මගේ ජීවිතේ ආශාව තිබුණේ නළුවෙක් වෙන්න නොවෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

”මගේ තාත්තා කතෝලික. අම්මත් කතෝලික. ඒත් මං බුදුදහම තුළයි මගේ ජීවිතය පවත්වා ගන්නේ. මේ සංසාරෙන් අයින් වෙන ක්‍රමය ගැනයි මා වෙහෙසෙන්නේ. සංසාරෙදි මගේ තාත්තා අම්මා නැවත හමුවෙන්න ඕනෑ කියන ප්‍රාර්ථනාව මට නෑ. ඒක ඒ අයටත් මටත් කරදරයක් මිසක් කිසිම නිවීමක් නෑ. ඒ නිසා ඒ අය මට මේ ආත්මෙ හිටියාම ඇති. දැන් මට තාත්තා නම් නෑ. ඒත් අම්මා තවම ඉන්නවා. දැන් අවුරුදු 86 ක්.”

ගමක සිරියාව

මගේ තාත්තගෙ ගම සීදුව. හරිම ලස්සන ගමක්. දැන් තරමක නාගරික පරිසරයක පිහිටියත් එදා හැම තැනම පෙනෙන්නට තිබුණේ ගමක සිරියාව පමණයි. අපේ අම්මලා මුලින් ඉඳලා තියෙන්නෙ මට්ටක්කුලිය පැත්තෙ. ඒත් අම්මගෙ තාත්තා බන්ධනාගාර අධිකාරි වශයෙන් කටයුතු කරන කාලේ ඒ අය සීදුවට ආවා. ගෙවල් දොරවල් හදාගත්තා. අම්මගෙ නම තිරිස් බ්‍රියටි‍්‍රස් විජේවික්‍රම.

අපේ තාත්තගෙ තාත්තා මගේ සීයා බෙන්ජමින් කුමාරණතුංග. ටවර් හෝල් යුගයේ කලා ශිල්පියෙක්. එතුමා සීදුවේ ගම්මුලාදෑනියා. එතුමාගේ පියා මගේ මුත්තා ඒ ගමේ හිටපු විදානේආරච්චි. ගමේ ප්‍රභූ පරම්පරාවක උපන් අපේ තාත්තාට ගැමියන්ගේ යම්බඳු පිළිගැනීමක් තිබුණා.

බක්කි කරත්තෙ

බක්කි කරත්තෙ තමයි එතුමාත් ගමන් බිමන් යන්නෙ. අපටත් බක්කි කරත්ත තමයි තිබුණෙ. රාජකාරිමය වශයෙන් අපේ තාත්තාගෙ තාත්තත් අම්මගෙ තාත්තත් අතර නිතර හමුවෙන සම්බන්ධයක් තිබුණලූ. අම්මගෙ තාත්තා බන්ධනාගාර අධිකාරි. තාත්තගෙ තාත්තා ගම්මුලාදෑනි වශයෙන්.

මේ සම්බන්ධය උඩ නිතර දෙපාර්ශ්වයේම ගෙවල්වලට යනවා. ඒ යන එනකොට අපේ තාත්තත් සීයා එක්ක යනවා. එහෙම වෙලාවක අම්මාව තාත්තා දැකලා අම්මාගෙන් අහලා තියෙනවා යාළුවෙන්න. හැබැයි! අහලා තියෙන්නෙ එතුමිය පාරෙ මැහුම් පන්තියකට යනකොට කියලයි මම අහලා තියෙන්නෙ. ඒ වෙලාවෙ අම්මගෙ තාත්තත් මැරිලා තියෙනවා. ඒවට උදව්වට තාත්තත් ගිහින්. කොහොම හරි ආච්චිගෙ කැමැත්තත් අරගෙන තාත්තගෙ මාපියන්ගේ කැමැත්තෙන් මේ දෙන්නා එකතු වුණා.

