අම්මාගේ චරිතය රඟන ‘වලස් නැන්දා’



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කලා ලෝකයේ බොහෝ තරු මතක හිටින්නේ රුවින්. ඒත් රුවට කලින් හඬ ඇහු පමණින් මතකයට එන තරුවක් වගේම සොඳුරු ආදර බර චරිතයක් මෙවර අපේ කතාබහ තුළින් මුණ ගැහෙන්න සිතුවා. ඇය හඬින් පමණක් නොවෙයි. නිවේදනයෙන්, රංගනයෙන් ප්‍රේක්ෂක හදවතට ලැබුණු ආදරණීය තරුවක්. ඇය විටෙක ජපානයේ අහිංසකාවිය ඔෂින් නම් විය. තවත් විටෙක ළමා වැඩිහිටි ලෝකය විචිත්‍ර කළ කාටුන් ලෝකයේ වලස් නැන්දා නම් විය. හඬ කැවීම් තුළින් ප්‍රේක්ෂක හදවත් වශී කරවූ ඇය විටෙක රංගන ශිල්පිනියක් ලෙස ද බොහෝ කලක් පුංචි තිරය, සිනමාව හැඩකරවිය. ඔෂින්, වලස් නැන්දා, සුජාත දියණිය වැනි නාට්‍ය හරහා හඬින් පුංචි සිත් සිනාවෙන් සරසපු නිවේදිකාවක් ලෙස වැඩසටහන් රැසකට පණ දුන්නු, අවුරුදු 25 එහා වේදිකා නාට්‍යයෙන් රංගන කෞෂල්‍ය විදහා දැක්වූ ඇය නම් රසාදරී පීරිස් මුණසිංහයි. 

20210112Rasadari-1• කොහොමද අවුරුදු විසිපහකට පස්සේ අලුත් වුණු ජීවිතේ? 

හරිම සතුටුයි. වෙනදා නොකරපු වැඩ ටිකක් මේ දවස්වල මම කරනවා. ඒ තමයි අවුරුදු විස්සකට පස්සේ මම නැවත රංගනයෙන් ටෙලි නාට්‍යයකට දායක වෙනවා. දෙරණ ටීවී හරහා විකාශනය වන ‘පොදු’ ටෙලි නාට්‍යයේ මවකගේ චරිතයක් තමයි මම නිරූපනය කරන්නේ. අවුරුදු විස්සකට කලින් නතර කරපු රංගන ජීවිතේට ආයෙම එළියක් වැටුණා. ඒ ගැන මට තියෙන්නේ කියාගන්න බැරි සතුටක්. 

• අවුරුදු 25 ක් අක්කාගේ රංගන කුසලතාවයට ඉඩක් නොදුන්නේ  ඇයි? 

