දිග ගවුමට ලස්සනයිලු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හර්ෂි අංජුමාලා.... 2008 දෙරණ ඩාන්සින් ස්ටාර් තරගාවලියේ ජනප්‍රියම පුංචි තරුව ලෙසට අභිෂේක ලැබූ පුංචි කෙල්ල ඔබට මතක ද? අද ඇය තරුණ සුන්දර යුවතියක්. එපමණක් නොව රූපවාහිනියෙත් සිනමාවෙත් එක ලෙස දක්ෂතා දක්වන රංගන ශිල්පිනියක්. මේ දිනවල විකාශය වන ටෙලිනාට්‍ය කිහිපයකටම රඟපෑමෙන් දායක වෙන ඇය ජනප්‍රිය වෙළෙඳ දැන්වීම් කිහිපයකමත් දක්නට ලැබෙනවා. 
ලස්සන රහස් පිටුව සරසන්නට, අපි අද ඇයව තෝරා ගත්තෙමු. 

• ලස්සන නිසාම ද ඔබ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ...

මම හිතන්නේ ලස්සන වගේම දක්ෂතාවය නිසා. දෙරණ ඩාන්සින් ස්ටාර් වයස අවුරුදු 12න් පහළ නර්තන අංශයේ ජනප්‍රියම පුංචි තරුව වුණාට පස්සේ, දෙරණ රූපවාහිනියෙන් විකාශය වෙන ජනප්‍රියම නාට්‍ය වුණ ‘සිඳු’ නාට්‍යයේ රඟපාන්න අවස්ථාව ලැබුණා. අද වෙනකොට ටෙලිනාට්‍ය කිහිපයක වගේම, චිත්‍රපට කිහිපයකත් රඟපාන්න අවස්ථාව උදා වුණා. පුංචි කාලයක දී මේ තරම් දුරක් එන්න හැකියාව ලැබෙන්න සුන්දරත්වය, වාසනාව කියන මේ හැමදේම බලපාන්න ඇති. 

• ඇත්තටම ඔච්චර ලස්සන වුණේ කොහොමද?

මගේ අම්මයි, තාත්තායිත් ගොඩක් ලස්සනයි. මේ ලස්සන උපතින්ම මට ජානවලින් ලැබිලා තියෙනවා. ඇත්තටම හැම දේම ලැබුණේ වාසනාවටයි, පිනටයි කියලා මට හිතෙනවා. 

• ලස්සන වෙන්න මොකුත්ම කරන්නේ නැද්ද?

ලැබුණ රූපය, කොණ්ඩය ලස්සනට තියාගන්න උත්සහ කරනවා. පුංචි කාලේ ඉඳලාම රන්වන් පාට හමක් තියෙන නිසා, හම සුදුවෙන්න කියලා නම් මොකුත් කරන් නෑ. ඒත් නිතර මේකප් කරන නිසා හැමදාම රෑට කොමාරිකා ජෙල් ගාලා නිදා ගන්නවා. ස්වාභාවික සත්කාරය සමේ තෙතමනයට හරිම හොඳයි. දීප්තිමත් බවකුත් ලැබෙනවා. 
ඊට අමතරව කොණ්ඩේ ලස්සනට තියා ගන්න තමයි මම වැඩිපුරම වෙහෙසෙන්නේ. මට තියෙන්නේ ලස්සන ක්රේල් කොණ්ඩයක්. කොණ්ඩේ සුන්දරව තියා ගන්න හොඳම වර්ගයේ ඔලිව් තෙල් භාවිතා කරනවා. ඊට අමතර කන්ඩිෂනර් ට්‍රීට්මන්, ඔයිල් ට්‍රීට්මන් එහෙමත් නිතර කරනවා. 

• කෑම බීම ගැනීමේදී සැලකිලිමත් ද?

ඔව්, ඇඟ මහත් වෙන නිසා ඉස්සරට වඩා නම්, කෑම බීම ගැනීමේදී සැලකිලිමත්. වතුර ගොඩක් බොනවා. ඊට අමතරව පලා වර්ග, එළවළු, පළතුරු එහෙම වැඩිපුර භාවිත කරනවා. පුංචි කාලේ ඉඳලාම අම්මා මට වට්ටක්කා, කැරට් වගේ එළවළු වැඩිපුර කනවා. මොකද එළවළුවලට හම ගොඩක් ලස්සන වෙන නිසා. 

• ශරීරයේ හැඩය ලස්සනට තියාගන්න...

ඒ වෙනුවෙන් හැමදාම උදේට ව්‍යායාම කරනවා. පුංචි කාලේ ඉඳලාම නර්තනය කරපු නිසා ලස්සන ඇඟක් මට ලැබිලා තියෙනවා. 

• විලාසිතා කිරිමේ දී සැලකිලිමත් ද?

ඔව්. මට ගැළපෙන විදිහට අලුතින් එන විලාසිතා කරන්න ආසයි. ඒ වගේමයි මම මට ගැළපෙන විදිහට, මට ආස විදිහට මහලාත් අඳිනවා. Shopping කරලත් ගන්නවා. කොහොම ඇන්දත් කලර්ෆුල් ඇඳුම්වලට මම ගොඩක් ආසයි.

• අැඟට ගැළපෙන ඇඳුම... 

දිග ගවුමට ලස්සනයි කියලා හැමෝම කියනවා. ඒ හැරෙන්න කොට සායවල්, කලිසම් වගේම ඕන එකක් ඇඟට ලස්සනයි. 

• ලස්සනට ඉන්න සල්ලි ඕනේද?

