රෑට කන්නෙ බොහොම පොඩ්ඩයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20201201Nadee-1රුව මෙන්ම හඬද කෙනෙකුගේ හදවතේ රැඳෙන්නේ නම් එය කලාතුරකිනි. එවැනි භාග්‍යයක් ලද සුන්දර යුවතියක් අපට මුණගැසුණි. ඇය නමින් නදීෂා අනුරුද්ධි වීරසිංහය. නමුත් ඇය බොහෝ දෙනකු හඳුනන්නේ නදී වීරසිංහ කියන ආදරණීය නාමයෙනි. 
ශ්‍රාවක ආදරය නොවඩුව ලබන ඇය නිවේදිකාවක් මෙන්ම  වැඩසටහන් නිෂ්පාදිකාවක් ලෙස ක්ෂේත්‍රයේ නමක් රන්දා ඇති හිරු FM හි සවස 2-4 දෙපැයෙහි සිටින සිත්තරාවී කරන ඇය ගෙන් අද ලස්සන පිටුව සැරසේ. 

• ආදරය ගැන නිතරම කතා කරන නිසා ද මේ තරම් ආදරයක් ලබන්නේ.

මම හිතන්නේ. මගේ වැඩසටහන පුරාම කතා කරන්නේ ආදරය ගැන. මේ විශ්වයේ තිබෙන හදවතට කතා කරන්න පුළුවන් හොඳම මාතෘකාව තමයි ආදරය කියන්නේ. ආදරය ගැන කතා කරන නිසාම වෙන්න ඇති පෙරළා මට ආදරය ලැබෙන්නේ. 

• මිනිසුන් ඔබව හඳුනාගෙන තිබෙන්නේ හඬින්. සැබෑවටම ඔබ දැක්කාම ඔවුන් මොනවද කියන්නේ.

ම්.... ගොඩක් අය කියනවා ඔයාගේ කටහඬ වගේම ඔයත් ලස්සනයි කියලා. සමහර අය කියනවා ඔයාට වඩා ඔයාගේ හඬ ලස්සනයි කියලා. ඒ හැමදේම දකින විදිහ අනුව වෙනස්. කොහොම නමුත් ඒ හැම ප්‍රතිචාරයක්ම මම ආදරයෙන් බාර ගන්නවා. 

• කාන්තාවකට සුන්දරත්වයක් තිබීම වැදගත් කියා ඔබ විශ්වාස කරනවාද? 

ඔව්. අපි කවුරු කොහොම කිව්වත් මුලින්ම කෙනෙක්ව අපි හඳුනා ගන්නේ මතුපිටින් පෙනෙන ස්වරූපයෙන්. එහෙම බැලුවාම සුන්දරත්වයට තමයි පළමුව අපේ හිත යන්නේ. ඊට පස්සේ තමයි හදවත හඳුනා ගන්නේ. ඒ නිසා මම හිතනවා කාන්තාවක් විදිහට ඇගේ වටිනාකම් ඉස්මතු කරගන්න පිළිවෙළට පිරිසුදුව ප්‍රියමනාව සිටීම හරිම වැදගත් කියලා. 

• සුන්දර වූ පමණින්ම කාන්තාවකට යම් ක්ෂේත්‍රයක රැඳිය හැකිය කියා ඔබ හිතනවාද? 

නැහැ. ලස්සන තියෙන කෙනෙකුට ලස්සන මූලික කරගෙන යම් ක්ෂේත්‍රයකට පිවිසෙන්න පුළුවන් වෙයි. නමුත් ඕනෑම ක්ෂේත්‍රයක රැඳෙන්න නම් ඒ ක්ෂේත්‍රය පිළිබඳ දක්ෂතාවක්. හැකියාවක්, හැදෑරීමක්, දැනුමක් තිබිය යුතුමයි. 

• ඔබ වැඩිපුරම ආදරේ කරන්නේ රැකගන්න උත්සාහ කරන්නේ ඔබේ හඬද රුවද? 

හඬට වගේම රුවටත් ගොඩක් ආදරෙයි. හඬ නිසා තමයි බොහෝ දෙනකුගේ හදවතේ මගේ රුව රැඳුනේ. රුව නිසාම මගේ කටහඬ මතකයට එන අයත් ඇති. කොහොම නමුත් රුවයි, හඬයි කියන්නේ මට කාසියක දෙපැත්තක් වගේ. 

• කට හඬ ලස්සනට තියාගන්න මොනවාද කරන්නේ

කට හඬට අනන්‍යතාවක් ගොඩනගාගෙන තිබෙන නිසා මගේ දෛනික ජීවන රටාව පවා හැඩ ගැසී තිබෙන්නේ ඒ වෙනුවෙන්. උදේ අවදි වුණ ගමන්ම ලොකු උණුසුම් වතුර වීදුරුවක් බොනවා. දවස පුරාම මම කොහොමත් බොන්නේ මද උණුසුම් වතුර. උදේට පුංචි වෙලාවකදී උගුරට අවශ්‍ය පුංචි අභ්‍යාසයක් කරනවා. කොච්චර ආස වුණත් සීතල කෑම කන්නේ නැහැ. උගුරට, කටහඬට හානියක් වෙයි කියලා. හඬ ලස්සනට තියාගන්න නිරෝගිකම ආරක්ෂා කරගන්න උත්සාහ ගන්නවා වගේම හඬට වටිනාකමක් එකතු වෙන්න නම් මම දැනුමෙන් සන්නද්ධ විය යුතුයි. මේ නිසා මම නිතරම පොත් කියනවා. ලෝකයේ යාවත්කාලින වෙන තොරතුරු වලින් සන්නද්ද වෙනවා. 