ඇත්තටම මම රඟපෑම කියන එක සහ කලාව මේ සියල්ලම අමතක කරලා තමයි විවාහ වුණේ. අනේ මේක චෝදනාවක් නෙවෙයි. ඒක එකඟතාවක්. මගේ විවාහය වුණේ යෝජනාවකින්. ඉතින් ඔහුගේ රුචි අරුචිකම්වලට මුල්තැන දීලා මම කරගෙන ආපු සියල්ල නතර කරලා ඔහු වෙනුවෙන් කැප කිරීමක් මට කරන්න වුණා. ඇත්තටම එදා මම විවාහයට අත්සන ගැහුවේ ආයේ කවදාවත් රඟපාන්නවත් නිවේදන කටයුතු කරන්නේවත් නැහැ කියලා. එයා කැමති වුණේ නෑ මම රඟපානවට. ඔහොම ඉතින් මාස 3 ක් මම ගෙදරට වෙලා හිටියා. ඒ ඉන්නකොට ධම්මිකා ඩේවිට් රූපවාහිනියේ නුග සෙවණ පටන් ගන්න කොට මට කතා කළා. ඒත් මම කිව්වා එන්න වෙන්නේ නැහැ කියලා.
දවසක් මට පුංචි වැඩකට රූපවාහිනි සංස්ථාවට යන්න වුණා. හඬ කැවීම්වලට සැමියාගේ අකැමැත්තක් තිබුණේ නැති නිසා පුංචි පුංචි වැඩ මම කළා. 
රූපවාහිනියේ දී ආයෙම ධම්මිකා අක්කා මාව දැකලා ඇහැව්වා නුගසෙවණට එනවද කියලා. මම ඉතින් ගෙදර ඇවිල්ලා සැමියා එක්ක නිකමට කියලා බැලුවා. සැමියාගේ අම්මා මට ආයෙ වැඩවලට යන්න දෙන්න කියලා හරියට සටන් කළා. කොහොම හරි විරෝධතා මැද උදේ වරුවේ විතරක් නුගසෙවණේ නිවේදන කටයුතුවලට යන්න අවසර දුන්නා. ඒ එළියට පැනපු පැනිල්ල තමයි මෙච්චර කාලයක් හඬකැවීම්  කටයුතුයි නිවේදන කටයුතුයි කරගෙන ආවේ. ඔහොම ඉන්නකොට මට දෙරණ ටීවී එකෙන් කතා කළා මෝනින් ෂෝ එකක් කරන්න. මම ඉතින් ඇඟ ප්‍රමාණයෙන් විශාලයිනේ. මම කිව්වා මහත වැඩියි මම. මාව, ඒකට ගැළපෙන්නේ නැහැ කියලා. අපට මහත ප්‍රශ්නයක් නැහැ කියලා ඇවිත් ශර්මිලා ධර්මරාසා මුණගැහෙන්න කිව්වා. ඇය විශාල පිළිගැනීමක් ඇතුව මට කතා කළා. ඔය අතරේ මම ඉස්සර රඟපාපු ෆොටොත් මුහුණු පොතට දැම්මා. ඒක දැකල ශර්මිලා ධර්මරාසා මගෙන් ඇහුවා ආයෙම රඟපාන්න කැමතිද කියලා. රඟපාන්න අවසර නැති වුණාට හිත ඇතුළේ තිබුණු කැමැත්තටද මන්දා එකපාරටම මට හා කියලා කියවුණා. 
ගෙදර ඇවිල්ලා සැමියාගෙන් ඇහැව්වට අනුමැතිය ලැබෙන එකක් නැහැ කියලා හිතුවා. ඒත් එයා වෙනදා නැති උනන්දුවකින් ඒ නාට්‍ය ගැන මගෙන් විස්තර ඇහුවා. හැමදේම අතෑරලා හිටපු ඔයාට ආයෙම ආරම්භයක් අරන් දුන්නේ ශර්මිලානෙ. ඒ නිසා ඔයා කැමති නම් කරලා බලන්න කිව්වා. මට ඒ වෙලාවේ කරන්ට් එක වැදුනා වගේ වුණා. හරියට නිකං මල්වෙඩි පත්තු වුණා වගේ. දෙපාරක් හිතුවේ නැහැ එක පයින්ම ශර්මිලාට මම කැමතියි කියලා කිව්වා. හැබැයි ඒක මෙච්චර දරුණු චරිතයක් කියලා හිතුවේ  නැහැ. 

• අවුරුදු විසි ගණනකට පස්සේ ආයෙම ලයිසන් එක ලැබුණ වැඩේ අභියෝගයක් වුණේ නැද්ද? 

මොකද නැත්තේ. හරියට ලයිසන් තිබිලා අවුරුදු විසිපහක්ම වාහනයක් අල්ලන්නේ නැතුව ඉඳපු මිනිහෙකුට වාහනයක් පදින්න දුන්නා වාගේ වැඩක්. ඇත්තටම ලොකු චරිතයක්. බයක් තිබුණා. හැබැයි ‘පොදු’ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරිය මාව හොඳින් තේරුම් ගත්තා. ඇය ලොකු සහයෝගයක් මට දුන්නා. 

• කොහොමද ප්‍රතිචාර? 

ඉතාම ඉහළයි. මහත්තයයි පුතයි නම් කියන්නේ අපිට ගෙදර කෑ ගහන විදිහට එතන කෑගහන්න අලුතෙන් පුහුණු වෙන්න ඕන නැහැ කියලා. කතාවේ මට දරුවෝ තුන්දෙනෙක්. අපේ පුතා නිතරම කියන්නේ ඔෂින් හිටියට ටීවී එකේ ගෙදර ඉන්නේ වලස් නැන්දා කියලා. 

• ඉතින් රසාදරිගේ ආරම්භයට අපි මතකය අරන් ගියොත්? 