අපි නොදැනුවත්වම සුන්දරත්වයක් ගොඩනැගෙනවා. මට මගේ ජිවිතේ පිළිවෙළට ඉන්න එක, පිරිසිදුවට ඉන්න එක ඉගෙන ගත්තේ මගේ අම්මාගෙන්. අදටත් මම ඇය වගේම සුන්දරව ලස්සනට ඉන්න උත්සාහ කරනවා. 

• ලෝකයේ දැකපු ලස්සනම කෙනා කවුද?

චිත්‍රපටිවලින් රූපරාමුවලින් ලෝකයේ ඕනෑ තරම් ලස්සන අය දැකලා තියෙනවා. නමුත් මම ඇස්දෙකට දැකපු, උදේ හවස දකින ලස්සනම රූපය තමයි මගේ අම්මා.

• කාන්තාවකට ලස්සන වැදගත් ද ?

ලස්සන කියන දේ හැමෝටම වැදගත්. ඒක කළු ද සුදු ද තළෙලු ද කියන එක මත තීරණය වෙන්නෑ. අපි හැමෝම ලස්සනයි. 
අනිත් දේ තමයි පුංචි කාලේ ඉඳලාම අපේ අම්මලා එයාගේ හැකියාව අනුව එයාලගේ දරුවෝ හැම දෙනාම පුළුවන් තරම් පිළිවලට, පිරිසිදුව තියන එකෙන් උත්සාහ කරන්නේ සුන්දරත්වය කියන දේ දියණියකට හුරු කිරීම. 

• වර්තමානයේ මුළු ලෝකයේම සුන්දරත්වයට මුල් තැනක් දෙන්න උත්සාහ කරනවා නේද?

ඔව්. මම හිතන්නේ අද වෙන විට වෙනදාට වඩා අපි සුන්දරත්වය රැකගන්න ලොකු උත්සාහයක් ගන්නවා වගේම ඒ වෙනුවෙන් දේවලුත් තියෙනවා. ඉස්සරත් අපි දකිනවා ඡායාරූපවලින් එහෙම, ඒ කාලයට ගැළපෙන විදිහට විලාසිතා කරන්න, කොණ්ඩා මෝස්තර දාන්න පෙළඹිලා තියෙනවා. කාලය වෙනස් වුණත් මිනිසුන්ගේ සිතුවිලි වෙනස් වෙන්නේ නෑ. සුන්දරත්වය කියන දේට කොයි කාලෙත්, කවුරුත් කැමතියි. 

• වර්තමානය වෙන විට හැමෝම සුන්දරයි කියලා දකින්නේ කුමක් ද?

හම සුදු නම්, ඇඟ කෙට්ටු නම් ලස්සනයි කියලා තමයි හැමෝම හිතන්නේ. නමුත් මම හිතන්නේ අපි අපේ ඇඟට දුක්දීලා, නොකා නොබී ඉඳලා, කෘතිම ආලේපන වර්ග දහස් ගාණක් පාවිච්චි කරලා ලස්සන වෙන්න ඕනේ නෑ කියලා. 
සුන්දරත්වය අපිට උපතින්ම ලැබිලා තියෙනවා. අපි කළ යුත්තේ නඩත්තු කරගෙන යෑම පමණයි. රඟපෑමේදිවත් කෙනෙකුට ලස්සන නිසාම රඟපාන්න ලැබෙන්නේ නෑ. එහෙම ලැබුණත් කරන චරිතයකට සාධාරණයක් ඉෂ්ඨ කරන්නේ නැතුව, කොච්චර ලස්සන වුණත් වැඩක් නෑ. 

• ‘‘මුහුණේ ලස්සන හදවතේ ඇත්නම්’’ කියා ඇතැම් අය දකිද්දී හිතෙනවා. ඔබටත් එහෙම හැඟිලා තියෙනවාද?

මෙහෙමයි අපි හැමෝගෙම ඇතුළේ දුක, සතුට, තරහාව, හිනාව කියන මේ හැම දේම තියනවා. එකම දේ අපි හොඳ නැහැ කියලා හිතන දේවල් පාලනය කරගෙන ජීවත් වීම. අපිට තරහා ගියාම අපි දන්නේම නැතුව අපේ මූණේ ඉරියව් වෙනස් වෙනවා.
සතුටින් ඉන්නකොට ඉරියව් ලස්සනයි. මොන ප්‍රශ්න තිබුණත් හැමදාම සතුටින් ඉන්න උත්සාහ කරන එක තමයි වැදගත්. 

• අධ්‍යාත්මිකව සිත සතුටින් තියා ගන්න මොනවාද කරන්නේ

හැමෝටම මෛත්‍රී කරවනා. හැමදාම හවසට අපි ඔක්කොමලා එකතුවෙලා බුදුන් වඳිනවා. මම හිතනවා අපි දන්නෙම නැතුව ඒ තුළිනුත් නොපෙනෙන බලවේගයක් ගොඩනැගෙනවා කියා.

• ලස්සන තිබූ පමණින්ම කෙනෙකුට යම් රැකියාවක හෝ වෘත්තියක නියැළිය හැකි ද?

බැහැ. රූප සුන්දරියක් තේරුවත් ඇයට එම කිරුළ හිමි වන්නේ බාහිර සුන්දරත්වය ගැන පමණක්ම හිතලා නෙවෙයි. රුව, ගුණ, නැණ කියන මේ හැම දේම ගැන සොයා බලනවා.

අසුන්තා එදිරිසූරිය

20210112Harshi-1