අවුරුදු 12 දී පෝලියෝ හැදුණා

ඒ කාලෙ වෛද්‍යා විද්‍යාව හා එන්නත් ක්‍රම දියුණු නැති නිසා මගේ තාත්තා අවුරුදු 12 දී පෝලියෝ රෝගියෙක් බවට පත්වුණාලූ. පුංචි කාලේ තාත්තගෙ කේන්දරය නැකැත්කරුවකු ලවා බැලෙව්වාම එතුමා කියා තිබෙනවා ‘මේ දරුවා අවුරුදු 12 දී පෝලියෝ රෝගියකු වෙනවා. ඒ වගේම ජීවත්වන්නෙත් අවුරුදු 45 කියලයි.’ අපේ මුත්තාට මේකට කේන්ති ගිහින් කේන්දරය පුච්චලා දමලා. තාත්තගෙ කකුල් දෙකම පෝලියෝ රෝගයෙන් වෙනසක් පෙන්නුවත් එතුමා හරිම කඩවසම්. ශරීරය හරිම ජවසම්පන්නයි. ශක්තිමත්. අම්මත් එක්ක යාළුවෙනකොට අම්මා මේ ප්‍රශ්නය සලකළා නැත්තෙත් ඒ නිසයි. එතකොට තාත්තා කොළඹ නගර සභාවේ සැලසුම් ශිල්පියෙක් ලෙස රස්සාව කරලා තියෙන්නෙ.

බත බුලත මමීගෙන්

ගමේ වතුපිටි ඉඩකඩම් තිබෙන ප්‍රභූ පවුලක කෙනෙක් වූ තාත්තා ගමේ පොඩි මිනිසුන්ගේ වීරයා. ඉංගිරිසි, සිංහල ද්විභාෂික උගතකු වන තාත්තා හමුවෙන්න නිතර ගැමියන් එනවා. ඉංගිරිසියෙන් ලිපියක් ලියවා ගන්න විශේෂයෙන් තාත්තා ගෙනෙන Daily News පත්තරය බලලා කියන දේ අහගන්න එනවා. තාත්තා ගෙදර ආලින්දරයේ තිබුණු දිගු හාන්සි පුටුවේ වාඩිවෙලා කකුල් ඒ පුටු පත්තෙ විහිදුවා ඉඳගෙන ඉංගිරිසි පත්තර කියවනවා. ගැමියන් 10-12 දෙනෙක් වටවෙලා අහගෙන ඉන්නවා. ඒ අයට බත - බුලත පිරිනැමෙන්නෙ අම්මාගෙන්. සමහර විට තාත්තා ඇතැම් ප්‍රවෘත්ති කියවන්නෙ තමන්ගේ මතයත් ඊට එක්කරලයි. මේක අම්මටත් ඇහෙනවා. පත්තරේ ඇති දෙයක් තමන්ගේ වාමාංශික අදහස්වලට කැටි කරලා මෙයා ලස්සනට කියනවා. අර මිනිස්සුත් ඒ ප්‍රවෘත්තිය තමයි ගම පුරා කියාගෙන යන්නෙ. මේක තාත්තගෙ විනෝදය.

අයියාට වඩා මං දඟයි

අම්මත් ඉංගිරිසි දන්නවනෙ. පත්තරත් බලනවනෙ. එතුමිය අර මිනිස්සු ගියාට පස්සෙ ඒ ගැන තාත්තාගෙන් විමසනවා. එතකොට තාත්තා හිනා වෙනවා. ‘මං උන් රත්වෙන්නත් ටිකක් කිව්වා කියලා. අපෙ පවුලෙ මුලින්ම අක්කා කෙනෙක්. ඊළඟට අයියා. හරිම අහිංසකයි. මං තමයි තුන්වැනියා. පවුලෙ බඩපිස්සා. අයියටත් දඟ වැඩ කියා දෙන්නෙ මමයි.
අපෙ තාත්තා අම්මා දෙන්නාම ආගමට ළැදියි. අපට හැම ඉරිදාම පල්ලි යන්න නියම කරලා තිබුණා. කොමිසන්වලට ගිහින් හැම සතියෙම පවු සමා කරගන්න කියලා තාත්තා නිතර කියනවා. තාත්තා මාවත් අයියාවත් අල්තාරයෙ දරුවන් හැටියට නම් කරලා තිබුණා. පල්ලියෙ පූජා පවත්වන අවස්ථාවල පාදිලිතුමන්ට ආවතේව කරන්නේ අපි.
මං මොන්ටිසෝරි ගියෙ පල්ලියෙ මඩමට. ඊළඟට සාන්ත බෙනඩික් මොන්ටිසෝරියට. ඊට පස්සෙ තමයි කොළඹ කේරි විදුහලට අධ්‍යාපනය සඳහා එන්නෙ.