පාසල් කාලේ ඉඳලාම මට කලාවට එන්න ලොකු හීනයක් තිබුණා. ඒත් මේ ක්ෂේත්‍රයට එන්න මට සම්බන්ධතාවක් තිබුණේ නැහැ. මගේ පාසල වුණේ නුගේගොඩ අනුලා විද්‍යාලය. එතන හිටියා දයා නෙල්ලම්පිටිය මහත්මිය. ඇය හරහා ටික ටික සමාජයත් එක්ක ගනුදෙනු කරන්න පටන් ගත්තා. රඟපාන්න නිවේදනය කරන්න මාව යොමු වුණේ එතැනින්. 87 අවුරුද්දේ තමයි මුලින්ම මම රඟපාන්න යොමු වෙන්නෙ. එතැනින් ජයලාල් රෝහණයන් හරහා ප්‍රසිද්ධ වේදිකාවට පිවිසුනා. එතැනින් පස්සේ ටෙලි නාට්‍යයන් රැසකට මම දායක වුණා. 

• රංගනයෙන් නිවේදනයෙන් හඬ කැවීම් ශිල්පිනියක් විදිහට ඉහළම ජනප්‍රිය තලයේ  ඉඳපු වකවානුවක හැමදේම අතහැරලා විවාහයට යද්දී දුකක් හිතුනේ නැද්ද? 

අපේ අම්මාට ඕන වුණේ ඔක්කොම නතර කරලා මාව කසාද බන්දලා දෙන්න. කලා කටයුතු කරගෙන හිටිය මිසක් විවාහ වෙනවා කියලා මට තීරණයක් තිබුණේ නැහැ. අපේ අම්මා මට හරියට යෝජනා ගෙනාවා. ඒ ගෙනාපු යෝජනා අතර එක යෝජනාවකට මට හිත ගියා. යෝජිත විවාහයක් වෙනකොට ඉතින් යම් යම් සීමාවන් තියෙනවනේ. සියලු දේවල් අතහරින්න. දුකක් ඇති වුණත් විවාහ ජීවිතේ වෙනුවෙන් මම ඒ කැපකිරීම් කළේ සතුටෙන්. මම විවාහ වෙනකොට සෑම අතින්ම කාර්යබහුල වෙලා හිටපු කෙනෙක්. ඒ නිසා මමත් හිතුවා මගේ පවුලට මුල් තැන දෙන්න ඕනෑ කියලා. හැබැයි වේදිකාව මග හැරුණා. ඒක ගැන නම් අදටත් මම දුක් වෙනවා. 

රසාදරිගේ හඬ එක්ක අපිට ඔෂින්ව අමතක කරන්න බැහැ. 
ඇත්තටම මම ලොකු චරිත ප්‍රමාණයකට හඬ කවලා නැහැ. හැබැයි ඒ හැම චරිතයක්ම ප්‍රේක්ෂකයන් අතරට ගියා. ඒ අතුරින් මගේ ජීවිතේටත් කාවැදුන එකම චරිතය තමයි ඔෂින්ගේ චරිතය. දැන් ඔෂින් චරිතයට හඬ කවලත් අවුරුදු 20කට වැඩියි. හැබැයි අදටත් මාව ගොඩක් අය හඳුන්වන්නේ ඔෂින් විදිහට. ඔෂින් මගේ පෞද්ගලික ජීවිතය පැත්තෙනුත් බලපෑම් කළා. ඇගේ ප්‍රසන්න ගතිය, කතාබහ මගේ ඇඟට කාවැදුණා. ඇත්තම කියනවා නම් මම තාමත් ඉන්නේ ඒ චරිතය එක්ක. 

• ඔබ හඬ නිළියක්, දක්ෂ නිවේදිකාවක් වගේම යොවුන් නාට්‍යය උළෙලේ සම්මානනීය නිළියක්. ඒ රංගන ජීවිතේ ගැන මතකය අවදි කළොත්? 

