අක්කයි නංගියි එක්ක මාව සංසන්දනය කරන්න බැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රංගනයට වසර ගණනාවකින් එකතු වීම නිසා මගේ ජීවිතය අලූත් වුුණා කියලා හිතුණා. අවුරුදු පහකට හරි හයකට හරි පස්සේ තමයි රඟපෑමට එක්වුණේ.

දිගු කලකට පසු දර්ශන තලයේදී ලැබුණ ප්‍රතිචාර?

ඇත්තට ම හොඳයි. මම පළමු වතාවට තමයි ටෙලි නාට්‍යයක් භාර ගත්තේ. ඒක විශේෂ අත්දැකීමක් වුණා. ඒක වෙනස්ම අත්දැකීමක් වුණා. ගොඩක් දෙනෙක් සතුට පළ කළා සමහරු මට මැසේජ් දාලා තිබුණා නාට්‍යය බලන්න නොඉවසිල්ලෙන් ඉන්නවා කියලා.

ඇයි මේ ටෙලි නාට්‍යයක් භාර ගත්තේ?

මම ඇත්තටම හොඳ ටෙලි නාට්‍යයක් ආවොත් භාර ගන්නවා කියන තැන හිටියේ... චිත්‍රපටයක් ගත්තොත් මාසයක් වගේ කාලයකින් රූගත කිරීම් අවසන් කරනවා. අනික මම ඒ කාලවකවානුවේ අධ්‍යාපන කටයුතු සිදු කරමින් හිටියේ. ඉතින් මම හිතුවේ චිත්‍රපටයක වැඩ කරන එක මගේ අනෙක් වැඩ කටයුතුවලට ලේසියි කියලා. අවුරුද්දට එක චිත්‍රපටයක් තමයි මම භාර ගත්තේ. ඒ අධ්‍යාපන කටයුතුවලට මුල්තැන දීපු නිසා. මේ වෙනකොට මගේ අධ්‍යාපන කටයුතු අවසන් දැන් මට චිත්‍රපටවලට විතරක් නෙමෙයි ටෙලි නාට්‍යවලට ද සම්බන්ධ වෙන්න කාල වේලාව තියෙනවා.

ඉදිරියේදී ඔබව පුංචි තිරයෙනුත් නිතර දකින්න පුළුවන්?

ඔව් පුළුවන්. මම ඒකත් තෝරලා බේරලා තමයි භාර ගන්නෙ. හොඳ අධ්‍යක්ෂවරයකුගේ හොඳ කතා තේමාවක් නම් භාර ගන්නවා.

මෙවර ලැබුණේ මොන වගේ චරිතයක්ද?

චරිතය ගැන දැන්ම කතා කරන්න ඕනෑ නෑ. ඒ ගැන ඉදිරියේදී කතා කරමු කියලයි මම හිතෙන්නෙ.

මෙහි අධ්‍යක්ෂවරයාත් නවක අධ්‍යක්ෂවරයෙක් නේද?

මෙහි අධ්‍යක්ෂවරයා මට ආරාධනා කළහම කොහොම මේක භාරගනීවිද කියලා කියන්න මට හිතුණේ නැහැ. ඔහු මට පිටපත අතට දීලා කියවලා බලලා කැමැත්ත අකැමැත්ත කියන්න මට කාලය ලබාදුන්නා. මම ඔහුගේ කෙටි චිත්‍රපට කිහිපයක් දැකලා තියෙනවා. අනික මම මේ පිටපතට ආශා කළා. ඔහුට හොඳ දෙයක් කරන්න පුළුවන් කියලා මට තේරුණා. ඒ හින්දා මට මේ වැඬේට අතතියන්න පුළුවන්කමක් ලැබුණා.

ශේෂාද්‍රි ඉදිරියේදී වැඩිපුර භාර ගන්නේ් ටෙලි නාට්‍යයද? චිත්‍රපටද?

එහෙම කියන්න බැහැ චිත්‍රපට මට ලැබුණා කිව්වත් ලැබුණු හැමදේම මම කළේ නැහැ. මට කරන්න පුළුවන් සීමාව ඇතුළේ ඉඳන් තමයි මම කළේ. පසුගිය අවුරුදු දහයට ම චිත්‍රපට දහයයි මම කළේ ඒ වගේ තෝරලා බේරලා තමයි නිර්මාණ භාර ගත්තේ. ඒක චිත්‍රපට ටෙලි නාට්‍ය කියලා විශේෂයක් නැහැ.