වාමාංශික අදහස්

අපේ තාත්තාට ගමේ යම්බඳු නායකත්වයක් ද තිබුණා. සීදුවෙ තිබෙන සමිති සමාගම් ප්‍රාදේශීය දේශපාලන කටයුතු හැම එකකම තාත්තාට විශේෂ තැනක් තිබුණා. ඒ එතුමාගේ ඉංගිරිසි දැනුම විශිෂ්ට බැවින් කියලත් හිතෙනවා. පක්‍ෂයේ පත්තරවල තාත්තා වැඩ කළා. උපන් වාමාංශිකයෝ, කාලෝ ෆොන්සේකා මාමලා එක්ක විවියන්, කොල්වින්, පීටර් කේනමන්, ඇන්. ඇම්. ආදී විශිෂ්ටයන් එක්ක තාත්තා හොඳට වැඩ කළ කෙනෙක්. යහපත් යුක්තිගරුක සාධාරණ සමාජයක් පතන්න එතුමා එහෙම වෙහෙසුණේ.

වරිපනම් බදු

මට මතකයි එක්තරා අවස්ථාවක වරිපනම් බදු වැඩි කරලා ගමේ ලොකු දේශපාලන රැස්වීම් උද්ඝෝෂණ තිබුණා. තාත්තා ඒ පුංචි මිනිස්සු වෙනුවෙන් එදා ඔවුන් එක්ක මහා සටනක් කළා. කොළඹ නායකයොත් මේවාට තාත්තා ගෙන්වා ගත්තා. කාලෝ මාමාත් උදව් කළා. අන්තිමේ වරිපනම් බදු අඩු කරන්න මේ සටන බලවත් වුණා. ගමේ ප්‍රශ්නයකින් එතුමා පස්සට ගියේ නෑ. පවුලට, දරුවන්ට වගේම තමන් උපන් රටට ජාතියට ගමට මේ මිනිස්සු තුළ අපූරු කැක්කුමක් ආදරයක් තිබුණා.

අතැනින් ගෙපැල හදන්න

ගමේ අසරණ පවුලක් ඇවිත් ඉන්න හිටින්නට තැනක් නැතැයි කිව්වොත් තාත්තා තමන්ගෙ ඉඩම්වල පැත්තක් පෙන්වනවා ‘අන්න, අතනින් ගෙපැලක් හදාගන්න කියලා. කුඹුරු ආදිය වැඩ කරන්නත් අහිංසකයන්ට දුන්නා.

තාත්තාට හොඳට සින්දු කියන්න පුළුවන්. මට මතකයි වික්ටර් රත්නායකයන්ගේ ‘මෝහෙන් මුලා වෙලා’ ගීතය රහට කියනවා. අපේ තාත්තා රක්‍ෂාවට යනවිට විතරයි කලිසම අඳින්නෙ. නැත්නම් පහසුයි කියලා සරම තමයි අඳින්නෙ. සමහර විට මේ සරම ඇඳිල්ල නිසා අපූරු වැඩත් වෙලා තියෙනවා.

කලිසම හා සරම

බක්කි කරත්තෙන් වරක් සීදුවට ටිකක් එහා නගරයක රජයේ කාර්යාලයකට තාත්තා ගිහින්. එතැන ඉන්න නිලධාරීන් කලිසම ඇඳලා එන අයට වැඩ ටික කරලා දෙනවා. සරම ඇඳලා එන අයට සලකන්නෙ නෑ. තාත්තා ටිකක් වෙලා බලා ඉඳලා. එතුමාට පස්සෙ පැමිණි අයටත් කාරණය අහලා වැඩ ටික කරනවා. හැබැයි/ කලිසම්කාරයන්ට. තවත් වේලාවක් බලා හිටියා. කිසිම නිලධාරියෙක් තාත්තගෙන් අහලා නෑ ආපු කාරණාව ගැන. තාත්තා හොඳට ඉංගිරිසි බස හසුරුවන්න දන්නා පැරැණි ඉංගිරිසි උගතෙක්. එතුමා අර නිලධාරීන් මැද්දට ගිහින් රාජ්‍ය නිලධාරියකුගේ වගකීම හා යුතුකම රාජ්‍ය චක්‍රලේඛ, රාජ්‍ය සේවය හරිහැටි සිදුනොවුණාම පිරිහෙන්නෙ පවත්නා රාජ්‍ය තන්ත්‍රය ගැන බව, මාකස් එංගලස් ඉගැන්වීම් ගැන එක දිගට චතුර ඉංගිරිසියෙන් ප්‍රශ්න කරලා තියෙනවා. නිලධාරීන්ට තරු පෙනිලා. ඔවුන් තාත්තා තරම් ඉංගිරිසි නොදන්නා බව තේරුම් අරන් තාත්තාට බොහොම ගරු බුහුමන් ඇතිව ගිය කාරණේ ඉටුකරලා දීලා සමාවත් ඉල්ලලා තියෙනවා.

