්න ඕනනෙ. ඒක ඔයාගේ ඩේලි ෂෙඩියුල් එකනේ. සත්තු කෑවේ නැත්නම් ඔයා කන්නේ නැහැනේ” රන්ජන් කීවේය. 

හාල් මිටි දුන් රන්ජන් සාක්කුවෙන් මුදලක් ගෙන කරුගේ අතට දුන්නේය. නමුත් කරු එක්වරම අත ගසා “මොකටද?” යැයි ඇසූ විට “නෑ කරු අයියා.. මේ ඇවිල්ලා වලිසුන්දර කියන වන්ෂොට් චිත්‍රපටයේ චරිතය වෙනුවෙන්. වන්ෂොට් දිව්වේ වලිසුන්දර කියන ඇමැතිතුමාගේ චරිතයටයි. කලින් මම ඔයාට ඒ චරිතයට සල්ලි දුන්නාට මේක ඒ චරිතය වෙනුවෙන් තියාගන්න” යැයි රන්ජන් මුදල දුන්නේය.

විල්සන් කරුණාරත්න නොදැන සිටියාට රන්ජන් ඒ සියල්ලම රූගත කර තිබුණි. එතැනින් නොනැවතුණු රන්ජන් එය ඔහුගේ වෙබ්අඩවියේ ද ප්‍රචාරය කළේය. මහ රූ එකොළහට පමණ නොසිතූ පරිදි තද නින්දේ සිටි කරුගේ පෙනුමත්, ගොඩනැගිල්ලේ පෙනුමත් නිසා බොහෝ අය “කරු අයියා පාරට වැටිලා” යැයි සිතූහ. කරු ඉන්න හිටින්නට තැනක් නැති, කාත් කවුරුවත් නැති, කෙනකු යැයි සිතූහ. නමුත් කරුට අසීමිතව ආදරය කරන පරම්පරාවක් අදටත් ඔහු වටා සිටිති.

විල්සන් කරුණාරත්න 1974 දී (හදවත් ඇත්තෝ) නම් සිනමාපටයේ දුෂ්ඨයා චරිතයෙන් සිනමාවට සම්බන්ධ විය. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ රොබින් ප්‍රනාන්දු සහ නීටා ප්‍රනාන්දුය. චිත්‍රපටයේ එක් සටන් ජවනිකාවක රබර් ගසක් දෙපැත්තේ සිට රොබින් හා කරු සටනේ යෙදෙන ජවනිකාවක් තිබිණි. එහිදී රොබින්ව අදිමින් කරු රබර් ගසේ තම පපුව වද්දා ගනිද්දී රබර් ගසේ අග්ගිස්ස සෙලවුණු බව කරු කියන්නේ සිනහ වෙමිනි. 

දිනේෂ් ප්‍රියසාද් අධ්‍යක්ෂණය කළ (දෙමෝදර පාලම) චිත්‍රපටයේ වීදුරුවක් කඩාගෙන ඉහළ සිට පහළට පනින දර්ශනයේදී කරු අඟල් එකහමාරක ඝණකමක් සහිත වීදුරුවක් බිඳ තිබිණි. ගාමිණී ෆොන්සේකා ඔළුවට අත ගසාගත්තේය. අඟල් දෙකක පමණ වීදුරු කැබැල්ලක් කරුගේ ඔළුවේ ඇනී තිබුණි. එය ඇද එළියට ගත්තේ ද ඔහුමය. කෘත්‍රිමව ලේ හැලීමට දර්ශනයේ සූදානම් කර තිබුණද, කරුගේ සැබෑ රුධිරය ඕනවටත් වඩා දර්ශනයේ තිබුණි. ඒ තරමට ඔහු තාත්වික දුෂ්ඨයාගේත්, සටන් නළුවාගේත් කොටස රඟපෑවේය.

කෙසේ වුවද මේ සිදුවීමෙන් පසුව කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ද කරුව මුණගැසීමට පසුගියදා පැමිණ තිබුණි. එමෙන්ම චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස මහතාට ද ඔහු ස්තූති කළේය. විල්සන් කරුණාරත්න අධිකරණයට හිස නමන අයෙකි. නොදැනුවත්කමින් සිදුවූ සිදුවීම ගැන ඔහු අද පසුතැවෙයි.

දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ
විශේෂ ස්තූතිය - සැන්ඩෝ හැරිස් කලාකරැවාට

20201201Karu-1