ටෙලි නාට්‍යවලට ලොකු කැප කිරීමක් කරන්න වෙනවා. ඒකට සූදානම් වෙලාද ඉන්නේ?

මම හිතන්නේ රංගනය පැත්තෙන් එක හා සමානයි. ඒක ටෙලි නාට්‍යය ද චිත්‍රපට ද කියලා නැහැ. නමුත් මට යම්කිසි වෙනසක් දැනුණා. දෙබස් වෙනුවෙන් ලොකු මහන්සි වීමක් වෙන්න ඕනෑ නමුත් මම විශ්වාස කරන්නේ ටෙලි නාට්‍යයක් හෝ චිත්‍රපටයක් වෙනුවෙන් අපි ලොකු කැප කිරීමක් කරන්න ඕනෑ කියලා.

කොරෝනා වසංගතයක් සමග අලූත් ව්‍යාපාරයක් ආරම්භ කළා නේද?

නැහැ මම කොරෝනා නිසා නෙමෙයි ඒ ව්‍යාපාරය ආරම්භ කළේ ඊට කලින් තමයි ඒ ව්‍යාපාරය ආරම්භ කළේ. කොරෝනා නිසා ඒ ව්‍යාපාරය අතරමඟ නැවතුණා මගේම ව්‍යාපාරයක් කරන්න ඕනෑ කියන තැන මම හැමදාම හිටියා. මගේ (online) ටීෂර්ට් බිස්නස් එක ගිය වසරේ දෙසැම්බර්වල ලෝන්ච් කළා. එහි විශේෂත්වයක් තියෙනවා.

මොකක්ද ඒ විශේෂත්වය?

මම අඳින චිත්‍ර තමයි ඒ ටීෂර්ට්වලට ප්‍රින්ට් කරන්නේ. ඒක කුඩා ම කුඩා ව්‍යාපාරයක්.

ඇයි මේ වගේ දෙයක් කරන්න හිතුවේ?

මම ඇත්තට ම ආසයි කාටුන් චිත්‍ර අඳින්න. මම නිකං ඉන්න හැමවෙලාවටම චිත්‍ර අඳින්න ආසයි. ඉතින් මම හිතුවා මම එහෙම අඳින ඒවා නිකම් කොල කෑලිවල ඇඳලා ඇඳලා තියෙනවා විතරයි. ඒකෙන් වැඩක් ගන්න පුළුවන්ද කියලා හිත හිත ඉන්න අතරේ තමයි මේ වැඬේ මතක් වුණේ නිකමට වැඬේ කරලා බැලූවා.

ටෙලි නාට්‍යයක් භාර ගත්ත හින්දා ගොඩක් නාට්‍යවලට ආරාධනා ලැබුණා කියන්නේ?

ආරාධනා නම් ලැබෙනවා මුලිනුත් සඳහන් කළා වගේ තෝරලා බේරලා භාර ගන්නවා.

දිනක්ෂියි ෂනුයි නෙමෙයි ඉස්සරහට වැඩිපුර ආරාධනා ලැබෙන්නේ ශේෂාද්‍රිටද?

එහෙම කියන්න දන්නේ නැහැ. අක්කයි නංගියි එක්ක මාව සංසන්දනය කරන්න බැහැ. ඒ ගොල්ලන්ට වඩා මාව දකීවි කියලා කියන්නත් බැහැ.

තුන් දෙනාටම එකට වැඩ කරන්න ලැබුණොත් අනෙක් වැඩ කටයුතු අතපසු කර ගන්නේ නැතිව කරන්න පුළුවන් නම් මම කැමැතියි අක්කයි නංගියි එක්ක වැඩ කරන්න.

විවාහය දැන්ම සිදු කරන්න අදහසක් ඇතිද?

තවම එහෙම අදහසක් නැහැ.

පෙම්වතාගෙන් රූගත කිරීම්වලට මොන වගේ සහයෝගයක් ද ලැබෙන්නේ?

ලොකු සහයෝගයක් ලැබෙනවා. මම කරන වැඩේ නිදහසේ කරගෙන යන්න ලැබෙන නිදහස තමයි එයාගෙන් ලැබෙන ලොකුම සහයෝගය. එයා මම කරන වැඩවලට හරියට ගෞරව කරනවා.

දිනේෂ් විතාන

20201201Sheshadri-1 20201201Sheshadri-2