ගිනි පෑගීමේ කලබලය

තාත්තා නිර්භීතයි. කකුල බැරි වුණාට බය නෑ. කාලෝ මාමා ඒ කාලෙ රට පුරා ගිනි පෑගීමේ කටයුත්තක් කරගෙන ගියානෙ දෙවියන්ට කිසිම සම්බන්ධයක් නැතිව. මේ ගිනි පෑගීම රට වටේ සංවිධානය වුණා. එක් වරක් කතරගම මේ ගිනි පෑගීම කළා. අපේ බාප්පා විජය කුමාරණතුංගත් තාත්තාත් එක්ක මේ ගමන් යනවා. කාලෝ මාමාට හිතවත්ව තාත්තාත් බාප්පාත් මේ ගමන් යන්නෙ හරිම ආශාවෙන්. කතරගම මේ ගිනි පාගන දවසෙ දේව වන්දනාවෙ යන පිරිසක් හා ඒ ගමේ පිරිසක් වට කරලා මේ පිරිසට ගහන්න පටන් ගත්තා.

විජය තාත්තාව කරේ තියන් දුවලා

කට්ටිය දිව්වා. තාත්තාට පෝලියෝ නිසා දුවන්න බෑ. ඒත් එයා ගාවට එන කට්ටියට එයා අතේ තිබුණු බස්තමෙන් ගහනවා. එහෙම ගහන ගමන් බිම වැටිලා. බාප්පා විජය කුමාරණතුංග තාත්තා දාලා දිව්වේ නෑ. එතුමා වැටිලා හිටි අපේ තාත්තාව කරේ තියාගෙන වඩාගෙන දුවලයි ඒ අවස්ථාවේ ගුටි ගහන එකෙන් බේරගෙන තියෙන්නේ.

අපේ ගෙදර හැම ඉරිදාම ලොකු කෑම මේසයක්. ඒක නත්තලට විතරක් නොවේ. ඉරිදා දවස අපේ සුන්දරම දවසක්. එදාට අර මෙහේ නැති මසක් මාළුවක් නෑ. ඌරු මස් හැදුවොත් විවිධ ආකාරයට සකස් කළ ඌරු මස් වෑංජනයක් ඒකෙ තියෙනවා. මාත් අයියත් මස් ගිල්ලට එළවළු කන්න හොරයි. එළවළු කන්නෙම නැති තරම්.

බත් ගුලි

මමී මේක තාත්තාට කියනවා. අපි තාත්තාට තාත්තා කීවට අම්මට කීවේ මමී කියලා. තාත්තා අපට එළවළු කවන්න අපූරු වැඩපිළිවෙළක් දැම්මා. එයා එළවළු, මස්, බත් සියල්ලම එකතු කරලා ගුලි වගයක් හැදුවා. මේ බත් ගුලි කීපයක් අප කන්නම ඕනෑ. එතකොට එළවළු කැවෙනවනෙ. කෑවේ නැත්නම් ගුටි.

අපේ අයියා අහිංසකයි කියලා මා කලිනුත් කීවනේ. දවසක් චිත්‍රපටයක් බලන්න මීගමුවේ රාජ හෝ රීගල් සිනමාහලට ගිහින් එනකොට කළුවර වැටිලා. තාත්තගෙ නියමය සවස 6 වෙනකොට ගෙදර ඉන්න ඕනෑ. මං එන ගමන් අයියාට උගැන්නුවා මොකක් හරි සාධාරණයක් පෙනෙන විදියේ බොරුවක්. ? වෙලා ගෙදර එනකොට තාත්තා කෝටුව අතට අරන් ප්‍රශ්න කරන්න ගත්තා. මං අයියාට උගන්වපු බොරුව කීවා. අයියාත් ඒකම කීවා. ඒත් ටිකක් සැරවෙලා අයියා ළඟට යනකොට මල්ලී මේ බොරුව කියන්න කීවා. අපි ගියේ මීගමු කියලා අයියා ඇත්ත කීවා. එදා තාත්තා ගහපු සැර පහරට මගේ අත්ල තැනක පිපිරුණා. අදත් ඒ කැළල තියෙනවා. (ඔහු එම කැළල පෙන්වයි) අපේ තාත්තා සෞන්දර්යාත්මක දේවලට කැමතියි. ගීත අහන්න, ගීත කියන්න සමහර විට රඟපාන්නත් කැමතියි. ‘රන් ඔන්චිල්ලා’ චිත්‍රපටයේ විජය බාප්පාගේ අයියාට රඟපාන්නේ තාත්තා. සීයා බෙන්ජමින් කුමාරණතුංගත් ටවර් නාට්‍යවල රඟපාලා තියෙනවනේ. එතුමා රඟපෑවේ කාන්තා චරිත. ඒ කාලේ පිරිමි තමයි කාන්තාවන්ටත් රඟපෑවේ. රා මුට්ටියක් හිටි ගමන් ගමේ කට්ටිය එක්ක තාත්තා තොල ගානවා. මමී තමයි ඒ අයට ‘බයිට්’ හදලා දෙන්නේ. අපේ විජය බාප්පාගේ දේශපාලන ගුරුවරයා අපේ තාත්තා. මුලින්ම විජය බාප්පා තාත්තා පසුපස්සේ තමයි දේශපාලනයට අත්පොත් තැබුවේ කියලා කියන්නෙ වගකීමෙන්. කාලෝ මාමලත් ඒකට හේතු වුණා.