• රුව ලස්සනට තියාගන්න මොනවාද කරන්නේ.

වතුර ගොඩක් බොනවා හිතලාම. කෑම බීමෙන් නම් ලොකුවට පරිස්සම් වෙන්න ලැබෙන්නේ නෑ. ඒත් පුළුවන් හැම වෙලාවකම එළවළු, පළතුරු, පලා වර්ග ආහාරයට එක්කර ගන්නවා. ඇඟ මහත්වෙන නිසා රෑට කන්නේ හරිම පොඩි ආහාරයක්. ඊට අමතරව නිවාඩුවක් ලැබෙන වෙලාවට ගෙදර ඉන්න කොට ස්වභාවිකව සකසා ගත් පැක් එකක් භාවිතා කරනවා. කෝපි කුඩු ටිකකට යෝගට් ටිකක් දාලා, දෙහි, මීපැණි මිශ්‍ර කරලා මුහුණ හොඳට විනාඩි 3ක් විතර ස්ක්‍රබ් කරලා හොඳට යෝගට්, තක්කාලි ඉස්ම, මීපැණි, කහ, එකතු කරලා හදාගත්ත පැක් එකක් මූණට දාලා විනාඩි 20-25 ඉඳලා හෝදලා දානවා. මේ ස්වභාවික සත්කාරය හමට හරිම හිතකරයි වගේම, මැරුනු සම ඉවත් වෙලා දීප්තිමත් බවකුත් ලැබෙනවා. 
හිසකෙස්වල සුන්දරත්වයට අම්මා ගෙදර හදලා දෙන පොල්තෙල් තමයි අදටත් මම හිසට දාන්නේ. කෘත්‍රීමව කෙරෙන්නේ කොණ්ඩය ෂැම්පු කරන එක විතරයි. 

• ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව 

ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව මගේ අම්මා. අදටත් අම්මාගේ පාසල් අවදියේ යාළුවෝ හම්බ වුණාම කියනවා දුව ඔයත් දැන් අම්මා වගේම ලස්සනයි කියලා. ඇත්තට මම හදවත වගේම මතුපිටිනුත් ලස්සන කෙනෙක් දැක්කා නම් ඒ මගේ අම්මා. 

• විලාසිතා කිරීමේ දී සැළකිලිමත්ද? 

ඔව්. මට ගැලපෙන විදිහට, රැකියාවට ගැලපෙන විදිහට වගේම මගේ ඇඟේ හැඩයට ගැලපෙන විදිහට මම විලාසිතා කරනවා. කෙනෙකුගේ බාහිර ප්‍රතිරූපය මැනිය හැකි ප්‍රධානම මෙවලමක් තමයි විලාසිතා කියන්නේ. ඒ නිසා ඇත්තටම විලාසිතා තෝරා ගැනීමේ දී සැළකිලිමත් වෙනවා. 

• හදවතින් ලස්සන වෙන්න මොනවද කරන්නේ

පරාර්ථකාමීව හිතන්න පුළුවන් නම් අපි ඉබේම ලස්සන වෙනවා කියලයි මට නම් හිතෙන්නේ. 

• සුන්දරත්වය කියන්නේ ආඩම්බර විය යුතු දෙයක්ද?

නැහැ. ලස්සනයි කියන වචය ඇහෙනකොට හිතට පුංචි ආඩම්බරයක් එන අවස්ථාත් නැතුව නොවේ. ඒත් තවත් ලස්සනට, පිළිවෙළට ඉන්නකොට ලැබෙන ආත්ම අභිමානය ඊට වඩා හාත්පසින්ම වෙනස්. ‘ඔයා ලස්සනයි’ කියලා කවුරු හරි කිව්වාම ලස්සනට ඉන්න ඕනේ කියන අදහස ඉබේම එනවා. 

• කෙනෙක් ලස්සන වෙලා උපදින්නේ

පෙර ආත්මවල කරපු කුසල් නිසා වෙන්න ඇති. 

• ඔබ අද ඔතන ඉන්නේ සුන්දරත්වය නිසාමද? 

නැහැ. බාහිර පෙනුම තිබූ පමණින් අද මා සිටින තැනට එන්න බෑ. කොළඹින් ගොඩක් දුර බැහැර මාතර දෙනියාය ප්‍රදේශයේ ඉපදිලා, රුහුණු ගුවන් විදුලියෙන් මාධ්‍ය ක්ෂේත්‍රයට ගුවන් විදුලි නිවේදිකාවක් ලෙසට අවතීර්ණ වුණ මම අද මෙතන ඉන්නේ සරළම භාෂාවෙන් කිව්වොත් කට්ටක් කාලා ආපු ගමනක් නිසා කියලා තමයි කියන්න තියෙන්නේ. 

• සතුටින් ඉන්නකොට ලස්සන වෙනවා කියලා ඔබ විශ්වාස කරනවාද? 

ඔව්. සතුටින් ඉන්නකොට මනස නිදහස් නිසා, ලේ ධාතුව පිරිසිදු වෙලා ඉබේම අපි ලස්සන වෙනවා. මගේ වැඩ සටහනේ පැය දෙක පුරාවටම මම කරන්නේ ඒ දෙයමයි. ආදරය කියන්නේ මහා උත්තරීතර දෙයක්. ඇත්තටම ලෝකයේම පැවැත්ම රඳා පවතින්නෙත් අපි එකිනෙකාට දක්වන ආදරය නිසා. මිනිසුන්ට පමණක් නොවේ සතා සිව්පාවා, ස්වභාව දහමටම ඒ ආදරය පැතිරිය යුතුයි. 

අසුන්තා එදිරිසූරිය

20201201Nadee-2 20201201Nadee-3