මම මුලින්ම රඟපෑවේ ජයලාල් රෝහණ මහතාගේ පළමු අධ්‍යක්ෂණය වන ‘‘ලෝකා’’ කියන වේදිකා නාට්‍යයේ එහි ප්‍රධාන නිළියගේ චරිතය තමයි රඟපෑවේ. ඊට පස්සේ මට නාට්‍යය ගණනාවක රඟපාන්න අවස්ථාව ලැබුණා. කේ.බී. හේරත්ගේ ‘නාග ගුරුලා’, පරාක්‍රම නිරිඇල්ලගේ ‘උත්තමාවි’, ඩග්ලස් සිරිවර්ධනගේ ‘බොරු කකුල්’ ආදී නාට්‍යය ගණනාවක් රඟපාපු මටත් හීනයක් තිබුණා කවදා හරි මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණයකට දායක වෙන්න. නටන්න හැකියාව තිබුණ නිසා මට එතුමන්ගේ ගැමි නාට්‍ය ‘එලොව ගිහින් මෙලොව ආවා’, ‘රත්තරන්’ ඒ නාට්‍යවලට දායක වුණා. ඊට පස්සේ ‘රත්නාවලි’ නිෂ්පාදනයේ දී වාසව දත්තාගේ චරිතයට මාව තෝරා ගත්තා. ඒක නම් මගේ සිහිනයක් සැබෑ වීමක්. සතුට නම් මට ඒ නාට්‍යවලට දායක වෙන්න ලැබුණේ සරච්චන්ද්‍රයන් ජීවත්ව සිටියදීමයි. ඒක මම ලොකු භාග්‍යයක් ලෙස දකිනවා. 

• අක්කව හැඩ කරපු හොඳම හඬ නිළියක් කරපු අයගෙන් මුලින්ම මතක් වෙන්නේ කාවද? 

මුලින්ම මතක් වෙන්නේ අතුල රන්සිරිලාල් මහතා. එතුමා තමයි ටයිටස් තොටවත්ත කියන මහා දැවැන්ත චරිතයට මාව හඳුන්වලා දුන්නේ. ඔවුන් දෙදෙනාම ඉතාම ගෞරවයෙන් මම සිහිපත්  කරනවා. විශේෂයෙන් කියන්න ඕන. මේ ගමන ලේසි පහසුවෙන් ආපු ගමනක් නෙමෙයි. අද ඉන්න තරුණ පරපුරේ දක්ෂ දරුවෝ ඉන්නවා. මට මතකයි ඔෂින් යන කාලේ මට ගොඩාක් වෙළඳ දැන්වීම්වලට කතා කළා. හැබැයි මට අතුල මහත්මයා කිව්වේ ඔෂින් කරන ගමන් සබන්, පවුඩර් විකුණන්න යන්න එපා කියලා. අවුරුදු කීපයක්ම මම කැප වුණේ ඔෂින්ට විතරයි. හැමදේම බදාගෙන වැඩකළොත් අපි අසාර්ථකයි කියන දේ මම එදා තේරුම් ගත්තා. තරුණ දරුවන්ටත් කියන්නේ හැමදේම එකවර කරන්න ගියොත් අපිට සාර්ථකව එකම දෙයක්වත් කරගන්න බැරි වෙනවා. ඕනම දේකට කැපවීමෙන් ඉවසීමෙන් යුතුව වැඩ කරනවා නම් ලැබෙන වටිනාකම වැඩියි. ක්ෂණික ජනප්‍රියත්වයට දුවන අයගේ පැවැත්ම අඩුයි. 

• ඉදිරියේ මොනවද අලුත් වැඩ? 

ආයෙම දිගටම රඟපානවද කියලා තාම තීරණය කරලා නැහැ. ‘පොදු’ ටෙලිනාට්‍යයට මම දායක වුණේ එහි අධ්‍යක්ෂවරිය ශ්‍යාම්ගේ ආරාධනාව අහක දාන්න බැරි නිසා. ශ්‍යාම් ගොඩක් ස්තුතියි අවුරුදු 25නට කලින් මම නැවතීමේ තිත තියපු මාව ආයෙම පුංචි තිරයට ගෙනාවට. ආරාධනා නම් ආවා මේ අවුරුදු 25 තුළ දී ඒත් ඒවා තම ඇරුණා. ‘පොදු’ ටෙලිනාට්‍යයේ මගේ දරුවෝ ටික සහ සියලුම දෙනාට ගොඩක් ස්තුතියි මට ලොකු සහයෝගයක් ලබා දුන්නාට. 

නදීශා අතුකෝරළ

 

20210112Rasadari-2