රොකට් ක්ලබ් කියලා ක්ලබ් එකක් තිබුණා

මගේ ජීවිතේ ආශාව තිබුණේ නළුවෙක් වෙන්න නොවෙයි. පයිලට් කෙනෙක් වෙන්න. මට අවුරුදු 13-14 වෙද්දී තාත්තා පිළිකා රෝගයකින් නැතිවුණා. එතුමා කොළඹ ඉස්පිරිතාලේ ඉන්නැද්දී මාත් අයියාත් පාසල ඇරිලා රෝහලේ තාප්පෙන් පැනලා තාත්තා බලන්න යනවා. එතුමාට හැදුණේ ඉතාම දුර්ලභ පිළිකා රෝගයක්.

කේරි විදුහලේ බාලදක්‍ෂ කණ්ඩායමේ මාත් හිටියා. අපේ සර් බර්මින් ලයිලි ප්‍රනාන්දු. ‘ජීවන් මට සර් කියනවා මං ජීවන්ට සර් කියනවා යැයි බර්මින් ලයිලි ද වරක් කීවේය.’ ඒකේ ගිනිමැල ජවනිකාවෙන් 1970 ගණන්වල කළම්බු පෙට්මෝරියේ පළමුතැන ආවේ මගේ පිට්ටු බම්බුව නාට්‍යයයි.

අපේ තාත්තා පස්සේ ව්‍යාපාරිකයෙක් වුණා. වෙලින්ටන් ග්‍රොසරි කියලා සීදුවේ ලොකු කඩයක් කළා. එලිෆන්ට්ස් හවුස් නියෝජිත වුණෙත් තාත්තගේ කඬේ. ‘රොකට් ක්ලබ්’ කියලා ක්ලබ් එකකුත් තාත්තාට තිබුණා.

අපේ මමී තාත්තාව බලන්න අන්තිම දවස්වල ඉස්පිරිතාලෙට ගියාම එයා ඇඳෙන් බිත්තිය පැත්තට හැරිලා. මමී සොයා බලනකොට එයා දරුවන් ගැන හිතලා අඬනවා. මරණය ළඟ බය දැනිලා. කාලෝ මාමාත් මේ දුර්ලභ ලෙඬේ ගැන හොයලා ලෙඩා දැනුම්වත් කිරීමයි ආසන්න හේතුව වී තිබුණේ.

විජය කුමාරණතුංග හා මාලිනී ෆොන්සේකා විවාහ වෙන දවසට පෙර දවසේ ඔබේ පියා මියගියා. ඒ නිසා ඒ විවාහය වැළකුණා... මම කියමි.

කතාව ඇත්ත

ඔව්, ඒක වුණේ මෙහෙමයි. බාප්පා විජය මාලනීව කසාද බඳින්න තීරණය කරලා සියල්ල සූදානම් කළා. හෙට දහවල් කසාදය සිදුවනවානම් පෙරදා රාත්‍රි අපේ තාත්තා මළා. විජය බාප්පලා පොඩි කාලේ ඉඳලා හදා තිබෙන්නේ අපේ තාත්තා. ඒ අයගේ පියා දරුවන් කුඩා කල මියගිය නිසා අපේ තාත්තා තමයි පවුල බැලූවේ. එතකොට තාත්තාට අවුරුදු 45 යි. මුලින් කේන්දරේ 45 න් මැරෙනවා කියන කතාව හරි ගියා. විජය බාප්පා අඳින්නට හිටපු මඟුල් ඇඳුම තමයි අපේ තාත්තාගේ මිනියට අන්දලා පෙට්ටියක දාලා ගෙදරට ගෙනාවේ. ඊට පස්සේ මොන හේතුවකින් හරි ඒ විවාහය සිදුවුණේ නැහැ.

උපාලි සමරසිංහ

20210111Jeewan-1